Skip to content

නැවත නැඟිටීම කියන්නේ මොකක්ද?

නැවත නැඟිටීම කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 නැවත නැඟිටීම සඳහා පාවිච්චි කරලා තියෙන ග්‍රීක වචනයේ තේරුම “නැවත නැඟිට සිටීම” හෝ “නැවත සිටගැනීමයි.” එහෙමනම් නැවත නැඟිටුවනවා කියන එකෙන් අදහස් කරන්නේ මිය ගිය පුද්ගලයෙකුට නැවත ජීවිතය දීලා ඔහු මිය යන්න කලින් හිටපු තත්වයටම ඔහුව නැවත පත් කරනවා කියන එකයි.—1 කොරින්ති 15:12, 13.

 “නැවත නැඟිටීම” කියන වචනය හෙබ්‍රෙව් ලියවිල්ලේ එනම් පරණ ගිවිසුමේ නැති වුණත් ඒ බලාපොරොත්තුව ගැන ඒ කොටසේ විස්තර කරලා තියෙනවා. උදාහරණයකට අනාගතවක්තෘ හොෂෙයා මාර්ගයෙන් දෙවියන් පොරොන්දු වුණේ මෙහෙමයි. “මිනී වළෙන් හා මරණයෙන් මුදවාගන්නේ මමය.”—හොෂෙයා 13:14; යෝබ් 14:13-15; යෙසායා 26:19; දානියෙල් 12:2, 13.

 නැවත නැඟිටීම වෙන්නේ කොහේද? ටිකදෙනෙක්ව නැවත නැඟිටුවන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්නයි. ඔවුන් ඉදිරියේදී යේසුස් එක්ක රජකම් කරනවා. (2 කොරින්ති 5:1; එළිදරව් 5:9, 10) මේ කණ්ඩායම ගැන බයිබලේ කියන්නේ “පළමුවෙනි නැවත නැඟිටීමට” අයිති අය නැත්නම් “මුලින්ම මරණයෙන් නැවත නැඟිටුවන අය” කියලයි. ඒකෙන් අදහස් කරන්නේ තවත් නැවත නැඟිටීමක් තියෙනවා කියන එකයි. (එළිදරව් 20:6; ෆිලිප්පි 3:11) ඒ නැවත නැඟිටීම වෙන්නේ මේ පොළොවෙයි. ඒකට හුඟක් අය අයිතියි. එදාට ඔවුන් පාරාදීස පොළොවක සදහටම ජීවත් වෙනවා.—ගීතාවලිය 37:29.

 නැවත නැඟිටුවන්නේ මොන විදිහටද? මිය ගිය අයව නැවත නැඟිටුවන්න දෙවියන් යේසුස්ට බලය දීලා තියෙනවා. (යොහන් 11:25) ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාවම’ ඔවුන් මිය යන්න කලින් තිබුණු ගතිලක්ෂණ, පෞද්ගලිකත්වයන් සහ මතකයන් ඇතුව යේසුස් ඔවුන්ව නැවත නැඟිටුවනවා. (යොහන් 5:28, 29) ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටින අයට ලැබෙන්නේ නොපෙනෙන ශරීරයක්. හැබැයි මේ පොළොවේ ජීවත් වෙන්න නැවත නැඟිටින අයට ලැබෙන්නේ හැම අතින්ම පරිපූර්ණ නිරෝගී ශරීරයක්.—යෙසායා 33:24; 35:5, 6; 1 කොරින්ති 15:42-44, 50.

 නැවත නැඟිටුවන්නේ කාවද? බයිබලේ කියන්නේ ‘ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා’ කියලයි. (ක්‍රියා 24:15) ධර්මිෂ්ඨ අය කියද්දී දෙවිට විශ්වාසවන්තව සිටි නෝවා, සාරා සහ ආබ්‍රහම් වගේ අය ඇතුළත්. (උත්පත්ති 6:9; හෙබ්‍රෙව් 11:11; යාකොබ් 2:21) අධර්මිෂ්ඨ අය කියද්දී දෙවි ගැන ඉගෙනගන්න අවස්ථාව නොලැබුණ නිසා දෙවිට කීකරුව ජීවත් වෙන්න නොහැකි වුණ අය ඇතුළත්.

 හැබැයි දැන දැනම, දිගටම වැරදි කරන කෙනෙක් මිය ගියොත් ඔහුව නැවත නැඟිටුවන්නේ නැහැ. ඒ වගේ අයට හිමි වෙන්නේ සදාකාල විනාශයයි. ඔවුන්ට නැවත ජීවිතයක් ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ.—මතෙව් 23:33; හෙබ්‍රෙව් 10:26, 27.

 නැවත නැඟිටීම වෙන්නේ කවදාද? බයිබලේ කියන්නේ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී ස්වර්ගයේ ජීවත් වෙන්න යන අයව නැවත නැඟිටුවනවා කියලයි. ඒ කාලය පටන්ගත්තේ 1914දීයි. (1 කොරින්ති 15:21-23) මේ පොළොවේ ඉන්න දුෂ්ටයන්ව ඉවත් කළාට පස්සේ යේසුස් අවුරුදු 1,000කට මේ පොළොව පාලනය කරනවා. පොළොවේ ජීවත් වෙන්න යන අයව නැවත නැඟිටුවන්නේ ඒ කාලය අතරතුරයි.—ලූක් 23:43; එළිදරව් 20:6, 12, 13.

