Skip to content

යෙහෝවා කියන්නේ කවුද?

යෙහෝවා කියන්නේ කවුද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්කියලත් සියලු දේ නිර්මාණය කළ තැනැත්තා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 4:11) අතීතයේ හිටිය අනාගතවක්තෘවරුන් වන මෝසෙස් සහ ආබ්‍රහම් වගේම යේසුස් පවා නමස්කාර කළේ ඔහුට. (උත්පත්ති 24:27; නික්මයාම 15:1, 2; යොහන් 20:17) බයිබලයේ ඔහු ගැන කියන්නේ ඔහු එක පිරිසකට විතරක් අයිති දෙවි කෙනෙක් නෙමෙයි “මුළු පොළොවෙහිම” දෙවියන් කියලයි.—ගීතාවලිය 47:2.

 දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (නික්මයාම 3:15; ගීතාවලිය 83:18) ඒ නම ඇවිත් තියෙන්නේ හෙබ්‍රෙව් ක්‍රියා පදයකින්. බයිබල් විශාරදයන් කිහිපදෙනෙක්ම කියන්නේ ඒ නමේ අර්ථය “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා” කියලයි. දෙවියන්ට ඒ නම හොඳට ගැළපෙනවා. මොකද හැම දෙයක්ම නිර්මාණය කරපු කෙනා විදිහට තමන් අරමුණු කරන ඕනම දෙයක් ඉටු කරන්න දෙවියන්ට පුළුවන්. (යෙසායා 55:10, 11) ඒ විතරක් නෙමෙයි යෙහෝවා දෙවියන්ගේ ගුණාංග තේරුම්ගන්නත් බයිබලයේ තියෙන තොරතුරු අපිට උදව් වෙනවා. දෙවියන්ගේ ප්‍රධානම ගුණාංගය ප්‍රේමය කියලත් ඔහු ඒක පෙන්වන විදිහ ගැනත් බයිබලයෙන් අපිට දැනගන්න පුළුවන්.—නික්මයාම 34:5-7; ලූක් 6:35; 1 යොහන් 4:8.

 දෙවියන්ගේ නම නියෝජනය කරන හෙබ්‍රෙව් අකුරු හතර “ය්හ්ව්හ්” (יהוה) ඉංග්‍රීසියට පරිවර්තනය කළාම ඒක උච්චාරණය කළේ “ජෙහෝවා” කියලයි. ඒත් පුරාණ හෙබ්‍රෙව් භාෂාවට අනුව දෙවියන්ගේ නම උච්චාරණය කළේ කොහොමද කියලා කවුරුවත් හරියටම දන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ “ජෙහෝවා” කියන නමට දිගු ඉතිහාසයක් තියෙනවා. 1530දී විලියම් ටින්ඩේල් විසින් පරිවර්තනය කරපු බයිබලයේ තමයි පළවෙනි වතාවට ඒ නමට සමාන නමක් ඉංග්‍රීසියෙන් දකින්න ලැබුණේ. a

මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව දෙවියන්ගේ නම උච්චාරණය කරන විදිහ කවුරුවත් දන්නේ නැත්තේ ඇයි?

 පුරාණ හෙබ්‍රෙව් භාෂාවෙන් යම් දෙයක් ලියද්දී ඒ අය ප්‍රාණාක්ෂර යෙදුවේ නැහැ. ගාත්‍රාක්ෂර විතරයි පාවිච්චි කළේ. හැබැයි කියවන කෙනා ගැළපෙන ප්‍රාණාක්ෂර යොදලයි ඒක කියෙව්වේ. ඒත් පරණ ගිවිසුම ඒ කියන්නේ හෙබ්‍රෙව් ලියවිල්ල ලියලා ඉවර වුණාට පස්සේ, දෙවියන්ගේ නම උච්චාරණය කරන එක වැරදියි කියලා යුදෙව්වන් අතර මිථ්‍යා මතයක් පැතිරුණා. ඒ නිසා එයාලා හෙබ්‍රෙව් ලියවිල්ල කියවනකොට දෙවියන්ගේ නම තියෙන තැනට “ස්වාමීන්” නැත්නම් “දෙවියන්” කියන වචන යෙදුවා. සියවස් ගණනාවක් ගත වෙලා යද්දී ලෝකය පුරාම හිටිය අය ඒ දේ අනුගමනය කරපු නිසා මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවියන්ගේ නම උච්චාරණය කරපු විදිහ මිනිසුන් අතරින් ගිලිහිලා ගියා. b

