Skip to content

පටුනට යන්න

එක්සත්කම රැකගන්න ඔයාත් දායක වෙන්න

එක්සත්කම රැකගන්න ඔයාත් දායක වෙන්න

‘ක්‍රිස්තුස් මාර්ගයෙන් මුළු ශරීරයම එකට බැඳී පවතින අතර එහි සෑම අවයවයක්ම සහයෝගයෙන් ක්‍රියා කරයි.’—එෆී. 4:16.

ගීතිකා: 53, 107

1. මුල් කාලේ ඉඳන්ම දෙවි සම්බන්ධ වුණු දේවල තිබුණු විශේෂත්වය මොකක්ද?

විශ්වයේ තියෙන හැම දේම නිර්මාණය කරන්න පටන්ගත්ත කාලේ ඉඳන්ම යෙහෝවා දෙවිත් යේසුත් අතරේ තිබුණේ පුදුමාකාර එක්සත්කමක්. මුලින්ම දෙවි නිර්මාණය කළේ යේසුස්වයි. ඊටපස්සේ යේසුස් “ඔහු ළඟින්ම සිට ඔහුගේ ප්‍රධාන සේවකයා ලෙස කටයුතු කළා.” (හිතෝ. 8:30) දෙවිගේ සේවකයනුත් නමස්කාරයට සම්බන්ධ හැම දේම කළේ එක්සත්වයි. උදාහරණෙකට නැව හදද්දී නෝවා ඒක කළේ එයාගේ පවුලත් එක්ක එකතු වෙලා. පස්සේ කාලෙක ශුද්ධ කූඩාරම හදන්න, ඒක තැනින් තැන අරන් යන්න ඊශ්‍රයෙල්වරු සහයෝගයෙන් වැඩ කළා. ඒ වගේම දේවමාලිගාවේදී දෙවිට ප්‍රශංසා ගීත ගයන්නත් මියුරු සංගීතය වාදනය කරන්නත් එයාලා එක්සත්ව වැඩ කළා. දෙවි භාර දුන්න වැඩ සාර්ථකව කරන්න දෙවිගේ සේවකයන්ට පුළුවන් වුණේ එයාලා අතරේ තිබුණු එක්සත්කම නිසයි.—උත්. 6:14-16, 22; ගණන්. 4:4-32; 1 ලේක. 25:1-8.

2. (අ) මුල් ක්‍රිස්තියානි සභාවේ තිබුණු විශේෂත්වය මොකක්ද? (ආ) අපි සලකා බලන්නේ මොන ප්‍රශ්නද?

2 මුල් ක්‍රිස්තියානීන් අතරෙත් එක්සත්කම තිබුණා. විවිධ හැකියාවන්, විවිධ පැවරුම් තිබුණු ඒ හැමෝම යේසුස්ගේ නායකත්වය යටතේ එකා මෙන් වැඩ කළා. පාවුල් ඒ අයව සමාන කළේ මිනිස් සිරුරකට. සිරුරක විවිධ අවයවයන් තිබුණත් ඒවා එකට වැඩ කරනවා වගේ ඒ අයත් එකමුතුව වැඩ කළා. (1 කොරින්ති 12:4-6, 12 කියවන්න.) අද ඉන්න දෙවිගේ සෙනඟත් ඒ වගේද? දේශනා සේවයේදී, සභාවේදී සහ පවුල් ජීවිතේදී එක්සත්ව වැඩ කරන්න පුළුවන් කොහොමද?

දේශනා සේවයේදී එක්සත්ව

3. යොහන් දැක්ක දර්ශනය මොකක්ද?

