Skip to content

පටුනට යන්න

බව්තීස්මයට සූදානම් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

බව්තීස්මයට සූදානම් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

“මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි.”—ගීතා. 40:8.

ගීතිකා: 51, 58

1, 2. (අ) බව්තීස්මය බැරෑරුම් තීරණයක් කියන්නේ ඇයි? (ආ) බව්තීස්ම වෙන කෙනෙක් ස්ථිර වෙන්න ඕනෙ මොනවා ගැනද? ඒ ඇයි?

ඔයා බව්තීස්ම වෙන්න ආසාවෙන් ඉන්න යෞවනයෙක්ද? ඒක ඔයාට ලබාගන්න පුළුවන් වටිනාම වරප්‍රසාදයයි. කලින් ලිපියේ බැලුවා වගේ බව්තීස්ම වෙන්න ගන්න තීරණය බැරෑරුම් එකක්. ඒකෙන් ඔයා පෙන්නන්නේ ඔයාගේ ජීවිතේ දෙවිට කැප කරලා කියලයි. ඒ කියන්නේ සදාකාලයටම දෙවිට සේවය කරනවා කියලත් දෙවිගේ කැමැත්ත කරන එක ජීවිතේ ප්‍රධානම දේ කරගන්නවා කියලත් දෙවිට පොරොන්දු වුණා කියලයි. ඒක සැහැල්ලුවට ගන්න පුළුවන් පොරොන්දුවක් නෙමෙයි. ඒ නිසා ඔයා බව්තීස්ම වෙන්න ඕනෙ යම් දුරකට අවබෝධයෙන් වැඩ කරනවා නම් විතරයි. බව්තීස්ම වෙන්න ආසාව එන්න ඕනෙත් ඔයාගෙම හිතින්. දෙවිට කැප වෙනවා කියන්නේ මොකක්ද කියලා ඔයා අවබෝධ කරගෙන ඉන්නත් ඕනේ.

2 ඒත් බව්තීස්ම වෙන්න මං තාම ලෑස්ති නැහැ කියලා ඔයාට හිතෙනවද? ඔයා ඒකට ලෑස්තියි කියලා හිතුවත් තව ටිකක් ඉඳලා, අද්දැකීම් ලබලා බව්තීස්ම වුණොත් හොඳයි කියලා අම්මායි තාත්තායි කියනවද? එහෙමනම් කලකිරෙනවා වෙනුවට බව්තීස්ම වෙන්න අවශ්‍ය සුදුසුකම් ලබාගන්න මේ කාලය යොදාගන්න. ඒක කරන්න ඔයාට මේ ඉලක්ක උදව් වෙයි. (1) බයිබල් සත්‍යයන් ගැන ඔයාට තියෙන විශ්වාසය වැඩි කරගන්න. (2) ඒ විශ්වාසය ඔයා වැඩ කරන විදිහෙන් පෙන්නන්න. (3) දෙවි ගැන හිතේ තියෙන අගය තවත් වැඩි කරගන්න.

විශ්වාසය වැඩි කරගන්න

3, 4. තිමෝතිගේ ආදර්ශයෙන් යෞවනයන්ට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

3 ‘දෙවි කෙනෙක් ඉන්නවා කියලා මං විශ්වාස කරන්නේ ඇයි? බයිබලේ දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියපු පොතක් කියලා මට ස්ථිර ඇයි? සදාචාරය ගැන සමාජයේ මත පිළිගන්නවා වෙනුවට දෙවිගේ ප්‍රතිපත්තිවලට මං කීකරු වෙන්නේ ඇයි?’ ඒ ප්‍රශ්න ගැන හොඳට හිතනවා නම් මේ උපදෙස පිළිපදින්න ඔයාට පුළුවන් වෙයි. “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගන්න.” (රෝම 12:2) ඒක කරන එක වැදගත් ඇයි?

