Skip to content

පටුනට යන්න

නිතර අසනු ලබන ප්‍රශ්න

නිතර අසනු ලබන ප්‍රශ්න

සමහර අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කතා කරන්නේ ඇයි?

ඊට හේතුව ඔවුන් ගැන නිවැරදි තොරතුරු නොදන්නාකම හෝ ඔවුන් කරන සේවයට අකමැති නිසා විය හැකියි. නමුත් ‘යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන බව’ ඔවුන් හොඳින් තේරුම්ගෙන තිබෙනවා. (රෝම 10:13) එමනිසා අසල්වැසියාට ප්‍රේම කිරීමක් ලෙස ඔවුන් ගෙයින් ගෙට ගොස් එම පණිවිඩය දැනුම් දෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රෙපරමාදු නිකායක්ද? නැත්නම් මූලධර්මවාදී හෝ වෙනත් නිකායක්ද?

නැහැ. ඔවුන් කිසිම පල්ලියකට සම්බන්ධ නැහැ. එවැනි ආගම්වල බයිබලයට පටහැනි සමහර දේවල් උගන්වන බව ඔවුන් හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. උදාහරණයකට ප්‍රේමයේ උතුම්ම ආදර්ශය වන යෙහෝවා දෙවි, වැරදි කරන මිනිසුන්ව නිරයක දමා සදාකාලයටම වධ දෙන බවක් බයිබලයේ කිසිම තැනක සඳහන් වී නැහැ. එමෙන්ම මිනිසාට අමරණීය ආත්මයක් ඇති බව හෝ ක්‍රිස්තියානීන් දේශපාලන කටයුතුවලට මැදිහත් විය යුතු බවක් එහි සඳහන් වන්නේ නැහැ.—එසකියෙල් 18:4; යොහන් 15:19; 17:14; රෝම 6:23. *

“මූලධර්මවාදය කියන්නේ ඇමරිකාවේ රෙපරමාදු ආගම් තුළ ක්‍රියාත්මක වන මහා පරිමාණ සංවිධානයක්” කියා එක් විශ්වකෝෂයක සඳහන් වුණා. (The World Book Encyclopedia) සමහර මූලධර්මවාදී සංවිධාන “බයිබලයේ ඇති වගන්ති වචනානුසාරයෙන්ම පදනම් කරගනිමින් සමාජීය හා දේශපාලනික වශයෙන් යම් තනතුරු දරනවා” කියාද එහි සඳහන් වුණා. නමුත් සාක්ෂිකරුවන් ඊට හාත්පසින්ම වෙනස් පිරිසක්. ඔවුන් දේශපාලන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඈත් වී සිටින අතර දේශපාලනය හෝ වෙනත් කිසිම ක්‍රමයකින් තම මතයන් අන් අය මත බලෙන් පටවන්නේ නැහැ. ඔවුන් මුල් ක්‍රිස්තියානීන් මෙන් ජනයාව පෞද්ගලිකව මුණගැසී බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගත හැකි ආකාරයෙන් ඒවා තර්කානුකූලව පහදා දෙනවා.—ක්‍රියා 19:8.

නිකායක් ලෙස හඳුන්වන්නේ යම් ආගමකින් වෙන් වී ගොස් අලුත් ආගමක් සාදාගත් කුඩා පිරිසක්වයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කිසිම ආගමකින් වෙන් වී ගිය කොටසක් නොවෙයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී සිදු වන්නේ කුමක්ද?

එහිදී මූලිකවම සිදු වන්නේ බයිබලය අධ්‍යයනය කිරීමයි. බොහෝවිට සබයේ සිටින අයටද අදහස් දක්වමින් ඊට සම්බන්ධ විය හැකි අතර ඔවුන්ගේ රැස්වීම්වලට ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකියි. ඔවුන්ගේ රැස්වීම්වලින් එකක් වන ‘දිව්‍යාණ්ඩු සේවා පාසැල’ මගින් එහි සාමාජිකයන්ට ඉගැන්වීම, කියවීම හා විවිධ තොරතුරු අධ්‍යයනය කරන ආකාරය ගැන හොඳ පුහුණුවක් ලබා දෙනවා. එමෙන්ම තවත් රැස්වීමකදී සාක්ෂිකරුවන් නොවන අයගේ උනන්දුවට හේතු වන, බයිබලය මත පදනම් කතාවක් විනාඩි 30කට ඉදිරිපත් කරනවා. ඉන්පසුව මුරටැඹ නමැති සඟරාව යොදාගෙන බයිබලය අධ්‍යයනය කරනවා. ඔවුන් රැස්වීම් ආරම්භ කරන්නේ හා අවසන් කරන්නේ ගීතිකාවක් හා යාච්ඤාවක් සමගිනුයි. රැස්වීම් අතරතුර හෝ පසුව මුදල් එකතු කිරීමක් හෝ සම්මාදම් තැටි අතිනත යැවීමක් සිදු වන්නේ නැහැ.—2 කොරින්ති 8:12.

ඔවුන්ගේ වැඩකටයුතුවලට මුදල් ලැබෙන්නේ කෙසේද?

ස්වේච්ඡාවෙන් කරනු ලබන සම්මාදම්වලිනුයි. බව්තීස්ම කිරීම, විවාහ සහ අවමංගල්‍ය අවස්ථාවලදී මෙන්ම අනිකුත් අවස්ථාවලදී පවත්වන ආගමික මෙහෙයන් සඳහා ඔවුන් මුදල් අය කරන්නේ නැහැ. එමෙන්ම සෑම මසකම දසයෙන් කොටසක් හෝ යම් මුදලක් ගෙවීමට සාක්ෂිකරුවන් බැඳී නැහැ. නමුත් යම් පරිත්‍යාගයක් කිරීමට කැමති ඕනෑම කෙනෙකුට සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානවල තබා ඇති සම්මාදම් පෙට්ටි තුළට ඒවා දමන්න පුළුවන්. සාක්ෂිකරුවන් භාවිත කරන පොත් පත් මුද්‍රණය කරන්නේ ඔවුන් විසින්ම නිසා ඒවාට වැය වන වියදම අඩු කරගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. එමෙන්ම ඔවුන් භාවිත කරන නමස්කාර මධ්‍යස්ථාන හා ශාඛා කාර්යාල ඉදි කරන්නේද ඔවුන්ගේම ස්වේච්ඡා සේවකයන් විසිනුයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවාද?

ඇත්තෙන්ම ඔව්. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ තමන්ටත් තම පවුලේ අයටත් හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටයි. ඔවුන් අතර හෙද සේවයේ යෙදෙන්නන්, අතුරු වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හා ශල්‍ය වෛද්‍යවරුන්ද සිටිනවා. කෙසේනමුත් සාක්ෂිකරුවන් රුධිරය ශරීරගත කරන්නේ නැහැ. ඊට හේතුව ‘ලේවලින් වැළකී සිටින්න’ යන දෙවි දී තිබෙන අණට ඔවුන් කීකරු වන නිසයි. (ක්‍රියා 15:28, 29) සාක්ෂිකරුවන් පමණක් නොව බොහෝ වෛද්‍යවරුන් පවා දැන් පිළිගන්නේ ‘හොඳම ප්‍රතිකාර ක්‍රමය’ රුධිරය රහිත ඒවා බවයි. එසේ කිරීමෙන් රුධිරය භාවිත කරමින් නිපදවා ඇති ඖෂධවලින් ඇති විය හැකි අහිතකර බලපෑම්වලින් වැළකිය හැකියි.

^ 5 ඡේ. මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත බලන්න.