Skip to content

පටුනට යන්න

9වන පාඩම

ඊශ්‍රායෙල් සෙනඟ රජෙකුව ඉල්ලයි

ඊශ්‍රායෙල් සෙනඟ රජෙකුව ඉල්ලයි

ඊශ්‍රායෙල්හි පළමු රජු වූ සාවුල් දෙවිට අකීකරු වෙයි. සාවුල්ගෙන් පසුව දාවිත්, රජු බවට පත් වෙයි. දාවිත්ගේ පෙළපත හැමදාටම පවතින බවටත් ඔහුගෙන් පැවතෙන්නෙකු සදහටම රජකම් කරන බවටත් දෙවි පොරොන්දු වෙයි

සැම්සන්ගෙන් පසු සාමුවෙල් නම් තැනැත්තෙක් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් සේවය කළා. ඔහු දෙවිගෙන් ලැබූ පණිවිඩ සෙනඟට දැන්වූ අතර සෙනඟව විනිශ්චය කිරීමේ කටයුතුවලද නිරත වුණා. අවට ජාතීන්ට මෙන් තමන්ටත් රජෙකු අවශ්‍ය බව ඊශ්‍රායෙල්වරු දිගින් දිගටම සාමුවෙල්ට කියා සිටියා. සෙනඟ කළ ඒ ඉල්ලීම යෙහෝවා දෙවිට වේදනාවක් ගෙන දුන්නත් එය ඉටු කරන ලෙස දෙවි සාමුවෙල්ට පැවසුවා. ඉතා නිහතමානී පුද්ගලයෙක් වූ සාවුල්ව ඔවුන්ගේ රජු ලෙස දෙවි පත් කළා. නමුත් කාලයක් ගත වෙද්දී සාවුල් රජු උඩඟු ලෙස ක්‍රියා කරමින් දෙවිට අකීකරු වූ නිසා දෙවි ඔහුව ප්‍රතික්ෂේප කළා. ඔහු වෙනුවට දාවිත් නම් තරුණයාව රජු ලෙස අභිෂේක කරන ලෙස දෙවි සාමුවෙල්ට පැවසුවා. නමුත් රජු බවට පත් වීමට දාවිත්ට අවුරුදු ගණනාවක් බලා සිටින්න සිදු වුණා.

ඒ අතරතුර කාලයේදී තරුණ දාවිත් සාවුල් රජුගේ හමුදාවේ සේවය කරමින් සිටි තම සහෝදරයන්ව බලන්න ගියා. එවිට පිලිස්තිවරයෙක් වූ ගොලියත් නම් යෝධයා තමන් සමඟ සටනට එන්න කියා ඊශ්‍රායෙල් හමුදාවට අභියෝග කරමින් සිටි ආකාරයත් ඊට මුහුණ දීමට ඔවුන් භයෙන් සිටින ආකාරයත් දාවිත් දුටුවා. යෙහෝවා දෙවිටත් ඔහුගේ සෙනඟටත් ගොලියත් අපහාස කළ නිසා මහත් කෝපයකින් සිටි දාවිත්, උස අඩි නවයකටත් වඩා වැඩි ගොලියත් සමඟ සටන් කිරීමට ඉදිරිපත් වුණා. තමා සමඟ සටන් කිරීමට ඉදිරිපත් වූ කොලුවා ළඟ තිබෙන්නේ ගල් පටියක් හා ගල් කිහිපයක් පමණක් බව දුටු ගොලියත් ඔහුට සමච්චල් කළා. නමුත් ඒ අවස්ථාවේ දාවිත් ගොලියත්ට කියා සිටියේ යෙහෝවා දෙවි තම උපකාරයට සිටින නිසා ඔහුට වඩා තමන් සටන් කිරීමට සූදානමින් සිටින බවයි. දාවිත් ගැසූ පළමු ගල් පහරින්ම ඒ මහා යෝධයා බිම ඇද වැටුණු අතර දාවිත් ගොලියත්ගේ කඩුව ගෙන ඔහුගේ හිස ගසා දැමුවා. ඒ සියල්ල දුටු පිලිස්ති හමුදාව භයෙන් පලා ගියා.

දාවිත්ගේ ඒ නිර්භීත ක්‍රියාව දැක සාවුල් රජ ඔහු ගැන සතුටු වී තම හමුදාවේ ප්‍රධානියා ලෙස ඔහුව පත් කළා. නමුත් දාවිත් යුද්ධවලින් ජය ගෙන අන් අයගේ ප්‍රශංසා ලබන විට සාවුල්ට ඔහු ගැන මහත් ඊර්ෂ්‍යාවක් ඇති වී ඔහුව මරා දමන්න කිහිප වතාවක්ම තැත් කළා. ඒ නිසා දාවිත්ට තම ජීවිතය බේරාගැනීමට ඔහු වෙතින් පලා ගොස් විවිධ තැන්වල අවුරුදු ගණනාවක් ජීවත් වීමට සිදු වුණා. නමුත් දාවිත් දිගටම සාවුල් රජුට විශ්වාසවන්තව සිටියා. මන්ද දාවිත් දැන සිටියා සාවුල්ව රජු ලෙස පත් කළේ යෙහෝවා දෙවි බව. පසුව සාවුල් රජ යුද්ධයකදී මිය ගියා. යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙස දාවිත්, රජු ලෙස පත් වුණා.

“මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.”—2 සාමුවෙල් 7:13

කල් යත්ම යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා ගෘහයක් ගොඩනඟන්න දාවිත් රජුට ලොකු ආශාවක් ඇති වුණා. නමුත් දෙවි පැවසුවේ ගෘහය ගොඩනඟන්නේ දාවිත් නොව ඔහුගෙන් පැවතෙන්නෙකු බවයි. ඒ සඳහා දෙවි තෝරාගත්තේ දාවිත්ගේ පුත් සලමොන්වයි. යෙහෝවා දෙවි ගෘහය ගොඩනැඟීමට දාවිත්ට අවස්ථාව නොදුන්නත් දෙවි ඔහු සමඟ විශේෂ ගිවිසුමක් ඇති කරගනිමින් ඔහුට ආශීර්වාද කළා. ඒ ගිවිසුමට අනුව දාවිත්ගෙන් රාජකීය පෙළපතක් බිහි වන බවත් ඒ පෙළපතින් ඒදන් උයනේදී දෙවි පැවසූ ගැලවුම්කරු පැමිණෙන බවත් දෙවි පොරොන්දු වුණා. ක්‍රිස්තුස් ලෙසත් හැඳින්වූ ඒ ගැලවුම්කරු සදහටම පවතින රාජ්‍යයක රජු වන බවත් දෙවි පැවසුවා.

දෙවි දුන් ඒ පොරොන්දුව මහත් සේ අගය කළ දාවිත්, ගෘහය ගොඩනැඟීමට අවශ්‍ය සෑම දෙයක්ම පාහේ රැස් කර තැබුවා. බයිබලයේ ඇතුළත් ගීතිකා බොහොමයක්ද ඔහු විසින් රචනා කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් දාවිත් තම ජීවිතයේ අවසාන කාලයේදී පැවසුවේ මෙසේයි. “යෙහෝවා දෙවිගේ බලය, කතා කිරීමට මා පෙලඹුවේය. ඔහුගේ වචන මාගේ දිවෙහි තිබුණේය.”—2 සාමුවෙල් 23:2.

1 සාමුවෙල්; 2 සාමුවෙල්; 1 ලේකම්; යෙසායා 9:7; මතෙව් 21:9; ලූක් 1:32; යොහන් 7:42.