4 තිමෝතිගේ ආදර්ශය බලන්න. අම්මායි ආච්චියි එයාට පොඩි කාලේ ඉඳන්ම සත්‍යය ගැන කියලා දුන්න නිසා ශුද්ධ ලියවිලි ගැන හොඳ අවබෝධයක් එයාට තිබුණා. ඒත් පාවුල් එයාට මෙහෙම කිව්වා. “ඔබ ඉගෙනගෙන මුළු සිතින් විශ්වාස කිරීමට පෙලඹුණු දේවල් දිගටම පිළිපදින්න.” (2 තිමෝ. 3:14, 15) ඒකෙන් තේරෙන්නේ තමන් විශ්වාස කරපු දේවල් සත්‍යයයි කියලා තිමෝති පිළිගත්තේ අම්මායි ආච්චියි කියපු නිසාම නෙමෙයි, එයා ඉගෙනගත්ත දේවල් සත්‍යයද කියලා හොඳට හොයලා බලලා ඒවා එයාටම තහවුරු කරගත්ත නිසයි.—රෝම 12:1 කියවන්න.

5, 6. පොඩි කාලේ ඉඳන්ම දේවල් ගැන හොඳට හිතලා බලන්න ඔයා පුහුණු වෙන එක වැදගත් ඇයි?

5 ඔයාත් තිමෝති වගේ පොඩි කාලේ ඉඳන් සත්‍ය ඉගැන්වීම් ගැන ඉගෙනගෙන ඇති. එහෙමනම් ඒ දේවල් ඔයා විශ්වාස කරන්නේ ඇයි කියලා හොඳට හිතලා බලන්න. විශ්වාසය තව ශක්තිමත් කරගන්න ඒක ඔයාට උදව් වෙයි. යාළුවන්ගෙන්, සමාජයෙන් එන බලපෑම්වලට විතරක් නෙමෙයි ඔයාගෙම වැරදි ආසාවන්ට වුණත් අහු නොවී හරි තීරණ ගන්න ඒක ඔයාට උදව් වෙයි.

6 හිතන්න, යාළුවෝ ඔයාගෙන් මේ වගේ ප්‍රශ්න අහනවා කියලා. ‘දෙවි කෙනෙක් ඉන්නවා කියලා කොහොමද හරියටම කියන්නේ? දෙවියන් අපිට ආදරේ නම් මේ තරම් දුෂ්ට දේවල් වෙන්නේ ඇයි? දෙවියන් ආවේ කොහෙන්ද?’ පොඩි කාලේ ඉඳන්ම ඔයා ‘බුද්ධිමත් විදිහට,’ ඒ කියන්නේ හොඳට හිතලා බලලා හේතු ඇතුව දේවල් විශ්වාස කරන්න පුහුණු වෙලා ඉන්නවා නම් අනිත් අය ඒ වගේ ප්‍රශ්න අහද්දී ඔයා විශ්වාස කරන දේවල් සැක කරන්න පෙලඹෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ප්‍රශ්නවලට තර්කානුකූලව උත්තර දෙන්න ඔයාට පුළුවන් වෙයි. ඒ වගේම බයිබලේ තවත් අධ්‍යයනය කරන්න ඔයාට ආසාවක් ඇති වෙයි.

7-9. වෙබ් අඩවියේ තියෙන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු’ කියන කොටස විශ්වාසය වැඩි කරගන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

7 ගැඹුරින් බයිබලේ අධ්‍යයනය කරනවා නම් අහන ප්‍රශ්නවලට හොඳින් උත්තර දෙන්න, සැකයන් නැති කරගන්න වගේම සත්‍ය ඉගැන්වීම් ගැන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඔයාට පුළුවන්. (ක්‍රියා 17:11) ඒකට උදව් වෙන හුඟක් ප්‍රකාශන තියෙනවා. ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ සහ ‘ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?’ කියන ප්‍රකාශන ඒ අතරින් 2ක්. අපේ වෙබ් අඩවියේ ‘බයිබල් ඉගැන්වීම්’ යටතේ තියෙන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගනිමු’ කියන කොටසත් යෞවනයන්ට උදව් වෙලා තියෙනවා. ඒකේ තියෙන හැම පාඩමක්ම සකස් කරලා තියෙන්නේ බයිබලේ තියෙන යම් ඉගැන්වීමක් ගැන ඔයාට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න උදව් වෙන විදිහටයි.

