Skip to content

පටුනට යන්න

මවිතකර නිර්මාණ

මවිතකර නිර්මාණ

මවිතකර නිර්මාණ

විද්‍යාත්මක ගවේෂණ තුළින් අපගේ විශ්වය පිළිබඳ බොහෝ තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. එමනිසා කුඩා අංශුවක සිට අතිමහත් විශ්වය දක්වා හොඳ අවබෝධයක් අප සතුයි. එහෙත් ඒ පිළිබඳව ඉගෙනගැනීමට තවත් අප්‍රමාණ දේවල් අපට තිබෙනවා.

අප ජීවත් වන පෘථිවිය මේ මහත් විශ්වය සමඟ සසඳන විට එය ඉතාමත් කුඩයි. ඒ වුණත් ඒ තුළ පවා පුදුම දනවන සංකීර්ණ මෙන්ම ඉතා අලංකාර දේවල් පිරී පවතිනවා. අප අවට ඇති විවිධ වර්ණයන්ගෙන් යුත් මල්, නානාප්‍රකාර කුරුල්ලන් හා සමනලයන් ගැන සිතා බලන්න. එමෙන්ම දර්ශණීය හිරු බැස යෑමක් වැනි අවට පරිසරයේ මන බඳින දසුන්, අප ආදරය කරන කෙනෙකුගේ හද උණුසුම් කරන සිනහාවක් අපගේ සිතට ගෙන දෙන්නේ මොන තරම් සතුටක්ද!

මෙවන් දේවලින් පිරි මෙම විශ්වයේ ආරම්භයට මුල් වූ යම් බුද්ධිමත් බලවේගයක් සිටිය යුතු බව බොහෝදෙනා විශ්වාස කරනවා. ඒ සඳහා ඔවුන්ට හොඳ හේතු තිබෙනවා. මෙම විශ්වය භෞතික නීතිවලට එකඟව තිතටම සකස් වී ඇති නිසා ඒ මගින් ජීවත් වීමට ඉතා සුදුසු පරිසරයක් බිහි වී තිබෙනවා කියාද ඔවුන් පවසනවා. එසේ නොවුණා නම් කිසිම ජීවියෙකුට පැවතිය නොහැකියි.

විශ්වය පිළිබඳ හදාරන විද්‍යාඥයෙක් වන පෝල් ඩේවීස් වරක් මෙසේ පැවසුවා. “විශ්වයේ සැකැස්ම දෙස බලද්දී ඉන් පෙනෙන්නේ එහි මනා සැලැස්මක් ඇති බවයි. එය අහඹු සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් නොවෙයි. ඒ වෙනුවට එය ඉතා පුදුමාකාර ගණිත නීතිවලට එකඟව ක්‍රියාත්මක වන බවක් පෙනෙයි.” සමහර විද්‍යාඥයන් ඔහු සමඟ එකඟ වුණත් තවත් පිරිසක් ඊට විරුද්ධයි.

ඊට මේ උදාහරණය බලන්න. නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ ස්ටීවන් වයින්බර්ග් මෙසේ පැවසුවා. “අප විශ්වය ගැන අවබෝධ කරගන්න තරමටම එහි පැවැත්මට හේතුව තේරුම්ගැනීමත් අපහසුයි.” නමුත් ඔහු මෙවන් දෙයක්ද පවසනවා. ‘සොබාදහම විසින් අපට අවශ්‍ය දේවල්වලටත් වැඩියෙන් දේවල් සපයා තිබෙනවා. ඒක මේ තරම්ම අපගේම ප්‍රයෝජනයට හැඩ ගැසිලා තියෙන්නේ කොහොමද කියලා මට හිතාගන්නවත් බැහැ.’

පෘථිවිය ඇතුළු අපගේ පුදුමාකාර විශ්වය සකස් වී ඇති ආකාරය බලද්දී එය පිටුපස බුද්ධිමත් පුද්ගලයෙක් හෝ නිර්මාණකරුවෙක් සිටින බව සිතීම සාධාරණ දෙයක් නොවෙයිද? අප මෙහි ජීවත් වන්නේ අරමුණක් ඇතුවද? නැතිනම් කිසිම අරමුණක් නැතුවද? එම ප්‍රශ්නවලට පිළිතුරු අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.