Skip to content

පටුනට යන්න

4වන පාඩම

දෙවි ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කරගනියි

දෙවි ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කරගනියි

ආබ්‍රහම්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය නිසා ඔහු දෙවිට කීකරු වෙයි. දෙවි ඔහුට ආශීර්වාද කර ඔහුගෙන් මහත් ජාතියක් බිහි කිරීමට පොරොන්දු වෙයි

ජලගැල්මෙන් අවුරුදු 350කට පමණ පසු යෙහෝවා දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ ආබ්‍රහම් නම් මිනිසෙක් සිටියා. ඔහු ජීවත් වුණේ ඌර් නම් ඉතා ධනවත් නගරයෙයි. එය පිහිටා තිබුණේ ඉරාකයෙයි.

ආබ්‍රහම්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය කොතරම්ද කියා පෙන්වීමට අවස්ථාවක් උදා වුණා. තමා උපන් දේශය අත්හැර නොදන්නා වෙනත් දේශයකට යන්න කියා යෙහෝවා දෙවි ඔහුට පැවසුවා. ඒ අවස්ථාවේදී දෙවි ආබ්‍රහම් සමඟ ගිවිසුමක්ද ඇති කරගත්තා. ඒ ගිවිසුමට ආබ්‍රහම්ගෙන් මහත් ජාතියක් බිහි කරන බවටත් ඔහු මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබන බවටත් වූ පොරොන්දු ඇතුළත් වුණා. දෙවි පැවසූ දේට කීකරු වෙමින් ආබ්‍රහම් ඔහුගේ භාර්යාව වූ සාරාවද ඥාති පුත්‍රයා වූ ලොත්වද දාසදාසීන්වද රැගෙන ඌර් නගරයෙන් විගස පිටත්ව ගියා. දිගු කාලයක් ගමන් කළ පසු ඔවුන් කානාන් නම් දේශයට පැමිණියා. ඔවුන් කූඩාරම් ගසාගෙන එහි ජීවත් වුණා. දෙවි ඔහුට පවසා තිබුණේ ඔහුගෙන් පැවතෙන්නන්ට ඒ දේශය යම් දවසක උරුම වන බවයි.

කාලයක් ගත වූ විට ආබ්‍රහම් සහ ලොත් හුඟක් ධනවත් වුණා. ඔවුන්ට බොහෝ බැටළු හා ගව රැළවල් සිටි නිසා තවදුරටත් එකට ජීවත් වීම පහසු දෙයක් වුණේ නැහැ. ඒ නිසා ඔවුන් වෙන්ව යෑමට තීරණය කළා. යන්නේ කොයි ප්‍රදේශයටද කියා මුලින්ම තීරණය කිරීමට ආබ්‍රහම් නිහතමානීව ලොත්ට අවස්ථාව දුන්නා. ලොත් ඉතා සරු ප්‍රදේශයක් වූ යොර්දාන් ගඟ අවට ප්‍රදේශය තෝරාගෙන සොදොම් නම් නගරය අසල පදිංචි වුණා. ඒ නගරයේ ජීවත් වුණේ දෙවිට විරුද්ධව බොහෝ පව් කරමින් අනාචාර ජීවිත ගත කළ අයයි.

ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් අහසේ තාරකා මෙන් ගණනින් වැඩි වන බව යෙහෝවා දෙවි පසු කාලයක ඔහුට සහතික කළා. ආබ්‍රහම්ට ඒ පොරොන්දුව කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුණා. නමුත් සාරාට බොහෝ කාලයක් ගත වන තුරුත් දරුවන් සිටියේ නැහැ. ඒ වන විට ආබ්‍රහම්ට වයස අවුරුදු 99යි. සාරාට අවුරුදු 90යි. නමුත් ඔවුන්ට පුතෙක් ලැබෙන බව යෙහෝවා දෙවි පැවසුවා. එය සැබෑ කරවමින් සාරා ඊසාක්ව බිහි කළා. ආබ්‍රහම්ට තවත් දරුවන් සිටියත් ඒදන් උයනේදී දෙවි සඳහන් කළ විශේෂ තැනැත්තා නැත්නම් පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණෙන්නේ ඊසාක්ගේ පෙළපතිනුයි.

ඒ දේවල් සිදු වන විට ලොත් සහ ඔහුගේ පවුලේ අය ජීවත් වෙමින් සිටියේ සොදොම් නගරයෙයි. ලොත් ධර්මිෂ්ඨ පුද්ගලයෙක් වූ නිසා ඒ නගරයේ ජීවත් වූ අය මෙන් ඔහු අනාචාර ජීවිතයක් ගත කළේ නැහැ. යෙහෝවා දෙවි සොදොම් නගරය විනාශ කිරීමට තීරණය කළ විට ඒ ගැන ලොත්ට අනතුරු ඇඟවීමට දේවදූතයන්ව යැව්වා. ඒ දේවදූතයන් ලොත්ට සහ ඔහුගේ පවුලේ අයට පැවසුවේ ආපසු හැරී බලන්නේ නැතුව ඉක්මනින් සොදොම් නගරයෙන් පිට වන ලෙසයි. පසුව දෙවි අහසින් ගිනිද ගෙන්දගම්ද වැටෙන්න සලස්වා සොදොම් නගරයත් එය අසල පිහිටි ගොමෝරා නගරයත් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවා. එයින් ගැලවුණේ ලොත් සහ ඔහුගේ දූවරුන් දෙදෙනා පමණයි. ලොත්ගේ භාර්යාව නගරයෙන් පලා යන විට ආපසු හැරී බැලීමෙන් දෙවිගේ අණට අකීකරු වූ නිසා ඇයත් විනාශ වුණා. සමහරවිට ඇය එසේ හැරී බැලුවේ අත්හැර දමා ආ දේවල් ගැන ඇයට තිබූ ආශාව නිසා විය හැකියි.

උත්පත්ති 11:10-19:38.