Skip to content

පටුනට යන්න

ස්පාඤ්ඤ අධිකරණය මවකගේ අයිතිවාසිකම් පිළිගනියි

ස්පාඤ්ඤ අධිකරණය මවකගේ අයිතිවාසිකම් පිළිගනියි

ස්පාඤ්ඤ අධිකරණය මවකගේ අයිතිවාසිකම් පිළිගනියි

● මවක් හැටියට ඔබේ වගකීම් ඉටු කිරීමට ඔබ දන්නේ නැහැ කියා කවුරුන් හෝ චෝදනා කළොත් ඔබට ඒ ගැන කෙසේ හැඟෙයිද? ඔබ නිසා ඔබේ දරුවන් සමාජයේ හැසිරෙන්න දන්නේ නැති, හරි වැරැද්ද ගැන අවබෝධයක් නැති, බුද්ධිමත්ව කටයුතු කරන්න දන්නේ නැති අය කියා පැවසුවොත් ඔබට ඒ ගැන කෙසේ හැඟෙයිද?

ස්පාඤ්ඤයේ සිටින රෝසා ලෝපෙස් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. ඇයත් ඉහත කී හා සමාන චෝදනාවකට මුහුණ දුන්නා. ඇගෙන් දික්කසාද වූ ස්වාමිපුරුෂයා දරුවන්ගේ අයිතිය ලබාගැනීමට නීතිමය පියවර ගත්තා. ඔහුගේ චෝදනාව වුණේ රෝසාගේ ආගම නිසා දරුවන් සමාජයේ හැසිරෙන්න දන්නේ නැති, අධ්‍යාපනික කටයුතු කඩාකප්පල් කරගන්නා, හොඳ නරක පවා නොදන්නා අය බවට පත් වෙන බවයි. නමුත් උසාවිය එම චෝදනා සියල්ලක්ම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු එම නඩුව ඉහළ උසාවියට ගෙන ගියා.

සාමාන්‍යයෙන් දරුවන්ගේ භාරකාරිත්වය පිළිබඳ නඩුවකදී දෙමාපියන්ගේ ආගමික විශ්වාසයන් විභාගයට ගැනෙන්නේ නැහැ. එහිදී මූලිකවම සලකා බලන්නේ දරුවාගේ ශුභසිද්ධියට හේතු වන්නේ මොනවාද, වර්තමානයේ දරුවාව බලාගන්නා මවගෙන් හෝ පියාගෙන් දරුවාට යම් නරක බලපෑමක් ඇති වෙනවාද, දරුවාගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට සුදුසුම තත්වයේ සිටින්නේ කවුද යන්නයි.

රෝසාගේ නඩු විභාගයේදී දරුවන්ගේ සහ දෙමාපියන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා උසාවිය විසින් මනෝ වෛද්‍යවරියක් පත් කළා. ඇය සොයාගත්තේ කුමක්ද? දරුවන් මව සමඟ ජීවත් වූ අවුරුදු හය පුරා අධ්‍යාපනික කටයුතු හොඳින් කරමින් සදාචාර සම්පන්න මෙන්ම පවුල තුළ හොඳින් හැසිරෙමින් සිටි බවයි. එම තොරතුරු මෙන්ම මවගෙනුත් පියාගෙනුත් ලබාගත් තොරතුරුද පදනම් කරගෙන විනිසුරු මෙවැනි තීන්දුවක් දුන්නා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගම තුළ හැඳී වැඩීම නිසා මේ දරුවන්ට මානසිකව හෝ සදාචාරමය වශයෙන් කිසිදු හානියක් සිදු වී නැති බව පැහැදිලියි.” නඩුව අවසානයේදී ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ “රෝසාට විරුද්ධව දරුවන්ගේ පියා කළ චෝදනාවලට කිසිම පදනමක් නැති” බවයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කැමති නැති අය හා ඔවුන් ගැන වැරදි තොරතුරු ලැබී ඇති අය පවසන්නේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ට බොහෝ දේවල් “අහිමි” වන බවයි. නමුත් බයිබලයේ ඇති මඟ පෙන්වීම්වලට එකඟව ඇති දැඩි වන දරුවන් කවදාවත් සමාජයට කරදරයක් වෙන්නේ නැහැ. ඔවුන් සමබර, අන් අය ගැන සැලකිලිමත් හොඳ පුරවැසියන් බවට පත් වෙනවා.—එෆීස 6:4; 2 තිමෝති 3:15-17.

[14වන පිටුවේ පින්තූරය]

රෝසා ලෝපෙස්ට ඇගේ දරුවන් දෙදෙනාගේ භාරකාරිත්වය හිමි වුණා