Skip to content

පටුනට යන්න

සාක්ෂිකරුවන් ගැන සොයා බැලූ නීතිඥයෙක්

සාක්ෂිකරුවන් ගැන සොයා බැලූ නීතිඥයෙක්

සාක්ෂිකරුවන් ගැන සොයා බැලූ නීතිඥයෙක්

“මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන දැනගෙන හිටියේ හරිම ටිකයි.” එසේ පැවසුවේ දකුණු අප්‍රිකාවේ නීති ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කරන නීතිඥ ලෙස් සිවන් විසිනුයි. ඔහු සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන සොයා බැලීමට පෙලඹුණේ ඇයි? ඔහු පැමිණි නිගමනය කුමක්ද? මේ ඔහු පිබිදෙව්! සඟරාවට දැක්වූ අදහස් කිහිපයක්.

ඔබේ ආගමික පසුබිම කුමක්ද?

මම යුදෙව්වෙක්. මම එංගලන්ත සභාවේ සාමාජිකාවක් වන කැරල් සමඟ 1970දී විවාහ වුණා. ඒ කාලයේදී අපිට ආගම ගැන උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් අපේ පුතාට මොකක් හරි ආගමක් තියෙන්න ඕනේ කියලා කැරල්ට හිතුණා. කැරල් යුදෙව් ආගමට බැඳුණොත් පුතා ඉබේම යුදෙව්වෙක් වෙනවා කියලත් එයාට වයස අවුරුදු 13 වෙනකොට පල්ලියේ සාමාජිකයෙක් හැටියට එයාව පිළිගනියි කියලත් රබ්බිවරයෙක් (යුදෙව් ආගමික නායකයෙක්) මට කිව්වා. ඊටපස්සේ අපි හැම සතියකම ආගම ගැන ඉගෙනගන්න සිනගෝගයට (යුදෙව් ආගම ගැන උගන්වන ස්ථානයක්) යන්න පටන්ගත්තා.

ඔබට සාක්ෂිකරුවන්ව මුණගැසුණේ කෙසේද?

ඉස්සර සාක්ෂිකරුවෝ ගෙදරට එනකොට මම මෙහෙම කියනවා. “මම නම් අලුත් ගිවිසුම පිළිගන්නේ නැහැ. මම යුදෙව්වෙක්.” දවසක් මට කැරල් කිව්වා බයිබලය ගැන හොඳ දැනුමක් තියෙන එයා අඳුනන සාක්ෂිකාරියක් ඉන්නවා කියලා. එයත් එක්ක බයිබලය ගැන තව ටිකක් සාකච්ඡා කරමු කියලා කැරල් කිව්වා. අකමැත්තෙන් වුණත් මම ඒකට එකඟ වුණා.

ඒ සාකච්ඡාව ගැන ඔබට සිතුණේ කුමක්ද?

මම හිතාගෙන හිටියේ මම හැම දෙයක්ම දන්නවා කියලයි. මම ඉන්නේ දෙවි තෝරාගත් ජාතියේ කියලා සිනගෝගයෙන් ඉගැන්නුවා. ඒ නිසා ‘මෙයා මොනවාද මට උගන්වන්න එන්නේ’ කියලා මට හිතුණා. මුල් වතාවේදීම මම ඒ සාක්ෂිකරුවාට මෙහෙම කිව්වා. “මම උපතින්ම යුදෙව්වෙක්. මට ආගමක් තියෙනවා. ඔයා කියන කිසිම දෙයකින් මාව නම් වෙනස් කරන්න බැහැ. මැරෙනකල් මම ඒක අත්හරින්නේ නැහැ.” අපි වෙනදා වගේ සඳුදා සහ සිකුරාදා දවස්වල සිනගෝගයට ගියා. නමුත් ඉරිදා (මඟහරින්න විදිහක් තිබුණේම නැත්නම්) සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කළා. සිනගෝගයේ වගේ ඒගොල්ලන් බයිබලය ගැන උගන්වන්න සල්ලි ගත්තේ නැහැ.

සාක්ෂිකරුවන් ළඟ තියෙන්නේ එයාලාට කැමති විදිහට වෙනස් කළ බයිබලයක් කියලා මට හිතුණ නිසා ඒ සාකච්ඡාවලදී මම පාවිච්චි කළේ අපේ යුදෙව් බයිබලයයි. නමුත් බයිබල් දෙකේම අදහස් කොයි තරම් සමානද කියලා දැකලා මම පුදුම වුණා. ඒ අය උගන්වන දේ බොරු කියලා ඔප්පු කරන්න ඒක හොඳ අවස්ථාවක් කරගන්නවා කියලා මම හිතුවා.

දවසක් කැරල් මට කිව්වා රබ්බිවරයාට නම් බයිබලය ගැන ඒ තරම් දැනුමක් නැහැ කියලා. ඒ වගේම ක්‍රිස්තුස්ව පිළිගන්න එපා කියන ඔවුන්ගේ ඉගැන්වීමට එකඟ වෙන්න බැරි බවත් ඒ නිසා සිනගෝගයට යන එක නතර කරනවා කියාත් කැරල් කිව්වා. අන්තිමට මට එයාව දික්කසාද කරන්න පවා හිතුණා. නමුත් ඊට වඩා සාක්ෂිකරුවන් ‘විකාර නිකායක්’ කියලා මගේ තර්කවලින් කැරල්ට ඔප්පු කරලා පෙන්නන්න මම තීරණය කළා.

