Skip to content

පටුනට යන්න

මහ සයුරේ දැවැන්තයෝ

මහ සයුරේ දැවැන්තයෝ

මහ සයුරේ දැවැන්තයෝ

මහ මුහුදෙන් එකවරම මතු වූ දැවැන්ත සත්වයෙක් මුහුදේ ගමන් කරමින් තිබූ බෝට්ටුවකට පහර දී එහි සිටි මිනිසුන්ව ඌ මරා දමයි. එවැනි කතන්දර ඔබ ඕනෑ තරම් අසා ඇති. ඇත්තෙන්ම එතරම් දැවැන්ත සත්වයන් මුහුදේ සිටිනවාද?

වර්ෂ 2007දී ඇන්ටාක්ටිකා මුහුදේ මසුන් අල්ලමින් සිටි මිනිසුන්ට අහම්බෙන් වගේ විශාල දැල්ලෙකුව අසු වුණා. අඩි 33ක් පමණ දිගින් යුත් උගේ මුළු බර කිලෝග්‍රෑම් 500කට ආසන්නයි. විද්‍යාඥයන් පවසන්නේ උන් ප්‍රමාණයෙන් ඊටත් වඩා විශාල විය හැකි බවයි.

යෝධ දැල්ලාද ඊට සමානයි. උගේ ශරීරය මිසයිලයක හැඩයක් ගන්නා අතර උගේ ඇසක් මිනිසෙකුගේ හිසකට වඩා විශාලයි. ගිරවෙකුගේ හොට මෙන් තියුණු හොටක් ඌට තිබෙන අතර එයින් වානේ කේබලයක් වුණත් කැපිය හැකියි. එම දැල්ලාට අඬු දහයක් තිබෙන අතර ඉදිරිපස අඬු දෙක ආහාර ගැනීම සඳහා භාවිත කරයි. ඒවායෙහි යටි පැත්තේ පීරිසියක හැඩැති රවුම් පිහිටා තිබෙනවා. ඒ නිසා ඕනෑම දෙයක් තදින් අල්ලා ගැනීමට උන්ට හැකියි. පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කිරීමට මෙන්ම ජලයේ සිට ගුවනට පැනීමේ හැකියාවද උන් සතුයි.

පසුගිය සියවසේදී එවන් දැවැන්ත දැල්ලන් දුටු අවස්ථාවන් වාර්තා වී තිබෙන්නේ 50කටත් අඩු සංඛ්‍යාවක් වන අතර උන්ගේ හැසිරීම් රටාව ගැන කිසිම අධ්‍යයනයක් කර නැහැ.

අති දැවැන්ත තල්මසුන්

මන්දා තල්මසා සමඟ බලද්දී ඉහත සඳහන් දැල්ලන් එතරම් විශාල නැහැ. මන්දා තල්මසා දිගින් අඩි 60ක් සහ බරින් කිලෝග්‍රෑම් 50,000ක් දක්වා වර්ධනය විය හැකියි. එමෙන්ම උගේ එක දතක් ග්‍රෑම් 900ක් පමණ බරයි! මිය ගිය තල්මසුන් කිහිපදෙනෙක් මෑතකදී හමු වූ අතර උන්ගේ ආමාශයේ යෝධ දැල්ලන්ගේ කොටස් දැකගන්න ලැබී තිබෙනවා. එමෙන්ම එම තල්මසුන්ගේ හිසෙහි වක්‍රාකාර කැළැල් දකින්න තිබූ අතර ඉන් පැහැදිලි වූයේ එම යෝධ දැල්ලන් මෙම තල්මසුන් සමඟ ප්‍රබල සටනක යෙදී ඇති බවයි. දිනක් කිලෝග්‍රෑම් 40,000ක් පමණ බර මන්දා තල්මසෙකු හා යෝධ දැල්ලෙකු අතර සටනක් තමන් දුටු බව එක් ධීවරයෙක් 1965දී වාර්තා කළා. ඒ සටනින් දෙදෙනාම මිය ගියා. තල්මසා මුහුදේ පාවෙමින් සිටි අතර දැල්ලාගේ හිස උගේ ආමාශයේ තිබී හමු වුණා.

යෝධ දැල්ලා හා මන්දා තල්මසාටත් වඩා දැවැන්තයෙක් සිටිනවා. ඒ නිල් තල්මසායි. ක්ෂීරපායි සතුන් අතරින් දැවැන්තයා වන්නේ එම තල්මසයි. අඩි 108ක් තරම් වාර්තාගත දිගම නිල් තල්මසා හමු වූයේ ඇන්ටාක්ටිකාවෙනුයි. ඌ කිලෝග්‍රෑම් 1,50,000ක් පමණ බරයි. එමෙන්ම උගේ දිව පමණක් වැඩුණු අලියෙකුගේ බරට සමානයි! එම තල්මසා අඩි 23 සිට 27 දක්වා දිගින් යුත් කිලෝග්‍රෑම් 3,000ක් පමණ බරැති පැටවෙකු බිහි කරන බව ඔබ දැන සිටියාද? දඩයම් කිරීම හේතුවෙන් 1960 ගණන්වල සිට උන් වඳ වීමේ තර්ජනයට ලක් වී තිබෙනවා.

දරුණු හා මෘදු

මහ සයුරේ වඩාත් තැතිගන්වන මත්සයා වන්නේ යෝධ සුදු මෝරායි. ඌට තියුණු දත් 3,000ක් පමණ තිබෙන අතර ඒවාට හසු වුණොත් ගැලවෙන එක නම් සිතා ගන්නවත් බැහැ. දැනට හමු වී ඇති විශාලතම සුදු මෝරා අඩි 23ක් දිගයි. ඌ කිලෝග්‍රෑම් 3,200ක් පමණ බරයි. සුවිශේෂි ඉවක් සහිත මේ සත්වයාට ලේ බින්දුවක් වතුර ලීටර් 100කට මිශ්‍ර වී තිබුණත් එය ඌට හොඳින් දැනෙයි.