8 ඒ පාඩම්වල තියෙන සමහර ප්‍රශ්නවලට උත්තර ඔයා දැනටමත් දන්නවා ඇති. ඒත් ඒක තමයි උත්තරේ කියලා ඔයාට හරියටම කියන්න පුළුවන්ද? ඒ පාඩම්වල යම් විෂයකට අදාළ බයිබල් පද සඳහන් කරලා තියෙනවා. ඒ පද ගැන හොඳින් හිතුවාට පස්සේ ඔයා විශ්වාස කරන දේට හේතු ලියන්න කියලා ඒකේ දිරිගන්වලා තියෙනවා. විශ්වාසයන් අනිත් අයට පැහැදිලි කරලා දෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ඒ විදිහට අධ්‍යයනය කරන එක ඔයාට උදව්වක්. ඔයාට අපේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන් නම් ඒ පාඩම් ඔයාගේ පෞද්ගලික අධ්‍යයනයට යොදාගන්න. ඒකෙන් ඔයාගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙයි.

9 ඔයා ඉන්නේ සත්‍ය ආගමේ කියලා ඔයාටම තහවුරු කරගන්න. බව්තීස්මයට ඒක හොඳ සූදානමක්. යෞවනියක් මෙහෙම කියනවා. “බව්තීස්ම වෙන්න කලින් මං බයිබලේ හුඟක් අධ්‍යයනය කළා. මේක තමයි සත්‍ය ආගම කියලා ඒකෙන් මට ස්ථිර වුණා. ගත වෙන හැම දවසක් ගානේ ඒ නිසැකකම තව වැඩි වෙනවා.”

ක්‍රියාවෙන් පෙන්නන්න

10. බව්තීස්ම වුණු කෙනෙක් තම විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් ඇයි?

10 බයිබලයේ කියන්නේ “විශ්වාසය සමඟ ක්‍රියා දක්නට නොලැබේ නම් ඒ විශ්වාසය මිය ගිය එකක්” කියලයි. (යාකො. 2:17) බයිබලේ ඉගැන්වීම් ගැන ඔයාට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් ඒක ඔයාගේ ක්‍රියාවෙන් පේනවා. ඒ කියන්නේ ඔයාගේ ‘හැසිරීම ශුද්ධව’ තියෙනවා වගේම ‘දෙවි සඳහා තියෙන භක්තිය ඔයාගේ ක්‍රියාවලින් පේනවා.’—2 පේතෘස් 3:11 කියවන්න.

11. “හැසිරීම ශුද්ධයි” කියන්නේ මොකක්ද?

11 “හැසිරීම ශුද්ධයි” කියන්නේ සදාචාරමය අතින් පිරිසිදුයි කියන එකයි. පහුගිය මාස 6 ගැන ටිකක් හිතන්න. ඒ කාලය අතරතුරේ වැරදි දෙයක් කරන්න පෙලඹීමක් ඇති වුණු වෙලාවක හරි වැරැද්ද අතර වෙනස නිවැරදිව අඳුනගන්න ඔයාට පුළුවන් වුණාද? (හෙබ්‍රෙ. 5:14) වැරදි ආසාවකට, යාළුවන්ගේ වැරදි පෙලඹීමකට අහු වුණේ නැති අවස්ථාවක් ඔයාට මතකද? ඉස්කෝලෙදී ඔයා අනිත් අයට ආදර්ශයක්ද? පන්තියේ ළමයි විහිළු කරයි කියන බය නිසා එයාලා හැසිරෙන විදිහටම ඔයාත් හැසිරෙනවද? නැත්නම් දිගටම දෙවිට කීකරුව ඉන්නවද? (1 පේතෘ. 4:3, 4) ඇත්ත, හැමෝම අතින් අඩුපාඩු වෙනවා. කාලයක් පුරා දෙවිට සේවය කරන අයත් ලැජ්ජාව නිසා දේශනා නොකරපු අවස්ථා තියෙනවා. ඒත් දෙවිට කැප වුණු කෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ලැබීම සලකන්නේ ගෞරවයක් විදිහට. ඒක එයා හැසිරෙන විදිහෙන් පේනවා.

