Skip to content

පටුනට යන්න

“මිහිමත සුපිරි ගුවන් යානය”

“මිහිමත සුපිරි ගුවන් යානය”

“මිහිමත සුපිරි ගුවන් යානය”

ඇල්බට්‍රොස් පක්ෂියාව එසේ විස්තර කර තිබෙන්නේ නිකමට නොවෙයි. අනිකුත් මුහුදු පක්ෂීන්ට වඩා ප්‍රමාණය අතින් ඉදිරියෙන් සිටින මේ දැවැන්තයාට පැයට කිලෝමීටර් 115ක වේගයෙන් පියාඹන්න පුළුවන්. ඌ පියාපත් දිගහැරිය විට එය අඩි දහයක් පමණ පළලයි. ඇවිද යන විට එතරම් ප්‍රියමනාප ගතියක් නැති වුණත් ඌ පියාසර කරන ආකාරය නම් බලන්න ලස්සනයි.

දැනට ඇල්බට්‍රොස් පක්ෂි විශේෂ 20ක් පමණ හඳුනාගෙන තිබෙන අතර ඉන් 15ක් පමණ නවසීලන්තය අවට මුහුදු තීරයේ දැකගන්න පුළුවන්. නමුත් කැදලි තැනීම සඳහා උන් ප්‍රධාන වශයෙන් තෝරාගෙන තිබෙන්නේ දකුණු අර්ධගෝලයේ තායිආරෝආ නමැති භූමි ප්‍රදේශයයි. මෙය පිහිටා තිබෙන්නේ නවසීලන්තයේ ඔටාගෝ අර්ධද්වීපයේයි.

රාජකීය ඇල්බට්‍රොස් යන මේ පක්ෂි විශේෂය බිත්තර දැමීමට පටන්ගන්නේ වයස අවුරුදු හයේ සිට දහය දක්වා කාලය තුළදීයි. එතැන් සිට ජීවිත කාලය පුරා තම වර්ගයාව බෝ කරන මේ පක්ෂියා ජීවත් වන්නේ සුළු පටු කාලයක් නම් නොවෙයි. සමහර පක්ෂීන් අවුරුදු 50කට අධික කාලයක් ජීවත් වන බව වාර්තා වෙනවා. කිරිල්ලියක් වරකට එක බැගින් අවුරුද්දක් හැර අවුරුද්දක් බිත්තර දමන අතර බිත්තර නොදමන අවුරුද්ද මුහුදේ ගත කරයි. එමෙන්ම ජීවිත කාලය පුරා එක සහකරුවෙක් සමඟ ජීවත් වීම උන්ගේ ඇති තවත් විශේෂත්වයක්.

මේ කුරුල්ලන් කැදලි තනන්නේ සැප්තැම්බර් මාසයේදී වුණත් බිත්තර දමන්නේ නොවැම්බර් මාසයේදීයි. කිරිල්ලී දමන බිත්තරයක් ග්‍රෑම් 500ක් පමණ බරයි. කැදැල්ල තැනීමටත් දින 80ක් පුරා එම බිත්තරය රැකීමටත් පසුව කුරුලු පැටියාව කවා පොවා රැක බලා ගැනීමටත් මේ දෙමාපියන් සහයෝගයෙන් වැඩ කරනවා. කුරුලු මව සහ පියා මාළුන් සහ දැල්ලන්ව ආහාරයට ගෙන පසුව ඒවා වමාරා පැටවුන්ව පෝෂණය කරනවා. මාස හයක් පමණ වයසැති පැටවෙක් කිලෝ 12ක් පමණ බරින් යුක්ත වන අතර එය වැඩුණු කුරුල්ලෙකුගේ බරටත් වඩා වැඩියි.

අවුරුද්දකට පමණ පසු දෙමාපියන් තායිආරෝආ ප්‍රදේශය අතහැර නැවතත් මුහුදට යනවා. එහි අවුරුද්දක් පමණ ගත කරනවා. ඒ අතරතුර කාලයේදී පැටවාගේ බර අඩු වී පිහාටු හොඳින් වැඩී තිබෙන අතර කෙසේ හෝ ඌ වැටිවැටී පියාඹන්න ඉගෙනගන්නවා. ඉන්පසු මේ පැටවාත් මුහුදටම යනවා. කාලයත් සමඟ නහඹර වියට පා තබන උන්ද තායිආරෝආ ප්‍රදේශයට නැවත එනවා. ඒ කාලයේදී වැඩිහිටි පක්ෂීන් කැදලි තනමින් කාර්යබහුලව සිටින අතර නහඹරයන් හැඩ වැඩ වෙමින් දුව පැන සෙල්ලම් කරමින් පියෑඹීමට තමන් සතු දක්ෂතා පෙන්වමින් කාලය ගත කරයි.

[25වන පිටුවේ කොටුව]

කුරුලු කොලනියේ සංචාරයක්

කුඩා කාලයේ ඉඳලාම ඇල්බට්‍රොස් කුරුල්ලන්ව දකින්න මම හිටියේ හරිම ආසාවෙන්. ඒ උන් ගැන අහලා තිබුණ කතා නිසයි. එදා අපි එහේ යනකොට හරියට හුළං තිබුණා. අපි අහස දිහා බලාගෙන හිටියේ උන් පියාඹන ආකාරය දැකගන්නයි. ඒ ප්‍රදේශයට ළං වෙනකොට අපේ බලාපොරොත්තු ඉටු වුණා කියලා අපිට තේරුණා. අන්තිමේදී පියාඹන්න උපන් හපන් ඇල්බට්‍රොස් පක්ෂීන්ව අපිට දකින්න ලැබුණා.

අපි එම ස්ථානයට ගිය අවස්ථාවේදී තවත් සංචාරකයන් පිරිසක්ද අපිත් එක්ක එකතු වුණා. එහිදී මෙම කුරුල්ලන් ගැන විවිධ ආකෘති හා වීඩියෝ දර්ශන යොදාගනිමින් පැයක පමණ විස්තරයක් අපට ලබා දුන්නා. උන්ට දවසේ පැය 24ම වුණත් මුහුදේ ජීවත් විය හැකි බව අපි දැනගත්තා. ඒ කියන්නේ උන් නිදාගන්නේත් මුහුදේමයි. ඇත්තෙන්ම උන් මුහුදේ සිටින විටත් ගුවනේ පියා සලන විටත් හරිම අපූරුයි. ‘සෑම දෙයක්ම සෑදූ’ තැනැත්තා වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට එය අපට තවත් හේතුවක් නොවේද!—එළිදරව් 4:11.

[24වන පිටුවේ පින්තූරය]

පැටවාව පෝෂණය කිරීමට දෙදෙනාම සහයෝගයෙන් වැඩ කරන අතර මාස හයක් පමණ වන විට උගේ බර කිලෝග්‍රෑම් 12ක් පමණ වෙයි

[24, 25වන පිටුවේ පින්තූරය]

රාජකීය ඇල්බට්‍රොස් විශේෂය තම නිවහන කරගෙන තිබෙන්නේ තායිආරෝආ ප්‍රදේශයයි

[24වන පිටුවේ පින්තූරය]

රාජකීය ඇල්බට්‍රොස් පක්ෂියා නින්දට යන්නේත් මුහුදේමයි

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: © David Wall/Alamy; bottom: © Kim Westerskov/Alamy

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background: © davidwallphoto.com; page 24, top: Tui De Roy/Roving Tortoise Photos; page 24, bottom: Courtesy Diarmuid Toman; page 25, albatross in flight: © Naturfoto-Online/Wolfgang Bittmann