Skip to content

කලකිරීමෙන් ඉන්න මට බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්ද?

කලකිරීමෙන් ඉන්න මට බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්. ‘අධෛර්යයට පත් වී සිටින අයව සනසන දෙවිගෙන්’ තමයි අපිට නියම සහනය ලබාගන්න පුළුවන්.—2 කොරින්ති 7:6.

කලකිරීමෙන් ඉන්න අයට දෙවියන් සහනය දෙන්නේ කොහොමද?

  •   ශක්තිමත් කරනවා. දෙවිගෙන් සහනය ලැබෙනවා කියන්නේ දෙවියන් අපේ ප්‍රශ්න ගැටලු නැති කරනවා කියන එක නෙමෙයි. ඒවාට මුහුණ දෙන්න ශක්තිය දීමෙන් තමයි දෙවියන් අපිට සහනය දෙන්නේ. (ෆිලිප්පි 4:13) අපි දුකෙන් ඉද්දී කරන යාච්ඤාවලට දෙවියන් සවන් දෙනවා. බයිබලේ කියන්නේ “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි” කියලයි. (ගීතාවලිය 34:18) ඔයාගේ හැඟීම් වචනවලට පෙරළන්න බැරි තරමට ඔයා කලකිරිලා හිටියත් ඔයාගේ හිතේ තියෙන දුක දෙවියන් තේරුම් අරං ඔයාව ශක්තිමත් කරනවා.—රෝම 8:26, 27.

  •   හොඳ ආදර්ශවලින් උගන්වනවා. “දුක් සාගරයක ගිලී සිටියදී මම ඔබට කන්නලව් කළෙමි” කියලා පුරාණයේ හිටපු දෙවිගේ සේවකයෙක් කිව්වා. හැබැයි එයා ඊළඟට මෙහෙමත් කිව්වා. “යෙහෝවා දෙවියනි, ඔබ අපේ වැරදි දෙසම බලා සිටිනවා නම්, අනේ යෙහෝවා දෙවියනි, ඔබ ඉදිරියේ සිටිය හැක්කේ කාටද? සැබවින්ම සමාව දිය හැක්කේ ඔබටය. එබැවින් ඔබ කෙරෙහි අපට ගරුබියක් ඇති වන්නේය.” ඒකෙන් තේරෙනවා එයා කොච්චර කලකිරිලා හිටියත් යෙහෝවා දෙවි පව්වලට සමාව දෙන දයාන්විත දෙවි කෙනෙක් කියන කාරණය ගැන හිතන්න පටන්ගත්තාම එයාට කලකිරීමෙන් ගොඩ එන්න පුළුවන් වුණා කියලා.—ගීතාවලිය 130:1, 3, 4.

  •   බලාපොරොත්තුවක් දෙනවා. අපිව කලකිරීමට පත් කරන හැම දෙයක්ම ඉතාමත් ළඟදී නැති කරලා දාන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දුව ඉටු වුණාම නරක දේවල් අපේ මතකයට එන්නේ නැහැ. බයිබලේ මෙහෙම කියලා තියෙනවා. “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.”—යෙසායා 65:17.

 සැලකිල්ලට ගන්න: අධෛර්යයට පත් වෙලා කලකිරිලා ඉන්න කොට යෙහෝවා දෙවිගෙන් ලැබෙන සහනය ගොඩක් වටිනවා. හැබැයි මානසික අවපීඩනය වගේ රෝගී තත්වයකදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවා. (මාක් 2:17) මොන වගේ ප්‍රතිකාර ලබාගන්න ඕනෙද කියලා අපි නිර්දේශ කරන්නේ නැහැ. ඒක කෙනෙක් ගන්න ඕන පෞද්ගලික තීරණයක්.