ඔබ සාර්ථක වුණාද?

බයිබලයේ සඳහන් වන ගැලවුම්කරු යේසුස් නෙවෙයි කියලා ඔප්පු කරන්න ලියලා තියෙන පොතක් රබ්බිවරයෙක් මට දුන්නා. කැරලුයි මායි ඒක අවුරුදු එකහමාරක් තිස්සේ අධ්‍යයනය කළා. ඒ අතරම සාක්ෂිකරුවන් එක්කත් දිගටම සාකච්ඡා කළා. නමුත් රබ්බිවරයා දුන්න පොත කියවනකොට මට හුඟක් ප්‍රශ්න මතු වුණා. ඒ පොතට වෙනස්ව බයිබලයේ සඳහන් අනාවැකි හැම එකක්ම යොමු දක්වන්නේ යේසුස්ටයි. අන්තිමේදී ඇත්ත මොකක්ද කියලා මට තේරුණේ අපි දානියෙල් 9:24-27 සඳහන් අනාවැකිය අධ්‍යයනය කරනකොටයි. ඒ අනාවැකියට අනුව ක්‍රිස්තු වර්ෂ 29දී ගැලවුම්කරු පෙනී සිටිය යුතුයි. * මමත් ඒ කාලය ගණන් හදලා බැලුවා. එහෙම කළේ සාක්ෂිකරුවන් මට දුන්න හෙබ්‍රෙව් බයිබලයෙනුයි. ඒකේ හෙබ්‍රෙව් වචනවලට යටින් ඊට අදාළ ඉංග්‍රීසි වචන සඳහන් කරලා තිබුණා. මම ගණන් හදලා බලනකොටත් අනාවැකිය යොමු දැක්වූයේ ක්‍රි.ව. 29ටයි. “ඉතිං ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද” කියලා මම සාක්ෂිකරුවන්ගෙන් ඇහුවා.

“ඒක තමයි යේසුස් බව්තීස්ම වුණ අවුරුද්ද” කියලා සාක්ෂිකරුවා කිව්වා.

ඒක අහලා මට පුදුම හිතුණා! බයිබලයේ ඇති අනාවැකි මේ තරම් නිවැරදියි, එකිනෙකට සම්බන්ධයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ.

ඔබ අලුත් ආගමක් ඉගෙනගන්න එක ගැන යහළුවන් මොනවාද කිව්වේ?

සමහර අය ඒකට කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒ අය කිව්වා සාක්ෂිකරුවෝ අපි දෙන්නාව නොමඟ යවලා කියලා. ඒක අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කෙනෙකුව මුණගස්වනවා කියලත් කිව්වා. ඒත් අපි බයිබලයෙන් ඉගෙනගත්ත දේ පිළිගත්තේ නිකම් නෙවෙයි, ගැඹුරට අධ්‍යයනය කරලා සාක්ෂි ඇතුවයි.

ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න තීරණය කළේ ඇයි?

මුලින්ම සාක්ෂිකරුවෙක් වුණේ කැරල්. * මමත් එයත් එක්ක රැස්වීම් කිහිපයකට ගියා. සාක්ෂිකරුවන් හරිම මිත්‍රශීලියි. ඒ වගේම ඔවුන් අතර විවිධ ජාතීන්වල අය හිටියත් හැම කෙනෙක්ම ප්‍රේමයෙන් කටයුතු කරනවාත් මම දැක්කා. මගේ ආගමේ නම් මම එහෙම දෙයක් දැකලා නැහැ. ඒ ඔක්කොම සැලකිල්ලට අරගෙන අවුරුදු තුනකට විතර පස්සේ මමත් බව්තීස්ම වෙලා සාක්ෂිකරුවෙක් වුණා.

ඔබ ගත් තීරණය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්” කියලා කියන්න ලැබීමම මට ලොකු ගෞරවයක්. ඒ තීරණය ගැන මම කවදාවත් කනගාටු වෙන්නේ නැහැ. නමුත් කලින් මම සත්‍යයට විරුද්ධව කටයුතු කළ නිසා දෙවිගෙන් මේ තරම් වරප්‍රසාදයක් ලබන්න මම වටින්නේ නැහැ කියලා වෙලාවකට මට හිතෙනවා.

ඔබ ලබා ඇති ආශීර්වාද මොනවාද?

ආශීර්වාද නම් හුඟක් තියෙනවා. සභාවේ වැඩකටයුතුවල පෙරමුණ ගෙන සේවය කරන වැඩිමහල්ලෙක් හැටියට කටයුතු කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ නීතික කටයුතුවලට සහයෝගය දෙන්නත් මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ හැම එකකටම වඩා මට වටින්නේ යෙහෝවා දෙවි හා ඔහුගේ පුත්‍රයා වන යේසුස්ව හඳුනාගන්න ලැබීම සහ අප ජීවත් වන්නේ ඉතාමත් තීරණාත්මක කාලයක බව දැනගන්න ලැබීමයි.

[පාදසටහන්වල]

^ 12 ඡේ. මෙසියස් පිළිබඳ දානියෙල්ගේ අනාවැකිය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 197වන පිටුව බලන්න.

^ 18 ඡේ. කැරල් 1994දී මිය ගිය අතර ලෙස් සිවන් නැවත විවාහ වුණා.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලයේ ඇති අනාවැකි මේ තරම් නිවැරදියි, එකිනෙකට සම්බන්ධයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