 නැවත නැඟිටීමක් වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන් ඇයි? බයිබලේ නැවත නැඟිටීම් නවයක් ගැන සඳහන් වෙලා තියෙනවා. ඒවා ඇත්තයි කියලා ඔප්පු කරන්න ඇසින් දුටු සාක්ෂිත් තියෙනවා. (1 රාජාවලිය 17:17-24; 2 රාජාවලිය 4:32-37; 13:20, 21; ලූක් 7:11-17; 8:40-56; යොහන් 11:38-44; ක්‍රියා 9:36-42; 20:7-12; 1 කොරින්ති 15:3-6) ඒවා අතරින් ලාසරුස්ගේ නැවත නැඟිටීම විශේෂයි. ඒකට හේතුව යේසුස් ඔහුව නැවත නැඟිට්ටෙව්වේ ඔහු මිය ගිහින් දවස් හතරකට පස්සෙයි. ඒ වගේම යේසුස් එහෙම කළේ විශාල සෙනඟක් ඉදිරියෙයි. (යොහන් 11:39, 42) මේ සිද්ධිය බොරුයි කියලා ඔප්පු කරගන්න බැරි වුණ යේසුස්ගේ විරුද්ධකාරයන් යේසුස්වත් ලාසරුස්වත් මරන්න පවා කුමන්ත්‍රණය කළා.—යොහන් 11:47, 53; 12:9-11.

 බයිබලේ කියනවා මිය ගිය අයව නැවත නැඟිටුවන්න දෙවියන්ට ආශාවත් හැකියාවත් තියෙනවා කියලා. දෙවියන්ගේ මතකයට සීමාවක් නැති නිසා නැවත නැඟිටුවන්න යන හැම කෙනෙක් ගැනම ඔහු හොඳින් දන්නවා. ඒ නිසා තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ අයට නැවත ජීවිතය දෙන්න ඔහුට පුළුවන්. (යෝබ් 37:23; මතෙව් 10:30; ලූක් 20:37, 38) මිය ගිය අයව නැවත නැඟිටුවන්න දෙවියන්ට බලය විතරක් නෙවෙයි වුවමනාවකුත් තියෙනවා. ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත.”—යෝබ් 14:15.

නැවත නැඟිටීම ගැන තියෙන වැරදි අදහස්

 වැරදි අදහස: නැවත නැඟිටීම කියන්නේ ආත්මය නැවත ශරීරය සමඟ එක් වීමයි.

 බයිබලේ කියන දේ: බයිබලේ කියන විදිහට දෙවියන් මිනිසුන්ව නිර්මාණය කරද්දී ඔවුන්ට දුන්නේ ජීවනයේ හුස්ම මිසක් අමරණීය ආත්මයක් කියලා දෙයක් නෙවෙයි. ජීවනයේ හුස්ම කියන්නේ මිනිස්සුන්ව ජීවත් කරවන බලයයි. කෙනෙක් මැරුණම ඔහුත් එක්කම ඒ බලයත් නැති වෙනවා. (උත්පත්ති 2:7; එසකියෙල් 18:4) ඒකෙන් පැහැදිලි වෙන්නේ නැවත නැඟිටීම කියන්නේ ආත්මය ශරීරය සමඟ එක් වීමක් නෙවෙයි. ඒ වෙනුවට මිය ගිය පුද්ගලයාව නැවත නිර්මාණය කර ඔහුට ජීවනයේ හුස්ම දෙනවා කියන එකයි.

 වැරදි අදහස: සමහර අයව නැවත නැඟිට්ටෙව්වත් ආයෙත් ඔවුන්ව ඉක්මනින්ම විනාශ කරනවා.

 බයිබලේ කියන දේ: බයිබලේ කියන්නේ “පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක් ලබනවා” කියලයි. (යොහන් 5:29) ඔවුන්ව විනිශ්චය කරන්නේ ඔවුන් නැවත නැඟිට්ටට පස්සේ කරන දේවල් අනුව මිසක් ඊට කලින් කරපු දේවල් අනුව නෙවෙයි. ඒ ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. ‘දෙවිගේ පුත්‍රයාගේ හඬ මිය ගිය අයට ඇසෙන කාලය පැමිණෙනවා. ඔහු පවසන දේ සිතට ගන්නා අය ජීවත් වෙයි.’ (යොහන් 5:25) නැවත නැඟිටින අය යේසුස්ට කීකරු වෙලා ජීවත් වෙනවා නම් ඔවුන්ගේ නම් ‘ජීවන ලියවිල්ලේ’ ලියනවා.—එළිදරව් 20:12, 13.

 වැරදි අදහස: නැවත නැඟිටින කෙනෙක්ට ලැබෙන්නේ ඔහු මිය යන්න කලින් ඔහුට තිබුණ ශරීරයමයි.

 බයිබලේ කියන දේ: මිය ගියාට පස්සේ ශරීරය සම්පූර්ණයෙන්ම දිරලා දූවිලි බවට පත් වෙනවා.—දේශනාකාරයා 3:19, 20.