Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | බයිබලයේ තියෙන්නේ කාගේ අදහස්ද?

බයිබලය ‘දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්’ ලැබුණු පොතක්ද?

බයිබලය ‘දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්’ ලැබුණු පොතක්ද?

ඔයා හිතන්නේ බයිබලය අපිට ලැබුණේ දෙවියන්ගෙන් කියලද? නැත්නම් ඒකේ තියෙන්නේ මිනිසුන්ගේ අදහස් කියලද?

ක්‍රිස්තියානීන් කියලා කියාගන්නා අය අතරත් ඒ ගැන විවිධ මත තියෙනවා. උදාහරණෙකට 2014දී ඇමරිකාවේ පවත්වපු සමීක්ෂණයකින් හෙළි වුණේ ඒ අයගෙන් වැඩිදෙනෙක් “බයිබලයට දෙවියන්ගේ යම් සම්බන්ධයක් තියෙනවා කියලා පිළිගත්තා” කියලයි. ඒත් ඒ සමීක්ෂණයේ හිටපු හැම පස්දෙනෙක්ගෙන්ම එක් කෙනෙක් කිව්වේ බයිබලය “මිනිසුන් ලියපු ප්‍රබන්ධ කතා, ඉතිහාස කතා, නීති ඇතුළත් පොතක්” කියලයි. ඒ වගේ මතභේදයක් තියෙන නිසා බයිබලය ‘දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්’ ලියවුණා කියන දෙයින් අදහස් කරන දේ අපි දැනගන්න ඕනේ.—2 තිමෝති 3:16.

‘මඟ පෙන්වීමෙන්’ කියන එකෙන් අදහස් වෙන දේ

බයිබලය පොත් 66ක එකතුවක්. අවුරුදු 1,600ක විතර කාලයක් ඇතුළත මිනිසුන් 40දෙනෙක් ඒ පොත් ලිව්වා. බයිබලය මිනිසුන් ලිව්වා නම් ඒක ‘දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්’ ලිව්වා කියන්නේ ඇයි? බයිබලයේ මෙහෙම කියනවා. “මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.” (2 පේතෘස් 1:21) ඒ කියන්නේ දෙවියන් ඔහුගේ බලය යොදාගෙන ඔහුට දෙන්න ඕන පණිවිඩය බයිබලයේ පොත් ලියපු අයට දැනුම් දුන්නා. ඒක හරියට ආයතනයක ප්‍රධානියෙක් ලේකම්ට කියලා ලියුමක් ලියාගන්නවා වගෙයි. ඒ ලියුම ලිව්වේ ලේකම් වුණත් ඒකේ තියෙන්නේ ලේකම්ගේ අදහස් නෙවෙයි. ප්‍රධානියාගේ අදහස්.

දෙවියන් බයිබල් ලේඛකයන්ට ඒ තොරතුරු දේවදූතයන් මාර්ගයෙනුත් දර්ශන මාර්ගයෙනුත් සිහින මාර්ගයෙනුත් දැනුම් දීලා තියෙනවා. සමහර අවස්ථාවලදී දෙවියන් ලියන්න ඕන වචන ඒ විදිහටම බයිබල් ලේඛකයන්ට දැනුම් දුන්නා. තවත් අවස්ථාවලදී බයිබල් ලේඛකයන්ට එයාලාගෙම වචනවලින් ඒ තොරතුරු සටහන් කරන්න දෙවියන් ඉඩ දුන්නා. ඒ හැම අවස්ථාවකදීම එයාලා ලිව්වේ දෙවියන්ගේ අදහස් මිසක් එයාලගේ අදහස් නෙවෙයි.

බයිබල් ලේඛකයන්ට ඒවා ලියන්න මඟ පෙන්නුවේ දෙවියන්මයි කියලා ස්ථිරවම කියන්න තියෙන හේතු තුනක් අපි බලමු.