3 දේවදූතයන් 7දෙනෙක් හොරණෑ පිඹින දර්ශනයක් යොහන් දැක්කා. පස්වෙනි දේවදූතයා හොරණෑව පිඹිනවත් එක්කම “අහසෙන් පොළොවට වැටුණු තාරකාවක්” එයා දකිනවා. ඒ තාරකාවට යතුරක් දෙනවා. ඒ යතුර යොදාගෙන තාරකාව අගාධය විවෘත කරනවා. මුලින්ම අගාධයෙන් දුමකුත් ඒ දුමෙන් පළඟැටියන් රංචුවකුත් එළියට එනවා. ගස්වලට හානි කරනවා වෙනුවට පළඟැටියන් පහර දෙන්නේ “තම නළල්වල දෙවිගේ මුද්‍රාව නැති මිනිසුන්ටයි.” (එළි. 9:1-4) මෝසෙස්ගේ කාලේ පළඟැටියන් කරපු විනාශය ගැන යොහන් දැනගෙන හිටිය නිසා ඒ පළඟැටි රංචුවට මොන වගේ විනාශයක් කරන්න පුළුවන්ද කියලා එයා තේරුම්ගත්තා. (නික්. 10:12-15) පළඟැටි රංචුවෙන් සංකේතවත් කළේ අසත්‍ය උගන්වන ආගම්වලට විරුද්ධව ප්‍රබල පණිවිඩයක් දේශනා කරමින් ඉන්න අභිෂේක ලත් අයවයි. පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න තවත් මිලියන ගාණක් දෙනා ඒ අය එක්ක එකතු වෙලා ඒ පණිවිඩය දේශනා කරනවා. ඒ දෙපිරිසම ඒ කාර්යය කරන්නේ එක්සත්වයි. ඒ කාර්යය නිසා සාතන්ගේ ග්‍රහණය යටතේ තියෙන අසත්‍ය උගන්වන ආගම්වලින් නිදහස් වෙන්න හුඟක් අයට පුළුවන් වෙලා තියෙනවා.

4. අද දෙවිගේ සෙනඟට කරන්න තියෙන දැවැන්ත කාර්යය මොකක්ද? ඒක සාර්ථක කරගන්න පුළුවන් එකම විදිහ මොකක්ද?

4 අවසානය පැමිණෙන්න කලින් ලෝකෙ පුරාම ඉන්න මිනිසුන්ට “ශුභාරංචිය” දේශනා කරන පැවරුම අපිට භාර දීලා තියෙනවා. ඒක හිතාගන්නවත් බැරි විශාලවැඩක්. (මතෙ. 24:14; 28:19, 20) “ජීවනදායක වතුර” බොන්න කියලා “පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ටම” අපි ආරාධනා කරන්න ඕනේ. ඒ කියන්නේ බයිබලේ තියෙන සත්‍යය තේරුම්ගන්න ආසාවෙන් ඉන්න අයට ඒවා අපි කියලා දෙන්න ඕනේ. (එළි. 22:17) ඒත් ඒ දැවැන්ත කාර්යය කරන්න අපිට පුළුවන් වෙන්නේ සභාවේ හැමෝම “එකට බැඳිලා” සහයෝගයෙන් වැඩ කළොත් විතරයි.—එෆී. 4:16.

5, 6. දේශනා සේවය නිසා අපි එක්සත් සෙනඟක් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

5 පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය ගැන දැනුම් දෙන්න නම් හොඳින් සංවිධානය වෙලා ඒක කරන එක අත්‍යවශ්‍යයි. සභාවෙන් ලැබෙන මඟ පෙන්වීම් ඒකට උදව්වක්. උදාහරණෙකට සේවයේ ගිහින් මිනිසුන්ට ශුභාරංචිය ගැන හොඳින් කතා කරන්න ක්ෂේත්‍ර සේවා රැස්වීමෙන් අපිට මඟ පෙන්වීම් ලැබෙනවා. ඒවා අදාළ කරගන්න නිසා මිලියන ගාණක් ප්‍රකාශන ලෝකෙ පුරාම අපි බෙදාහැරලා තියෙනවා. අවුරුද්දේ සමහර කාලවලදී මුළු ලෝකෙම ඉන්න සාක්ෂිකරුවන්ට යම් විශේෂ සැලැස්මකට අනුව දේශනා කරන්න කියලා මඟ පෙන්වීම් ලැබෙනවා. අපි ඒකට කීකරු වෙද්දී අපිට පුළුවන් ලෝකෙ පුරාම ඉන්න සහෝදරයන් එක්ක එක්සත්ව ඒ කාර්යයට හවුල් වෙන්න. ඒ වගේම ශුභාරංචිය දේශනා කරන්න උදව් කරන දේවදූතයන් එක්ක එක්සත්ව වැඩ කරන්න.—එළි. 14:6.

