Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

ෆිලිප්පි 4:6, 7 - ‘කිසිවක් ගැන කනගාටු නොවන්න’

ෆිලිප්පි 4:6, 7 - ‘කිසිවක් ගැන කනගාටු නොවන්න’

 “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.”—ෆිලිප්පි 4:6, 7, ‘නව ලොව පරිවර්තනය.’

 “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.”—ෆිලිප්පි 4:6, 7, ‘පැරණි අනුවාදය.’

ෆිලිප්පි 4:6, 7 අදහස

 දෙවියන්ට නමස්කාර කරන අයට හිතට වේදනාවක්, කනස්සල්ලක් දැනෙද්දී එයාලට පුළුවන් ඒ ගැන යාච්ඤා කරලා දෙවියන්ට කියන්න. මොකද ඔහු පොරොන්දු වෙලා තියෙනවා මනසේ සමාදානය අද්දකින්න උදව් කරනවා කියලා. ඕනම කනස්සල්ලක් මැද වුණත් හරි විදිහට හිතන්න ඒ සමාදානය උදව් වෙනවා. ඒ සමාදානය අද්දකින්න නම් අපි යාච්ඤාවට ඇතුල් කරන්න ඕන දේවල් ගැන 6වෙනි පදයෙන් දැනගන්න පුළුවන්.

 කන්නලව්. කන්නලව් කරනවා කියන්නේ බැගෑපත් වෙලා, ලොකු ඕනෙකමකින් දෙවියන්ට අයැදින එකට. ලොකු පීඩනයකින් ඉන්න කෙනෙක් එහෙම කරන්න ඉඩ තියෙනවා. හරියට යේසුස් කළා වගේ. (හෙබ්‍රෙව් 5:7) කන්නලව් කරන කෙනා එයාට තියෙන ප්‍රශ්නය ගැන දෙවියන්ට නිතර නිතර යාච්ඤා කරන්න පෙලඹෙනවා.

 ඉල්ලීම්. දෙවියන්ට යාච්ඤා කරද්දී නිශ්චිතව දේවල් ගැන ඔහුගෙන් ඉල්ලන්න අපිට පුළුවන්. මොන වගේ දේවල් ගැනද? ඕනම දෙයක් ගැන. ඒකයි ඒ බයිබල් පදයේ “සියලු” ඉල්ලීම් කියලා තියෙන්නේ. හැබැයි ඒ ඉල්ලීම් “දෙවිගේ කැමැත්තට එකඟ” වෙන්න ඕනේ. (1 යොහන් 5:14) දෙවියන් ඔහුගේ කැමැත්ත මොකක්ද කියලා බයිබලය මාර්ගයෙන් අපිට කියලා දීලා තියෙනවා.

 ස්තුති කිරීම. දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන, කරන්න යන දේවල් ගැන ඔහුට ස්තුති කරන්න අපිට පුළුවන්. දෙවියන්ට ස්තුති කරන්න තියෙන දේවල් ගැන හිතන එක දිගටම සතුටින් ඉන්න අපිට උදව් වෙනවා.—1 තෙසලෝනික 5:16-18.

 ඒ විදිහට යාච්ඤා කරන දෙවියන්ගේ සේවකයන්ට සමාදානය අද්දකින්න දෙවියන් උදව් කරනවා. ‘දෙවි ලබා දෙන ඒ සමාදානය’ අද්දකින්න පුළුවන් වෙන්නේ ඔහු එක්ක කිට්ටු බැඳීමක් තියෙන අයට විතරයි. (රෝම 15:13; ෆිලිප්පි 4:9) දෙවියන්ගෙන් ලැබෙන ඒ සමාදානය ‘කිසිම මිනිසෙකුට වටහාගන්න බැරි’ සමාදානයක්. ඒක අද්දකිද්දී අපිට හිතාගන්න බැරි විදිහේ සන්සුන්කමක් අද්දකින්න විතරක් නෙවෙයි අපි හීනෙකින්වත් හිතන්නේ නැති විදිහට දෙවියන්ගේ උදව් අද්දකින්නත් අපිට පුළුවන්.

 මේ බයිබල් පදයේ පෙන්නනවා දෙවියන්ගෙන් ලැබෙන සමාදානය අපේ හදවතට ඒ කියන්නේ හිතට ආරක්ෂාවක් කියලා. “ආරක්ෂාවක්” කියන අදහස දෙන්න ග්‍රීක භාෂාවෙන් යොදාගෙන තියෙන වචනය නුවරක් ආරක්ෂා කරන්න පත් කරලා හිටපු හමුදා කණ්ඩායමක් විස්තර කරන්නත් යොදාගෙන තියෙනවා. ඇත්තටම දෙවියන්ගෙන් ලැබෙන සමාදානය අද්දකින කෙනෙක්ට එයාගේ සිතුවිලි ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ කියන්නේ දරාගන්න බැරි තරම් ප්‍රශ්න එක පිට එක ආවත් හරි විදිහට හිතන්න එයාට පුළුවන් වෙනවා.

 ෆිලිප්පි පොතේ කියන්නේ “ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය” නිසා අපිට ආරක්ෂාවක් ලැබෙනවා කියලා. මොකද අපිට දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ යේසුස් කැමැත්තෙන්ම අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කරපු නිසයි. යේසුස් ගැන අපිට සැබෑ විශ්වාසයක් තියෙනවා නම් දෙවියන්ගේ ආශීර්වාද අද්දකින්න අපිට පුළුවන්. (හෙබ්‍රෙව් 11:6) ඇත්තටම කෙනෙක්ට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ යේසුස් මාර්ගයෙන් විතරයි. ඒ නිසයි යේසුස් කිව්වේ “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි” කියලා.—යොහන් 14:6; 16:23.

ෆිලිප්පි 4:6, 7 අවට පද

 ෆිලිප්පි පොතේ තියෙන්නේ පාවුල් ෆිලිප්පියේ a ක්‍රිස්තියානීන්ට ලියපු ලියුමක්. දිගටම ප්‍රීතියෙන් ඉන්න කියලා පාවුල් එයාලව දිරිගන්වලා තියෙනවා. ඒ වගේම තමන් ගැන අවංකවම සැලකිලිමත් වුණ එක ගැන එයාලට ස්තුති කරලත් තියෙනවා. (ෆිලිප්පි 4:4, 10, 18) දෙවියන්ගෙන් ලැබෙන සමාදානය අද්දකින්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද කියලත් “සමාදානයේ දෙවිගෙන්” උදව් අද්දකින්න නම් අපි හිතන්න ඕනෙ, වැඩ කරන්න ඕනෙ කොහොමද කියලත් පාවුල් පැහැදිලි කළා.—ෆිලිප්පි 4:8, 9.

a දැන් ග්‍රීසිය විදිහට හඳුන්වන රටේ තමයි එදා ෆිලිප්පි නගරය පිහිටලා තිබුණේ.