12. ‘දෙවි සඳහා තියෙන භක්තිය’ පැහැදිලි වෙන ක්‍රියාවන් මොනවද? ඒවා ගැන ඔයාට හැඟෙන්න ඕනෙ කොහොමද?

12 ‘දෙවි සඳහා තියෙන භක්තිය’ පැහැදිලි වෙන ක්‍රියාවලට රැස්වීම්, සේවය වගේ හැමෝටම පේන දේවල් විතරක් නෙමෙයි පෞද්ගලිකව කරන යාච්ඤා, අධ්‍යයනය වගේ දේවලුත් ඇතුළත්. දෙවිට කැප වුණු කෙනෙක් ඒ දේවල් බරක් විදිහට සලකන්නේ නැහැ. ඒ වෙනුවට එයා හිතන්නේ මේ විදිහටයි. “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි. ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත.”—ගීතා. 40:8.

13, 14. ‘දෙවි සඳහා තියෙන භක්තිය’ ක්‍රියාවෙන් පෙන්නන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? සමහර යෞවනයන්ට ඒක ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද?

13 ‘දෙවි සඳහා තියෙන භක්තිය’ පෙන්නන ක්‍රියාවන් සම්බන්ධයෙන් ඉලක්ක තියාගන්න උදව් වෙන කොටසක් ‘යොවුන් සිතේ ගැටලු’ 2වන පොතේ 308-309 පිටුවල තියෙනවා. එතන තියෙන මේ වගේ ප්‍රශ්නවලට උත්තර ලියන්න ඔයාට පුළුවන්. “ඔයා යාච්ඤා කරන්නේ මොන වගේ දේවල් ගැනද?” “ඔයා යෙහෝවා දෙවිට කොච්චර ආදරේද කියලා ඔයා යාච්ඤා කරන විදිහෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?” “බයිබලයේ තියෙන තොරතුරු තව ගැඹුරින් ඉගෙනගෙන ඒවා තේරුම්ගන්න ඔයා කරන්නේ මොන වගේ දේවල්ද?” “ඔයාගේ දෙමාපියන් දේවසේවේ ගියේ නැතත් ඔයා යනවාද?” යාච්ඤාව, අධ්‍යයනය සහ දේවසේවය සම්බන්ධයෙන් ඔයාට තියන්න පුළුවන් ඉලක්ක ගැනත් ලියන්න වෙනම තැනක් එතන තියෙනවා.

14 ඒ කොටස බව්තීස්ම වෙන්න ආසාවෙන් ඉන්න යෞවනයන්ට හුඟක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ටිල්ඩා මෙහෙම කියනවා. “ඉලක්ක තියාගන්න මට ඒ කොටස ප්‍රයෝජනවත් වුණා. අවුරුද්දක් විතර යනකොට ඒ ඉලක්ක එකින් එක ජය ගද්දී බව්තීස්ම වෙන්න මං ලෑස්තියි කියලා මට තේරුණා.” පැට්‍රික්ගේ අද්දැකීමත් ඒකයි. “මගේ ඉලක්ක මොනවද කියලා මං දැනගෙන හිටියා. ඒත් ඒවා ලියාගත්ත නිසා ඒවාට ළං වෙන්න මට ලොකු පෙලඹීමක් ඇති වුණා.”

ඔයාගේ දෙමාපියන් දෙවිට සේවය කරන එක නතර කළත් ඔයා දිගටම දෙවිට සේවය කරනවද? (15 ඡේදය බලන්න)

15. කැප වෙන්න තීරණය කරන්න ඕනෙ ඔයාමයි කියලා කියන්නේ ඇයි? පැහැදිලි කරන්න.