 දෙවියන්ගේ නම “යාහ්වේ” කියලා උච්චාරණය කරන්න ඇති කියලා සමහර අය කිව්වත් තවත් අය කියන්නේ ඒක උච්චාරණය කරන්න වෙනත් විදි තිබුණා කියලයි. මළ මුහුද ළඟින් හමු වුණ අත්පිටපත් අතර ග්‍රීක භාෂාවට පරිවර්තනය කරපු ලෙවී කතාව පොතේ කොටසක් තියෙනවා. ඒකෙ දෙවියන්ගේ නම සඳහන් වෙන්නේ “යාඕ” කියලයි. ඒ වගේම අතීතයේ හිටිය ග්‍රීක ලේඛකයන් ඒක “යාඑ,” “යාබෙ” සහ “යායූවෙ” කියලත් උච්චාරණය කරන්න පුළුවන් කියලා කිව්වා. ඒත් මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව දෙවියන්ගේ නම උච්චාරණය කරන්න ඕන නිවැරදිම විදිහ මේකයි කියලා කාටවත් හරියටම කියන්න බැහැ. c

බයිබලයේ දෙවියන්ගේ නම සඳහන් වෙලා තියෙන එක ගැන වැරදි මත

 වැරදි මතය: “යෙහෝවා” කියන්නේ පරිවර්තකයන් බයිබලයට අලුතින් එකතු කරපු නමක්.

 ඇත්ත මේකයි: දෙවියන්ගේ නම නියෝජනය කරන හෙබ්‍රෙව් අකුරු හතර බයිබලයේ 7,000කට ආසන්න වාර ගණනක් සඳහන් වෙනවා. ඒත් හුඟක් පරිවර්තකයන් ඒ නම බයිබලයෙන් අයින් කරලා ඒ තැන්වලට “ස්වාමීන්වහන්සේ” වගේ වචන පාවිච්චි කරලා තියෙනවා.

 වැරදි මතය: සර්වබලධාරී දෙවියන්ට නමක් ඕනෙ නැහැ.

 ඇත්ත මේකයි: දෙවියන්ගේ නම 7,000කටත් වඩා වැඩි වාර ගණනක් බයිබලයේ සඳහන් කරන්න ලේඛකයන්ව පෙලඹුවේ ඔහුමයි. ඒ වගේම ඔහුට නමස්කාර කරන අයට තමන්ගේ නම පාවිච්චි කරන්න කියලත් දෙවියන් කිව්වා. (යෙසායා 42:8; යෝවෙල් 2:32; මලාකි 3:16; රෝම 10:13) ඒ වෙනුවට දෙවියන්ගේ නම මිනිසුන්ට අමතක කරවන්න උත්සාහ කරපු අයව ඔහු හෙළාදැක්කා.—යෙරෙමියා 23:27.

 වැරදි මතය: යුදෙව්වන් දෙවියන්ගේ නම අයින් කරපු නිසා අපිත් එහෙම කරන්න ඕනේ.

 ඇත්ත මේකයි: සමහර යුදෙව් ආගමික නායකයන් දෙවියන්ගේ නම උච්චාරණය කරන්නේ නැතුව හිටියා තමයි. ඒත් එයාලා ඒක එයාලගේ බයිබලයෙන් අයින් කළේ නැහැ. හැබැයි එයාලා එහෙම කළා කියලා අපි දෙවියන්ගේ නම පාවිච්චි නොකර ඉන්න එක වැරදියි. මොකද අපි මිනිසුන්ගේ සම්ප්‍රදායන් නිසා ඔහුගේ ආඥා කඩ කරනවාට දෙවියන් කැමති නැහැ.—මතෙව් 15:1-3.

 වැරදි මතය:මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව දෙවියන්ගේ නම උච්චාරණය කරන විදිහ හරියටම දන්නේ නැති නිසා ඒ නම බයිබලයේ සඳහන් කරන එක සුදුසු නැහැ.