6 තුන්දින සමුළුවේ ආරාධනා පත්‍රිකාව බෙදන විදිහ ගැන හිතන්න. ලෝකෙ පුරාම ඒක බෙදන්නේ එකම ක්‍රමයකට. ඒ සමුළුවලදී ලෝකෙ පුරාම ඉන්න අයට ලැබෙන්නේ එකම තොරතුරු. යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කරන්න සමුළුවේ තියෙන දේශන, නාට්‍යය, නිරූපන හැමෝටම ලොකු දිරිගැන්වීමක්. යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාව ගැන හිතන්න. ලෝකෙ පුරාම ඉන්න සහෝදරයෝ හැම අවුරුද්දකම නීසාන් 14වෙනිදා හිරු බැස ගියාට පස්සේ රැස් වෙලා යෙහෝවා දෙවි අපි වෙනුවෙන් කරපු පරිත්‍යගය අගය කරනවා. එහෙම කරන්න කියලා යේසුස් දුන්න අණට කීකරු වෙනවා. (1 කොරි. 11:23-26) ඒ විතරක් නෙමෙයි ඒ වටිනා අවස්ථාවට සහභාගි වෙන්න කියලා සති කීපයකට කලින් ඉඳන්ම පුළුවන් තරම් දෙනෙක්ට ආරාධනා කරන්න අපි එකා වගේ වැඩ කරනවා. ලෝකෙ පුරාම ඉන්න සහෝදරයෝ එක්සත්ව සේවය කරලා ලබපු ප්‍රතිඵල ‘වාර්ෂික පොතෙන්’ කියවද්දී අපිට මොන තරම් සතුටක් දැනෙනවද!

7. අපි එක්සත්ව වැඩ කරද්දී දෙවිට ප්‍රශංසාවත් ගෞරවයත් ලැබෙන්නේ කොහොමද?

7 තනි පළඟැටියෙක්ට ලොකු දෙයක් කරන්න බැහැ. ඒ වගේ අපිටත් තනියම මිනිසුන් හැමෝටම දේශනා කරන්න බැහැ. ඒත් අපි හැමෝම එක්සත්ව වැඩ කරන නිසා මිලියන ගාණකට යෙහෝවා දෙවි ගැන කියලා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම දෙවිව දැන හඳුන ගෙන ඔහුට ප්‍රශංසාවත් ගෞරවයත් දෙන්න තවත් විශාල පිරිසකට උදව් කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

සභාවේදී එක්සත්ව

8, 9. (අ) එක්සත්ව ඉන්න ඕනෙ කියන එක පැහැදිලි කරන්න පාවුල් යොදාගත්ත උදාහරණේ මොකක්ද? (ආ) සභාවේදී එක්සත්කමට දායක වෙන්න අපිට පුළුවන් කොහොමද?

8 සභාවේ වැඩකටයුතු සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද කියලා විස්තර කරන අතරේ පාවුල් එෆීසයේ අයට කිව්වා “අවබෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් බවට පත් වන තුරු වර්ධනය වෙන්න” කියලා. (එෆීස 4:15, 16 කියවන්න.) ඒ වගේ අය වෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? පාවුල් පැහැදිලි කළේ සිරුරක අවයව හැම එකක්ම එකට වැඩ කරනවා වගේ යේසුස්ගේ නායකත්වය යටතේ සභාවේ හැමෝම එකා වගේ වැඩ කරන්න ඕනෙ කියලයි. අපි තරුණ වුණත් මහලු වුණත් හොඳ ශරීර සෞඛ්‍යයක් තිබුණත් නැතත් සභාවේ එක්සත්කමට දායක වෙන්න අපිට පුළුවන් කොහොමද?

9 සභාවේ මූලිකත්වය අරන් වැඩ කරන්න යේසුස් පත් කරලා තියෙන්නේ වැඩිමහල්ලන්ව. ඒ අයට ගෞරවයෙන් සලකයි කියලත් එයාලා දෙන මඟ පෙන්වීම් අදාළ කරගනියි කියලත් යේසුස් අපෙන් බලාපොරොත්තු වෙනවා. (හෙබ්‍රෙ. 13:7, 17) ඒක කරන එක හැම වෙලාවෙම ලේසි නැහැ. ඒත් අපිට පුළුවන් යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන්න. දෙවිගේ බලයට පුළුවන් වැඩිමහල්ලන් දෙන ඕනෑම මඟ පෙන්වීමකට කීකරු වෙන්න අපිට උදව් කරන්න. නිහතමානීව වැඩිමහල්ලන් එක්ක සහයෝගයෙන් වැඩ කරද්දී සභාවට අපි කරන්නේ යහපතක්. ඒකෙන් සභාව එක්සත් වෙනවා වගේම එකිනෙකා අතරේ තියෙන ආදරෙත් වැඩි වෙනවා.