15 බව්තීස්ම වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් හිතලා බලන්න ඕනෙ තවත් වැදගත් දෙයක් ගැන ඒ කොටසේ සඳහන් වෙනවා. ඒ තමයි “ඔයාගේ දෙමාපියන් නැත්නම් යාළුවෝ යෙහෝවා දෙවිට සේවය කරන එක නතර කළත් ඔයා දිගටම දෙවිට සේවය කරනවාද” කියන ප්‍රශ්නය. දෙවිට කැප වෙලා බව්තීස්ම වෙද්දී යෙහෝවා දෙවියි ඔයායි අතරේ විශේෂ බැඳීමක් ඇති වෙනවා. ඒ නිසා ඔයා දෙවිට සේවය කරනවද නැද්ද කියන දේ රඳා පවතින්න ඕනෙ වෙන කවුරුත් මත නෙමෙයි. අඩු තරමේ දෙමාපියන් මතවත් නෙමෙයි. ඔයාගේ ශුද්ධ හැසිරීමෙන් සහ දෙවි සඳහා තියෙන භක්තිය පෙන්නන ක්‍රියාවලින් පැහැදිලි වෙන්නේ සත්‍ය ඉගැන්වීම් ගැන ඔයාට කිසිම සැකයක් නැහැ කියන එකයි. ඒ වගේම බව්තීස්ම වෙන්න අවශ්‍ය සුදුසුකම් ලබාගන්න ඔයා වෑයම් කරනවා කියලත් ඒකෙන් පේනවා.

අගය වැඩි කරගන්න

16, 17. (අ) යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක්ව පොලඹවන්න ඕනෙ මොකක්ද? (ආ) ජීවිත පූජාව ගැන තියෙන්න ඕනෙ මොන වගේ අගයක්ද කියලා උදාහණෙකින් පැහැදිලි කරන්න.

16 නීතිය ගැන හොඳ දැනුමක් තිබුණු කෙනෙක් දවසක් යේසුස්ගෙන් ඇහුවා “ගුරුතුමනි, නීතියේ උතුම්ම ආඥාව කුමක්ද” කියලා. යේසුස් උත්තර දුන්නේ මෙහෙමයි. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මතෙ. 22:35-37) යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක් පෙලඹෙන්න ඕනෙ යෙහෝවා දෙවි ගැන එයාගේ හිතේ තියෙන ආදරේ නිසයි කියලා යේසුස් කියපු දෙයින් පැහැදිලියි. ඒ ආදරේ තව වැඩි කරගන්න පුළුවන් විදිහක් තමයි දෙවි මිනිසුන්ට දුන්න උතුම්ම තෑග්ග වන යේසුස්ගේ ජීවිත පූජාව ගැන හොඳට හිතන එක. (2 කොරින්ති 5:14, 15; 1 යොහන් 4:9, 19 කියවන්න.) ඒ ගැන හොඳට හිතද්දී ජීවිත පූජාව ගැන ඔයාට තියෙන අගය පෙන්නන්න ඔයා පෙලඹෙයි.

17 මේ ගැන හිතන්න. ඔයා ගිලෙන්න යද්දී කවුරු හරි ඔයාව බේරගන්නවා. එයා කරපු දේ ඔයා නිකම්ම අමතක කරලා දානවද? නැහැ. ඔයාට එයාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. එයා කරපු දේ ඔයා හැමදාටම අගය කරයි. දෙවි සහ යේසුස් අපි වෙනුවෙන් කළේ ඊටත් වඩා වැඩි දෙයක්. පාපයෙන් හා මරණයෙන් අපිව බේරගෙන පාරාදීසයක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව අපිට දුන්නා. ඒ නිසා අපි ඒ දෙන්නට ණයගැතියි. යෙහෝවා දෙවි හා යේසුස් අපි වෙනුවෙන් පෙන්නපු ආදරේ ගැන අපිට කොයි තරම් අගයක් තියෙන්න ඕනෙද!