 ඇත්ත මේකයි: ඒ මතයට අනුව, කෙනෙක්ගේ භාෂාව මොකක් වුණත් දෙවියන්ගේ නම එකම විදිහට උච්චාරණය කරන්න ඕනෙ කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. ඒත් ඇත්ත ඒක නෙමෙයි. මොකද බයිබලයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ විවිධ භාෂා කතා කරපු දෙවියන්ගේ සේවකයන් විවිධ නම් විවිධ විදිහට උච්චාරණය කළා කියලයි.

 උදාහරණයකට පළවෙනි සියවසේ හිටිය විනිශ්චයකරුවෙක් වුණු යොෂුවාගේ නම විවිධ විදිහට උච්චාරණය කරලා තියෙනවා. හෙබ්‍රෙව් භාෂාව කතා කරපු අය ඒ නම උච්චාරණය කරන්න ඇත්තේ “යෙහෝෂුවා” කියලා. ග්‍රීක භාෂාව කතා කරපු අය කියන්න ඇත්තේ “ඊසොස්” කියලා. හෙබ්‍රෙව් භාෂාවෙන් තිබුණ යොෂුවාගේ නම බයිබලයේ ග්‍රීක භාෂාවට පරිවර්තනය කරලා තියෙන විදිහෙන් පැහැදිලි වෙන්නේ ඒ කාලයේ හිටිය ක්‍රිස්තියානීන් තමන් කතා කරපු භාෂාවට ගැළපෙන විදිහට ඒ නම් උච්චාරණය කළා කියන එකයි.—ක්‍රියා 7:45; හෙබ්‍රෙව් 4:8.

 දෙවියන්ගේ නම විවිධ භාෂාවලට පරිවර්තනය කරලා තියෙන්නේ ඒ ඒ භාෂාවලට ගැළපෙන විදිහටයි. ඒත් වැදගත් වෙන්නේ දෙවියන්ගේ නම හරියටම උච්චාරණය කරන විදිහ ගැන හිතනවට වඩා, බයිබලයේ දෙවියන්ගේ නම තියෙන්න ඕන නියමිත තැන්වලට ඒක දාලා තියෙනවද කියන එක ගැන හිතන එකයි.

a විලියම් ටින්ඩේල් බයිබලයේ මුල් පොත් පහ පරිවර්තනය කරද්දී දෙවියන්ගේ නම සඳහන් කරලා තියෙන්නේ “යයූවා” ලෙසයි. කාලයත් එක්ක ඉංග්‍රීසි භාෂාව වෙනස් වෙද්දී දෙවියන්ගේ නම ශබ්ද කරපු විදිහත් වෙනස් වුණා. උදාහරණයකට 1612දී ගීතාවලිය පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරපු හෙන්රි ඒන්ස්වත්, දෙවියන්ගේ නම ඒකෙ සඳහන් කරලා තිබුණේ “යහෝවා” ලෙසයි. 1639දී ඔහු ඒ පොත නැවත සංශෝධනය කර මුද්‍රණය කරද්දී ඒකෙ දෙවියන්ගේ නම සඳහන් කරලා තිබුණේ “ජෙහෝවා” ලෙසයි. 1901දී ප්‍රකාශයට පත් කළ ‘ඇමරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන්’ බයිබලයේ හෙබ්‍රෙව් ලියවිලිවල දෙවියන්ගේ නම යොදා තිබුණෙත් “ජෙහෝවා” ලෙසයි.

b කතෝලික විශ්වකෝෂයක මේ වගේ අදහසක් තියෙනවා. “යුදෙව්වන් බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වෙලා ටික කාලයක් යද්දී ‘යාහ්වේ’ කියන නමට විශේෂ ගෞරවයක් දෙන්න පටන්ගත්තා. ඒ නිසා ඒ නම අයින් කරලා ඒ වෙනුවට ‘ඇඩොනයි’ [ස්වාමීන්] හෝ ‘එලෝහිම්’ [දෙවියන්] කියන වචන ඒ තැන්වලට යෙදුවා.—New Catholic Encyclopedia, දෙවෙනි සංස්කරණය, 14වෙනි වෙළුම, 883-​884 පිටු.

c වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කළ ‘දේවවචනය අධ්‍යයනයට’ කියන පොතේ “හෙබ්‍රෙව් ලියවිල්ලේ දෙවිගේ නාමය” කියන කොටස බලන්න.