Skip to content

පටුනට යන්න

90වෙනි පාඩම

යේසුස් ගොල්ගොතාවලදී මිය යයි

යේසුස් ගොල්ගොතාවලදී මිය යයි

නායක පූජකයන් යේසුස්ව ආණ්ඩුකාරයාගේ මාලිගාවට අරන් ගියාම පිලාත් ඇහුවා ‘මේ මිනිසාට තියෙන චෝදනාව මොකක්ද’ කියලා. එයාලා මෙහෙම කිව්වා. ‘එයා තමන්ව රජෙක් කියලා හඳුන්වනවා.’ එතකොට පිලාත් යේසුස්ගෙන් ඇහුවා “ඔබ යුදෙව්වරුන්ගේ රජද” කියලා. යේසුස් කිව්වා “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියලා.

ඊළඟට පිලාත් යේසුස්ව ගලීලයේ පාලකයා වන හෙරොද් ළඟට යැව්වාම හෙරොද්ටත් යේසුස්ගේ වරදක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා ආයෙත් යේසුස්ව පිලාත් ළඟට යැව්වම පිලාත් සෙනඟට මෙහෙම කිව්වා. ‘මටවත් හෙරොද්ටවත් බැරි වුණා මේ මිනිසාගේ වරදක් හොයාගන්න. මං එයාව නිදහස් කරනවා.’ එතකොට සෙනඟ කෑගහලා කිව්වා ‘ඔහුව මරන්න’ කියලා. හේවායෝ යේසුස්ට කස පහර දීලා, කෙළ ගහලා හොඳටම ගැහුවා. කටු අතුවලින් ඔටුන්නක් හදලා ඒක යේසුස්ගේ ඔළුවට දාලා මෙහෙම සමච්චල් කළා. ‘යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ඔබට සුබ දවසක්!’ ‘මේ මිනිසාගේ කිසිම වරදක් නැහැ’ කියලා පිලාත් කිව්වම සෙනඟ කෑගහලා කිව්වා ‘ඔහුව කණුවක ඇණ ගහලා මරන්න’ කියලා. ඒ නිසා පිලාත් යේසුස්ව මරන්න අණ කළා.

හේවායෝ යේසුස්ව ගොල්ගොතා කියන තැනට අරන් ගිහින් කණුවක ඇණ ගැහුවා. ඒ වෙලාවේ යේසුස් මෙහෙම යාච්ඤා කළා. ‘පියාණෙනි, මේ අයට සමාව දෙන්න. මෙයාලා කරන දේ ගැන මෙයාලට තේරෙන්නේ නැහැ.’ මිනිසුන් යේසුස්ට සමච්චල් කරලා කිව්වා ‘ඔබ දෙවිගේ පුතා නම් කණුවෙන් බැහැලා එන්න’ කියලා.

යේසුස් ළඟ ඇණ ගහලා හිටිය හොරෙක් යේසුස්ට කිව්වා ‘ඔබේ රාජ්‍යයට ඇතුල් වෙන කොට මාව අමතක කරන්න එපා’ කියලා. ‘ඔයා මාත් එක්ක පාරාදීසයේ ඉන්නවා’ කියලා යේසුස් එයාට පොරොන්දු වුණා. දවල් 12ට විතර එකපාරටම මුළු පොළොවම අන්ධකාර වුණා. එතන ගෝලයෝ ටිකදෙනෙකුයි මරියායි හිටියා. යේසුස් යොහන්ට කිව්වා මරියාව එයාගෙම අම්මා වගේ බලාගන්න කියලා.

“ඔබ පැවසූ සෑම දෙයක්ම මම ඉටු කළා” කියලා යේසුස් කිව්වට පස්සේ ඔහු මිය ගියා. ඒ වෙලාවේ ලොකු භූමිකම්පාවක් ඇති වෙලා දේවමාලිගාවේ ශුද්ධස්ථානයයි අතිශුද්ධස්ථානයයි වෙන් කරලා තිබුණු ලොකු තිරය දෙකට මැදින් ඉරුණා. වෙච්ච දේවල් දැකලා එතන හිටිය හමුදා නිලධාරියෙක් කිව්වා ‘ඇත්තෙන්ම මේ දෙවිගේ පුතාමයි’ කියලා.

“දෙවි දී ඇති සෑම පොරොන්දුවක්ම යේසුස් මාර්ගයෙන් එසේය වී තිබේ.”—2 කොරින්ති 1:20