10. සහායක සේවකයන් සභාවේ එක්සත්කමට දායක වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

10 සහායක සේවකයන්ටත් පුළුවන් සභාවේ එකමුතුකමට දායක වෙන්න. වැඩිමහල්ලන්ට සහය දෙන්න මහන්සි වෙලා වැඩ කරන ඒ අයව අපි කොච්චර අගය කරන්න ඕනෙද! සේවය සඳහා ප්‍රමාණවත් ප්‍රකාශන සභාවේ තියාගන්න එයාලා වගබලා ගන්නවා. නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන්න, ඒක නඩත්තු කරන්න එයාලා වෙහෙසෙනවා වගේම රැස්වීම්වලට අලුතෙන් එන අයව ආදරෙන් පිළිගන්නවා. ඒ සහෝදරයන්ට සහය දෙනවා නම් සභාවේ එක්සත්කමට දායක වෙන්න අපිටත් පුළුවන්.—ක්‍රියා 6:3-6 බලන්න.

11. සභාවේ එක්සත්කමට දායක වෙන්න තරුණ අයට පුළුවන් කොහොමද?

11 සමහර වැඩිමහල්ලන් අවුරුදු ගාණක් තිස්සේ සභාවේ මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. ඒත් එයාලා වයසට යන නිසා කලින් තරම් දේවල් කරන්න දැන් බැරුව ඇති. එයාලට උදව් කරන්න තරුණ සහෝදරයන්ට පුළුවන්. තරුණ අයට හොඳ පුහුණුවක් දෙනවා නම් සභාවේ වගකීම් කරට අරන් කරන්න එයාලට පුළුවන් වෙයි. වැඩිමහල්ලෙක් වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් අත් කරගන්න සහායක සේවකයන් වෑයම් කරද්දී ඒක සභාවට ආශීර්වාදයක්. මොකද එයාලටත් පුළුවන් අනාගතයේදී වැඩිමහල්ලන් හැටියට සේවය කරන්න. (1 තිමෝ. 3:1, 10) සමහර තරුණ වැඩිමහල්ලන් කොයි තරම් හොඳින් සභාවල සේවය කරලා තියෙනවද කියනවා නම් ඒ අය දැන් චාරිකා සේවකයන් විදිහට හුඟක් සභාවලට ගිහින් සේවය කරනවා. සහෝදරයන් වෙනුවෙන් මහන්සි වෙලා සේවය කරන තරුණ අයව අපි හුඟක් අගය කරනවා.—ගීතාවලිය 110:3; දේශනාකාරයා 12:1 කියවන්න.

පවුල තුළ එක්සත්ව

12, 13. පවුලේ එක්සත්කම රැකගන්න උදව් වෙන්නේ මොන වගේ දේවල්ද?

12 පවුලේ එක්සත්කම රැකගන්න පවුලේ නමස්කාරය උදව්වක්. දරුවෝ දෙමාපියෝ එකට කාලය ගත කරලා යෙහෝවා දෙවි ගැන ඉගෙනගද්දී එයාලා අතරේ තියෙන ආදරේ තවත් වැඩි වෙනවා. ඒ වගේම සේවයේ දක්ෂ විදිහට කතා කරන්න පුහුණු වෙද්දී සාර්ථකව සේවය කරන්න පවුලේ හැමෝටම ඒක ලොකු උදව්වක්. පවුලේ අය බයිබලේ තියෙන දේවල් ගැන කතා කරද්දී එයාලට දෙවි ගැන තියෙන ආදරේ, දෙවිව සතුටු කරන්න තියෙන කැමැත්ත දකින්න පුළුවන්. ඒකෙන් පවුලේ බැඳීම තවත් ශක්තිමත් වෙනවා.

