Skip to content

පෘථිවිය කවදා හරි විනාශ වෙයිද?

පෘථිවිය කවදා හරි විනාශ වෙයිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 නැහැ, පෘථිවිය කිසිම දවසක විනාශ වෙන්නේවත් ගින්නෙන් දැවී යන්නේවත් නැහැ. ඒ වගේම පෘථිවිය විනාශ වෙලා ඒ වෙනුවට අලුත් ග්‍රහ ලෝකයක් එන්නෙත් නැහැ. බයිබලේ කියන්නේ දෙවියන් පෘථිවිය ඒ කියන්නේ මේ පොළොව නිර්මාණය කළේ සදහටම පවතින්න කියලයි.

  •   “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

  •   “ඔබ [දෙවියන්] පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වෙහිය. එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය.”—ගීතාවලිය 104:5.

  •   “පොළොව සදහටම පවතියි.”—දේශනාකාරයා 1:4.

  •   ‘යෙහෝවා දෙවි පොළොවද නිර්මාණය කර එය ස්ථිර ලෙස පිහිටෙව්වේය. ඔහු පොළොව සෑදුවේ හිස් පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය.’—යෙසායා 45:18.

මිනිසුන් මේ පොළොව විනාශ කරලා දායිද?

 යුද්ධවලින්, පරිසර දූෂණයෙන් හෝ වෙන ඕනෑම ක්‍රමයකින් මේ පොළොව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න දෙවියන් මිනිසුන්ට ඉඩ දෙන්නේ නැහැ. දෙවියන් ළඟදීම “පොළොව විනාශ කර දමන අයව විනාශ” කරනවා. (එළිදරව් 11:18) ඔහු ඒක කරන්නේ කොහොමද?

 මේ පොළොව ආරක්ෂා කරගන්න දේශපාලන ආණ්ඩුවලට බැරි වෙලා තියෙනවා. ඒත් දෙවියන් ඒ ආණ්ඩු වෙනුවට දේවරාජ්‍යයේ පාලනය මේ පොළොවට ගේනවා. (දානියෙල් 2:44; මතෙව් 6:9, 10) ඒ රාජ්‍යයේ රජ විදිහට කටයුතු කරන්නේ දෙවියන්ගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්. (යෙසායා 9:6, 7) මේ පොළොවේ ජීවත් වුණ කාලයේදී ස්වාභාවික දේවල් පාලනය කරන්න යේසුස්ට බලය තිබුණා. (මාක් 4:35-41) දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් පොළොවත් ඒකේ තියෙන හැම දේමත් පාළනය කරන්න යනවා. ඔහු මේ පොළොව අතීතයේ තිබුණ ඒදන් උයන වගේ කිසිම අඩුවක් නැති ලස්සන තැනක් බවට පත් කරනවා.—මතෙව් 19:28; ලූක් 23:43.

පොළොව ගින්නෙන් විනාශ වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවාද?

 බයිබලයේ එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. එහෙම දෙයක් සඳහන් වෙනවා කියලා සමහරු හිතන්නේ 2 පේතෘස් 3:7 තියෙන අදහස වැරදියට තේරුම් අරන් තියෙන නිසයි. එතන කියන්නේ “දැන් පවතින අහසත් පොළොවත් වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහාය” කියලයි. ඒත් ඒ බයිබල් පදය හරියට තේරුම්ගන්න අපිට උදව් වෙන කාරණා දෙකක් දැන් බලමු.

  1.   බයිබලයේ භාවිත කරලා තියෙන “අහස,” “පොළොව,” “ගින්න” කියන වචනවලින් විවිධ දේවල් අදහස් වෙනවා. උදාහරණයකට උත්පත්ති 11:1 කියනවා “ඒ දවස්වලදී, මුළු පොළොවෙම තිබුණේ එක භාෂාවකි” කියලා. එතන පොළොවේ කියද්දී අදහස් වෙන්නේ පොළොවේ හිටිය මිනිස් සමාජයයි.

  2.   2 පේතෘස් 3:7 සඳහන් “අහස,” “පොළොව” සහ “ගින්න” කියන වචනවල අර්ථය තේරුම් ගන්න අවට පාඨ සම්බන්ධය බලන එක උදව් වෙනවා. 2 පේතෘස් 3:5 සහ 6 කතා කරන්නේ නෝවාගේ කාලයේදී සිද්ධ වුණ ජලගැල්ම ගැනයි. ඒ ජලගැල්මෙන් විනාශ වුණේ දුෂ්ට මිනිස් සමාජය මිසක් මේ “පොළොව” නෙමෙයි. (උත්පත්ති 6:11) “අහස” විදිහට හඳුන්වන්න පුළුවන් මිනිස් පාලකයනුත් ඒ ජලගැල්මෙන් විනාශ වුණා. ඒ වුණත් පෘථිවිය විනාශ වුණේ නැහැ. ඒ ජලගැල්මෙන් බේරුණ නෝවා සහ එයාගේ පවුලේ අය ඊටපස්සේ මේ පොළොවේ ජීවත් වුණා.—උත්පත්ති 8:15-18.

 එදා ජලගැල්මෙන් දුෂ්ට මිනිසුන්ව විනාශ වුණා වගේ 2 පේතෘස් 3:7 සඳහන් ගින්නෙන් අද ඉන්න දුෂ්ට මිනිසුන් විනාශ වෙනවා. ඒත් පෘථිවිය විනාශ වෙන්නේ නැහැ. “සැමදා ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙවා” කියලා දෙවියන් පොරොන්නු වෙලා තියෙනවා. (2 පේතෘස් 3:13) “අලුත් අහසක්” විදිහට හඳුන්වන අලුත් ආණ්ඩුවකින් “අලුත් පොළොවක්” විදිහට හඳුන්වන අලුත් මිනිස් සමාජයක් පාලනය කරන්න යනවා. ඒ ආණ්ඩුව දේවරාජ්‍යයි. ඒ කාලයේදී මුළු පොළොවම සාමයෙන් පිරුණු ලස්සන පාරාදීසයක් බවට පත් වෙනවා.—එළිදරව් 21:1-4.