Skip to content

පටුනට යන්න

 නිර්මාණයක්ද?

සුළං රොදක් සේ පාවෙන ඇල්බට්‍රොස්

සුළං රොදක් සේ පාවෙන ඇල්බට්‍රොස්

මුහුද ආශ්‍රිතව ජීවත් වන ඇල්බට්‍රොස් සුවිශේෂී කුරුල්ලෙක්. බරින් කිලෝග්‍රෑම් අට හමාරක් පමණ වන මේ කුරුල්ලා අත්තටු විහිදුවාම දිග අඩි 11ක් විතර වෙනවා. ඒත් ඌට එතරම් ශක්තියක් වැය නොකර කිලෝමීටර් දහස් ගාණක් වුණත් තටු නොසලා පියාඹන්න පුළුවන්! ඒකට රහස උගේ ශරීර සැකැස්ම සහ ඉහළට නැඟීමට යොදාගන්න ශිල්ප ක්‍රමයයි.

මේ ගැන සිතන්න: ඇල්බට්‍රොස් ඉගිලෙද්දී උගේ තටු සම්පූර්ණයෙන්ම දිග හැර තබාගන්න පුළුවන් වෙන විදිහට තද වෙනවා. ඒ නිසා ඌට තටු සලන්න අවශ්‍ය වෙන්නේ නෑ. සැහැල්ලුවෙන් පාවී යන්න තවත් දෙයක් ඌට උපකාරවත් වෙනවා. ඒ මුහුදු සුළං සමඟ පොරබඳන්න ඌට තියෙන විශේෂ හැකියාවයි.

මුහුදට ඉහළින් ඌ පාවී යද්දී සුළං හමන පැත්තටම පාවෙන නිසා කිසිම ආයාසයක් නොදරා වේගයෙන් පහළට බහින්න ඌට පුළුවන්. ඌ එසේ පහළට එන ගැම්ම නිසා සුළඟට ප්‍රතිවිරුද්ධ දිශාවට ලේසියෙන්ම නඟින්න ඌට හැකි වෙනවා. මේ රහස විද්‍යාඥයන් හොයාගත්තේ මෑතකදී. ඒ සඳහා ඔවුන් උන්ගේ ගමන් මඟ නිරීක්ෂණය කරන්න ඉතා නවීන තාක්ෂණික උපකරණයක් නිපදෙව්වා. මෙසේ වරක සුළං හමන දිශාවටත් ඒ එක්කම ප්‍රතිවිරුද්ධ දිශාවටත් පාවී යන නිසා ඇල්බට්‍රොස්ට “වැය වෙන්නෙ ඉතා අඩු ශක්තියක්” කියා ඔවුන් සොයාගත්තා.

ඉදිරියේදී ඉන්ධන අඩුවෙන් වැය වන යානා විතරක් නෙමෙයි උඩු ගුවනේ සැරිසරන එන්ජිමක් නැති යානා වුණත් නිපදවීමට සොයාගත් මේ තොරතුරු ඉන්ජිනේරුවන්ට උදව් වෙයි.

ඔබේ නිගමනය කුමක්ද? ඇල්බට්‍රොස් එතරම් ශක්තියක් වැය කරන්නැතුව පියාසර කරන්නෙත් ඌට ඒ වගේ ශරීරයක් ලැබුණෙත් අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?