Skip to content

පටුනට යන්න

මුහුණ ලස්සන කරන සිනහව

මුහුණ ලස්සන කරන සිනහව

කවුරු හරි කෙනෙක් ලස්සන සිනහවකින් සංග්‍රහ කළොත් ඔයාගේ මුහුණෙත් පුංචි සිනහවක් මතු වෙන්නේ දන්නෙම නැතුවයි. ඔයාගේ හිතට සතුටකුත් දැනෙයි. දන්න කියන කෙනෙක් වෙන්නම ඕනෙ නැහැ අඳුරන්නේ නැති කෙනෙක් වුණත් සිනහවක් පාද්දී අපේ හිතේ හොඳ හැඟීමක් ඇති වෙනවා. මග්දලේනා එයාගේ මිය ගිය සැමියා ගැන මෙහෙම කිව්වා. “ගෙයෝග්ට තිබුණා ලස්සන හිනාවක්. එයා හිනා වෙලා මං දිහා බලද්දී මට දැනුණේ පුදුම සහනයක්. ඒ වගේම මම තනි වෙලා නැහැ කියලා ඒ හිනාව මට හැම තිස්සේම මතක් කළා.”

කෙනෙක් අවංක සිනහවක් පාද්දී එයාගේ හිතේ තියෙන සතුට ඒකෙන් පේනවා. මනෝවිද්‍යාත්මක සඟරාවක මෙහෙම කියනවා. “සිනහව කියන්නේ අපිට උපතින්ම ලැබුණු දෙයක්.” ඒ සඟරාවේ තවදුරටත් කියලා තිබුණා අලුත ඉපදුණ දරුවෙකුට වුණත් “අන් අයගේ මුහුණේ දිස් වෙන හැඟීම් හරියටම තේරුම්ගන්න පුළුවන්” කියලා. ඒකේ මෙහෙමත් කියලා තිබුණා. “කෙනෙක්ගේ සිනහවකින් හුඟක් දේවල් දැනගන්න පුළුවන්. ඒ පුද්ගලයා එක්ක අපි කටයුතු කරන්න ඕනෙ කොහොමද කියන එක ගැනත් ඒකෙන් ඉඟියක් ලබා දෙනවා.”—Observer, Association for Psychological Science.

එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්, මහලු අය කිහිපදෙනෙකුව සහ ඒ අයට සාත්තු කරන අයව යොදාගෙන සමීක්ෂණයක් කළා. සාත්තු කරන අය “හුඟක් මිත්‍රශීලී, සැලකිලිමත්, ළෙන්ගතු” අය කියලා මුහුණේ ඉරියව්වලින් පෙනෙද්දී මහලු අය සතුටින් හිටියා. ඒ අයගේ සෞඛ්‍ය තත්වයත් හොඳ අතට හැරුණා. ඒත් සාත්තු කරපු අය මිත්‍රශීලී නොවුණාම සිද්ධ වුණේ ඒකෙ අනිත් පැත්ත.

ඔයා සිනහා වෙද්දී ඒකෙන් ඔයාටත් යහපතක් වෙනවා. පර්යේෂණවලින් හෙළි වෙලා තියෙන විදිහට සිනහවට පුළුවන් ඔයාගේ ආත්ම විශ්වාසය සහ සතුට වැඩි කරලා කනස්සල්ල අඩු කරන්න. හැබැයි ඔරවද්දී ඔයාට පාඩුවක් මිසක් යපහතක් නම් වෙන්නේ නැහැ.

සිනහව ‘මගේ ආත්ම විශ්වාසය වැඩි කළා’

මුලින් සඳහන් කරපු මග්දලේනා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. නාට්සි දේශපාලනික අදහස් ප්‍රතික්ෂේප කරපු නිසා එයාවයි එයාගේ පවුලේ අයවයි ජර්මනියේ රාවන්ස්බෲක් ගාල් කඳවුරේ හිර කළා. අතීතය මතක් කරමින් එයා මෙහෙම කිව්වා. “කඳවුරේ හිටපු හමුදා භටයන් සමහර වෙලාවට කා එක්කවත් කතා කරන්න අපිට ඉඩ දුන්නේ නැහැ. හැබැයි අපි ඇස්වලින් කතා කරපු එක නතර කරන්න එයාලට බැරි වුණා. මගේ අම්මාගෙයි නංගිගෙයි මුහුණේ තිබුණු සිනහව දැක්කාම මගේ ආත්ම විශ්වාසය වැඩි වෙලා හැම දෙයක්ම දරාගන්න මගේ හිතට ලොකු ශක්තියක් ආවා.”

ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක ‘හිනා වෙලා ඉන්නේ කොහොමද’ කියලා ඔයාට හිතෙයි. අපේ හැඟීම්වලට මුල් වෙන්නේ අපේ සිතුවිලි කියලා මතක තියාගන්න. (හිතෝපදේශ 15:15; ෆිලිප්පි 4:8, 9) ඒ නිසා කරදර තිබුණත් ධනාත්මක සිතුවිලි ඇතුව ඉන්න උත්සාහ කරන්න. * ඒකට දිනපතාම බයිබලය කියවන එක, දෙවියන්ට ඔයාගේ හිතේ තියෙන දේවල් කියන එක උදව්වක් වෙයි. හුඟක් අය ඒක අද්දැකලා තියෙනවා. (මතෙව් 5:3; ෆිලිප්පි 4:6, 7) සතුට සහ ප්‍රීතිය ගැන බයිබලයේ හුඟක් තැන්වල සඳහන් වෙනවා. ඒ නිසා හැමදාම බයිබලයෙන් පිටුවක් හරි දෙකක් හරි කියවන එක වටිනවා නේද! එහෙම කරද්දී ඔයාටත් දැනෙයි වෙනදාට වඩා දැන් ඔයා සිනාමුසු මුහුණෙන් ඉන්නවා කියලා.

තව කෙනෙක් ඔයා දිහා බලලා සිනහා වෙන කල් බලන් ඉන්නේ නැතුව ඔයා මුලින් සිනහා වෙන්න. ඒකෙන් ඔයාට පුළුවන් එයාගේ ජීවිතයට පුංචි සතුටක් එකතු කරන්න. සිනහා වෙන්න තියෙන හැකියාව දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන තෑග්ගක්. ඒකෙන් ඔයාගෙත් අනිත් අයගෙත් ජීවිතය තවත් ලස්සන වෙනවා.

^ 8 ඡේ. 2013 නොවැම්බර් ‘පිබිදෙව්!’ සඟරාවේ “ඔබටත් සෑම දවසක්ම ‘උත්සව දවසක්ද’?” කියන ලිපිය බලන්න.