දරුවෝ දෙමාපියෝ අතරේ තියෙන බැඳීම ශක්තිමත් කරගන්න පවුලේ නමස්කාරය උදව්වක් (12 සහ 15 ඡේද බලන්න)

13 සැමියා සහ බිරිඳ සහයෝගයෙන් වැඩ කරද්දී ඒකෙන් යෙහෝවා දෙවිට ගෞරවයක් ගේනවා. දෙන්නම දෙවිට ආදරේ කරද්දී, එකට සේවය කරද්දී විවාහ ජීවිතය සතුට පිරුණු එකක් වෙනවා. දෙන්නා අතරේ තියෙන එකමුතුකමත් වැඩි වෙනවා. ආබ්‍රහම් සහ සාරා, ඊසාක් සහ රෙබෙකා, එල්කානා සහ හන්නා වගේ යුවළයන් ඒ අයගේ හිතේ තිබුණු ආදරේ එකිනෙකාට පෙන්නුවා වගේ සැමියා, බිරිඳ එකිනෙකාට ආදරේ පෙන්නයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. (උත්. 26:8; 1 සාමු. 1:5, 8; 1 පේතෘ. 3:5, 6) එහෙම කරද්දී දෙන්නට දෙන්නා විතරක් නෙමෙයි යෙහෝවා දෙවිටත් තව ළං වෙන්න එයාලට පුළුවන්.—දේශනාකාරයා 4:12 කියවන්න.

14. ඔයාගේ සැමියා, බිරිඳ දෙවිට සේවය කරන්නේ නැති වුණත් පවුලේ එක්සත්කම රැකගන්න දරන උත්සාහයට මොන වගේ ආශීර්වාද ලැබෙයිද?

14 යෙහෝවා දෙවිට සේවය කරන්නේ නැති කෙනෙක් එක්ක විවාහ වෙන්න එපා කියලා බයිබලේ පැහැදිලිවම කියනවා. (2 කොරි. 6:14) හැබැයි තමන්ගේ සැමියා, බිරිඳ දෙවිට සේවය නොකරන සහෝදර සහෝදරියනුත් අපි අතරේ ඉන්නවා. ඒ අයගෙන් සමහරු සාක්ෂිකරුවෙක් වුණේ විවාහ වුණාට පස්සේ. තවත් අය සාක්ෂිකරුවෙක් එක්ක විවාහ වුණත් කාලෙකට පස්සේ ඒ කෙනා දෙවිට සේවය කරන එක නතර කරලා. ඒ වගේ පසුබිම්වල ඉන්න අය බයිබලේ තියෙන උපදෙස්වලට කීකරු වෙලා එයාලගේ විවාහය ශක්තිමත්ව තියාගන්න දරන්නේ ලොකු උත්සාහයක්. ඒත් ඒක ලේසි නැහැ. මේරිගේ අද්දැකීම බලන්න. මේරි, එයාගේ සැමියා ඩේවිඩ් එක්ක දෙවිට සේවය කළා. ඒත් කාලෙකට පස්සේ ඩේවිඩ් රැස්වීම් යන එක නැවැත්තුවා. ඒත් මේරි දිගටම ඩේවිඩ්ට හොඳ බිරිඳක් වුණා. එයාගේ දරුවන් 6දෙනාව හොඳින් පුහුණු කළා විතරක් නෙමෙයි එයාලත් එක්ක දිගටම රැස්වීම්වලටත් සමුළුවලටත් සහභාගි වුණා. ඔහොම අවුරුදු ගාණක් ගිහින් දරුවන් වැඩිහිටියන් වෙලා ගෙදරින් ගියාට පස්සේ මේරිට දේවල් කරන්න වුණේ තනියම. ඒ මොන අමාරුකම් තිබුණත් මේරි උද්‍යෝගයෙන් දෙවිට සේවය කළා. කියවලා බලන්න මේරි තියලා යන සඟරා ඩේවිඩ් කියවන්න පටන්ගත්තේ ඔය කාලෙදී. කාලයක් යද්දී ඩේවිඩ් ආයෙමත් රැස්වීම් යන්න පටන්ගත්තා. එයාගේ අවුරුදු 6ක් වයස මුනුපුරා රැස්වීමට ගියාම සීයා එයි කියලා හිතලා හැමදාම එයාට පුටුවක් වෙන් කළා. ඩේවිඩ් රැස්වීමට ආවේ නැත්නම් ‘ඔයා නැතුව මට පාළුයි සීයේ’ කියලා එයා කියනවා. අවුරුදු 25කට පස්සේ යෙහෝවා දෙවි ළඟට ආයෙත් ආව ඩේවිඩ් දැන් මේරිත් එක්ක සතුටින් දෙවිට සේවය කරනවා.