18, 19. (අ) දෙවිට කැප වෙන්න බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි? (ආ) දෙවිට සේවය කරන එකෙන් ඔයාගේ ජීවිතේ තව අර්ථවත් වෙන්නේ කොහොමද?

18 යෙහෝවා දෙවි ඔයා වෙනුවෙන් කරපු දේ ඔයා අගය කරනවා නම් කරන්න පුළුවන් හොඳම දේ දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන එකයි. කැප වෙද්දී ඔයා පොරොන්දු වෙන්නේ සදාකාලයටම දෙවිට සේවය කරනවා කියලයි. ඒ පොරොන්දුව ගැන බය වෙන්න ඕනෙද? නැහැ. දෙවි හැම වෙලේම ඔයාගේ යහපත ගැන හිතනවා කියලා මතක තියාගන්න. ඒ වගේම දෙවිගේ කැමැත්ත කරන අයට දෙවි ආශීර්වාද කරනවා. (හෙබ්‍රෙ. 11:6) දෙවිට ජීවිතේ කැප කළාම ඔයාගේ ජීවිතේ තවත් හොඳ අතට හැරෙනවා මිසක් නරක අතට හැරෙන්නේ නැහැ. යෞවන වයසට එන්න කලින් බව්තීස්ම වුණු, දැන් වයස 24ක් වන සහෝදරයෙක් මෙහෙම කියනවා. “තව ටික කාලයක් ඉඳලා බව්තීස්ම වුණා නම් මගේ අවබෝධය වැඩි වෙලා තියෙයි. ඒත් පොඩි වයසෙදී දෙවිට කැප වෙන්න ගත්ත තීරණය, සමාජය ඉදිරිපත් කරන ඉලක්ක පස්සේ යන්නේ නැතුව ඉන්න මට උදව් වුණා.”

19 සාතන් යෙහෝවා දෙවිට වඩා කොච්චර වෙනස්ද! සාතන්ට ඔයා ගැන කිසිම හැඟීමක් නැහැ. ඔහු හිතන්නේ ඔහු ගැන විතරයි. ඔහු කැමති විදිහට ජීවත් වුණා කියලා ඔයාට යහපතක් වෙන කිසිම දෙයක් දෙන්න ඔහුට බැහැ. ඔයාට දෙන්න හොඳ බලාපොරොත්තුවක් ඔහු ළඟ නැහැ. ඔහු ළඟ නැති දෙයක් ඔහු කොහොමද දෙන්නේ? ඔයාට දෙන්න ඔහු ළඟ තියෙන්නේ අඳුරු අනාගතයක් විතරයි. මොකද ඔහුට තියෙන්නෙත් අඳුරු අනාගතයක්!—එළි. 20:10.

20. කැප වීමට සහ බව්තීස්මයට සුදුසුකම් ලබන්න යෞවනයෙක්ට කරන්න පුළුවන් මොනවද? (“ සුදුසුකම් අත් කරගන්න උදව්වක්” යන කොටුව බලන්න.)

20 දෙවිට කැප වෙන්න ගන්න තීරණය ඔයාට ගන්න පුළුවන් හොඳම තීරණයයි. ඒ පියවර ගන්න බය වෙන්න එපා. ඒත් ඔයා ඒකට තාමත් ලෑස්ති නැහැ කියලා හිතනවා නම් මේ ලිපියේ තියෙන යෝජනා අදාළ කරගන්න. පාවුල් ෆිලිප්පියේ ක්‍රිස්තියානීන්ට කිව්වේ “මෙතරම් දුරකට ප්‍රගතියක් ලබාගැනීමට අප යම් දේවල් කළා නම් ඒ දේවල ඒ අයුරින්ම දිගටම නිරත වෙන්න” කියලයි. (ෆිලි. 3:16) ඒ උපදෙස අදාළ කරගන්නවා නම් වැඩි දවසක් යන්න කලින් ඔයාටත් ඕනෙ වෙයි ඔයාගේ ජීවිතේ දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න.