දැනට ජීවත් වන මත්ස්‍යයන් අතරින් විශාලතම මත්ස්‍යයා වන්නේ තල්මස් මෝරායි. සාමාන්‍යයෙන් ඌ අඩි 25ක් පමණ දිගින් යුක්තයි. ඒ වුණත් සමහර එවුන් එම ප්‍රමාණය මෙන් දෙගුණයක් දක්වා වර්ධනය විය හැකියි. උගේ කට අඩි හතරක් පමණ පළල නිසා මිනිසෙකුව වුවත් පහසුවෙන්ම ගිල දැමිය හැකියි. ඒ වුණත් අනිකුත් දරුණු මත්ස්‍යයන්ට වඩා වෙනස් මෙම තල්මස් මෝරා ආහාරයට ගන්නේ ක්ෂුද්‍ර ශාක හා ජීවීන් (ප්ලවාංග) මෙන්ම කුඩා මත්ස්‍යයනුයි.

යෝනා නමැති දෙවිගේ අනාගතවක්තෘවරයාව ගිල දැමූ විශාල මත්ස්‍යයෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (යෝනා 1:17; 2:10) ඒ ගැන එක් සඟරාවක මෙසේ වාර්තා වුණා. “තල්මස් මෝරාගේ අසාමාන්‍ය ජීර්ණ පද්ධතිය ගැන කල්පනා කරද්දී බයිබලයේ සඳහන් යෝනා සම්බන්ධ සිදු වීම සත්‍යයයි කියා සිතිය හැකියි. ඊට හේතුව මෙම මෝරාට දිරවීමට අපහසු විශාල යමක් හදිසියෙන් හෝ ගිලුණොත් එය ඉක්මනින්ම වැමෑරීමේ ස්වභාවයක් ඌට තිබෙනවා.”—නැෂනල් ජියෝග්‍රෆික්.

සැඟවී සිටින යෝධයා

ගැඹුරු සයුරේ වෙසෙන තවත් දැවැන්තයෙක් වන්නේ යෝධ බූවල්ලායි. බරින් කිලෝග්‍රෑම් 250ක් දක්වා වර්ධනය විය හැකි මෙම බූවල්ලාට නැව් පවා මුහුදුබත් කිරීමට හැකි බව සැලකෙනවා. ඒ වුණත් ඌ හරිම ලැජ්ජාශීලී නිසා නිතරම උත්සාහ කරන්නේ ගල් කුහර හා මුහුදු පත්ලේ ඇති විවරවල සැඟවී සිටීමටයි. ඌට අඬු අටක් තිබෙන අතර එය දිගහැරිය විට උගේ දිග අඩි 30ක් පමණ වෙනවා. එමෙන්ම කොඳු නාරටියක් රහිත ජීවීන් අතර විශාලතම මොළයට හිමිකම් කියන්නේ මෙම බූවල්ලායි. ඒ නිසාම ඉතා බුද්ධිමත් මෙම ජීවියාට බෝතලයක මූඩියක් කරකවා ඇරීම වැනි සංකීර්ණ දෙයක් කිරීමට පවා හැකියි.

මෙම යෝධ බූවල්ලාටද යෝධ දැල්ලාට මෙන් පරිසරයට අනුව වර්ණය වෙනස් කරගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම ජෙට් යානයක් මෙන් ඉදිරියට ඇදී යෑමටද ඌට හැකියි. ඌ සතු තවත් විශේෂත්වයක් වන්නේ තර්ජනයක් එල්ල වන විට සතුරා දෙසට අඳුරු පැහැති දියරයක් විද පලා යෑමයි. ආහාර සෙවීම සඳහා ගොඩබිමෙහි සුළු වේලාවක් ගත කිරීමටද ඌට හැකියි!

ගැඹුරු සයුරේ සැරිසරන මෙම දැවැන්තයන් උන්ගේ නිර්මාණකරු වන යෙහෝවා දෙවිට ගෙන දෙන්නේ මොන තරම් ප්‍රශංසාවක්ද! ඒ ගැන බයිබලයේ ගීතිකාකරු පැවසූ මේ වදන් මොන තරම් සත්‍යයද! “මුහුදු දැවැන්තයෙනි, ජල ධාරාවෙනි, පොළොවේ සිට යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.”—ගීතාවලිය 148:7, නව ලොව පරිවර්තනය.

[17වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

ඔවුන් කොතරම් විශාල විය හැකිද?

යෝධ සුදු මෝරා

යෝධ බූවල්ලා

තල්මස් මෝරා

විශාල දැල්ලා*

යෝධ දැල්ලා*

*ගණන් බලා ඇති ප්‍රමාණයට

මන්දා තල්මසා

නිල් තල්මසා

අඩි 100 90 80 70 60 50 40 30 20 10 0

මීටර් 30 25 20 15 10 5 0

[15වන පිටුවේ පින්තූරය]

යෝධ සුදු මෝරා

[15වන පිටුවේ පින්තූරය]

යෝධ බූවල්ලා

[16, 17වන පිටුවේ පින්තූරය]

මන්දා තල්මසා

[16වන පිටුවේ පින්තූරය]

තල්මස් මෝරා

[17වන පිටුවේ පින්තූරය]

නිල් තල්මසා හා පැටවා

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Shark: © Steve Drogin/​SeaPics.com; drawing: Getty Images; octopus: © Brandon Cole

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Sperm whale: © Brandon Cole; blue whales: © Phillip Colla/​SeaPics.com; whale shark: © Steve Drogin/​SeaPics.com