15. තරුණ යුවළයන්ට උදව් කරන්න වයසින් වැඩි යුවළයන්ට පුළුවන් කොහොමද?

15 පවුල සාතන්ගේ ප්‍රධාන ඉලක්කයක්. ඒ නිසා දෙවිට සේවය කරන සැමියෙක් හා බිරිඳක් සහයෝගයෙන් එකට දේවල් කරන එක වැදගත්. ඔයාලා විවාහ වෙලා කොච්චර කාලයක් ගත වෙලා තිබුණත් දෙන්නගේ බැඳීම තව වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලා හොඳට හිතන්න. ඔයාලා වයසින් වැඩි යුවළක් නම් තරුණ යුවළයන්ට ආදර්ශයක් වෙන්න. විටින් විට ඔයාලගේ පවුලේ නමස්කාරයට එයාලට ආරාධනා කරන්න. විවාහ වෙලා කොච්චර කාලයක් ගෙවුණත් එකිනෙකාට ආදරේ පෙන්නන එක, එකමුතුව වැඩ කරන එක කොච්චර වටිනවද කියලා එතකොට එයාලා දකියි.—තීත. 2:3-7.

“යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු”

16, 17. දෙවිගේ එක්සත් සෙනඟට අනාගතය ගැන තියෙන්නේ මොන බලාපොරොත්තුවද?

16 ඊශ්‍රායෙල්වරු උත්සව පවත්වන්න යෙරුසලමට යද්දී ඒ අය අතරේ තිබුණේ පුදුම එක්සත්කමක්. ගමනට අවශ්‍ය හැම දේම එයාලා ලෑස්ති කරගත්තා. හැමෝම එකට ගමන යද්දී එකිනෙකාට උදව් කරගත්තා. දේවමාලිගාවට ගියාට පස්සේ හැමෝම එකට යෙහෝවා දෙවිට ප්‍රශංසා කළා. නමස්කාර කළා. (ලූක් 2:41-44) අද අපිත් පාරාදීසයට යන්න සූදානම් වෙනවා. ඒ ගමනේදී එකිනෙකාට උදව් කරගෙන එක්සත්ව ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක්. ඒක තවත් හොඳට කරන්න පුළුවන් විදි ගැන ඔයාට හිතන්න පුළුවන්ද?

17 අද සමාජයේ ඉන්න හුඟක් අය අතරේ කිසිම එකමුතුකමක් නැහැ. පුංචි දේටත් ගහමරාගන්නවා. ඒත් අපි ඊට වඩා කොච්චර වෙනස් සෙනඟක්ද! එකිනෙකා එක්ක සාමයෙන් ඉන්නත් සත්‍යය තේරුම්ගන්නත් උදව් කරපු එක ගැන අපි දෙවිට කොච්චර ස්තුති කරන්න ඕනෙද! මේ අවසාන දවස්වල ලෝකෙ පුරාම ඉන්න දෙවිගේ සෙනඟ දෙවි බලාපොරොත්තු වන විදිහට ඔහුට නමස්කාර කරනවා. වෙන කවරදාටත් වඩා එක්සත්ව වැඩ කරනවා. යෙසායාත් මීකාත් අනාවැකිවලින් කිව්වා වගේ අපි හැමෝම එකා වගේ “යෙහෝවා දෙවිගේ කන්දට නඟිමින්” ඉන්නවා. (යෙසා. 2:2-4; මීකා 4:2-4 කියවන්න.) ලෝකෙ පුරාම ඉන්න හැම කෙනෙක්ම “එකට බැඳී” යෙහෝවා දෙවිට නමස්කාර කරන දවස වැඩි ඈතක නෙමෙයි. එදාට අපි කොයි තරම් සතුටු වෙයිද!