Skip to content

පටුනට යන්න

මාව ශක්තිමත් කළ බලාපොරොත්තුව

මාව ශක්තිමත් කළ බලාපොරොත්තුව

මාව ශක්තිමත් කළ බලාපොරොත්තුව

පැවසුවේ වික්ටෝරියා කොජොයි

“දුව වෙනුවෙන් තව කරන්න දෙයක් නෑ. ජීවිත කාලේ පුරාම එයාට කිහිලිකරු පාවිච්චි කරන්න වෙයි.” වෛද්‍යවරයා අම්මට එහෙම කියනකොට මට මගේ ජීවිතය එපා වුණා.

මම ඉපදුනේ 1949 නොවැම්බර් 17වන දින මෙක්සිකෝවේ ටැපැචුලා නගරයේ. මගේ පවුලේ දරුවන් හතර දෙනාගෙන් වැඩිමලා මමයි. ඉපදෙනකොට මම නිරෝගීව සිටියත් මාස හයේදී විතර කකුල් දෙකේ ආබාධයක් ඇති වුණා. ඊට මාස දෙකකට පස්සේ මගේ කකුල් දෙකම සම්පූර්ණයෙන්ම පණ නැති වුණා. ටැපැචුලාවල හුඟක් දරුවන්ට මේ රෝග ලක්ෂණ තිබුණ නිසා මෙක්සිකෝ නගරයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් ගෙන්නුවා. ඔහු පරීක්ෂා කරලා කිව්වා අපිට පෝලියෝ කියලා.

මට වයස අවුරුදු තුනේදී මගේ උකුලේ, දණහිස්වල හා වළලුකර ප්‍රදේශයේ සැත්කම් කිහිපයක්ම කළා. ඒත් ඒවා එතරම්ම සාර්ථක වුණේ නැහැ. වයස අවුරුදු හයේදී මාව මෙක්සිකෝ නගරයේ තිබුණ ළමා රෝහලකට ඇතුල් කළා. අම්මා ටැපැචුලාවල ගොවිපොළක වැඩ කළ නිසා මාත් එක්ක හිටියේ මගේ ආච්චි.

මට අවුරුදු අටක් විතර වෙනකොට ටිකක් හොඳ වුණා. ඒත් ආපහු තත්වය ටිකින් ටික නරක අතට හැරුණා. මේ විදිහට අවුරුදු කිහිපයක් ගියාට පස්සේ තමයි දොස්තර අපේ අම්මට කිව්වේ මගේ ජීවිත කාලෙටම මට කිහිලිකරු පාවිච්චි කරන්න වෙයි කියලා.

වයස අවුරුදු 15 වන විට මගේ කොඳු ඇට පේළියේ වගේම දණහිස්වල, වළලුකර ප්‍රදේශවල හා කකුලේ ඇඟිලිවල ශල්‍යකර්ම 25ක් පමණ කරලා තිබුණා. ඒත් මේ හැම ශල්‍යකර්මයකට පස්සේ යථා තත්වයට එන්න සෑහෙන කාලයක් ගත වුණා. එක සැරයක් මගේ කකුල් දෙකටම සම්පූර්ණයෙන්ම ප්ලාස්ටර් වෙළුමක් දැම්මා. ටික දවසකින් ඒක ඉවත් කළත් ඒත් එක්කම හුඟක් වේදනාකාරී ව්‍යායාම් කරන්න වුණා.

සිතට සහනයක්

සැරයක් අම්මා මාව බලන්න රෝහලට එනකොට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මුරටැඹ සඟරාවක් අරන් ආවා. අම්මා ඒ සඟරාවෙන් දැනගෙන තිබුණා යේසුස් ලෙඩුන්වත් අංශභාගී මිනිසෙක්වත් සුව කළා කියලා. මමත් ඒ සඟරාව ආසාවෙන් කියවලා මගේ කොට්ටේ යටින් තියාගත්තා. දවසක් හෙදියක් ඇවිත් ඒ සඟරාව අරගෙන ගිහින්. මම ඒක කියෙව්වා කියලා එයා මට හොඳටම බැණ්ණා. එතකොට මට වයස අවුරුදු 11යි.

අවුරුද්දකට විතර පස්සේ අම්මා මට තවත් පොතක් ගෙනත් දුන්නා. ඒ වෙනකොට අම්මා සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවා. එදා අම්මා මට කිව්වා ‘පාරාදීස පොළොවේ අසනීප නැතුව ජීවත් වෙන්න ඔයත් කැමති නම් බයිබලය පාඩම් කරන්න’ කියලා. හැබැයි අච්චි ඒකට කැමති වුණේ නැහැ. ඒත් මට අවුරුදු 14ක් වෙනකොට ආච්චි අකමැති වුණත් මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මම හිටියේ ළමා රෝහලක නිසා මට අවුරුදු 15ක් වෙනකොට අපිට රෝහලෙන් යන්න වුණා.

ජීවිතයට වෙනසක්

මම බයිබලය පාඩම් කරනවාට අච්චි විරුද්ධ වුණ නිසා මම ආපහු ගමට ගියා. ඒත් අපේ තාත්තා මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටිය නිසා ගෙදරත් හුඟක් ප්‍රශ්න. එක පිට එක ප්‍රශ්න තිබුණු නිසා මම කලකිරුණා, ජීවිතේ නැති කරගන්නත් හිතුවා. ඒත් මම බයිබලය පාඩම් කළ නිසා මගේ ඒ සිතුවිල්ල මම වෙනස් කරගත්තා. මට එහෙම කරන්න පුළුවන් වුණේ අනාගතයේදී පොළොව පාරාදීසයක් වෙනවා කියන බලාපොරොත්තුව නිසයි.

බයිබලයේ තිබුණු ඒ බලාපොරොත්තුව ගැන අනික් අයත් එක්ක මම කතා කරන්න පටන්ගත්තා. (යෙසායා 2:4; 9:6, 7; 11:6-9; එළිදරව් 21:3, 4) ඊටපස්සේ 1968 මැයි 8වෙනිදා මම බව්තීස්ම වුණා. ඒ වන කොට මට වයස අවුරුදු 18යි. මට සහනයක් ලැබුණ ඒ බලාපොරොත්තුව ගැන අන් අය එක්ක බෙදාගන්න ඕනේ නිසා මම 1974 සිට පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා.

අරමුණක් හා සතුටක්

මමයි අම්මයි දැන් පදිංචි වෙලා ඉන්නේ මෙක්සිකෝවේ ටිජුවානා නගරයේ. උයන පිහන වැඩයි රෙදි සෝදන වැඩයි මම කරන්නේ රෝද පුටුවේ ඉඳගෙනයි. ඒ වගේම ගේ ඇතුළේ එහා මෙහා යන්න මම කිහිලිකරු පාවිච්චි කරනවා. ඒත් මම ගෙයින් ගෙට ගිහින් බයිබලයේ තියෙන පණිවිඩය අනික් අයත් එක්ක බෙදාගන්නේ මටම කියලා හැදුව පුංචි වාහනයකින්.

මම නිතරම වගේ ළඟ තියෙන රෝහලකට ගිහින් එහේ ඉන්න රෝගීන්ට බයිබලය ගැන කියලා දෙනවා. ඊටපස්සේ කඩේට ගිහින් ගෙදරට අවශ්‍ය බඩු මුට්ටුත් අරගෙන ගෙදර එනවා. අම්මයි මමයි දෙන්නම එකතුවෙලා ගෙදර වැඩ ටික කරනවා.

අම්මගෙයි මගෙයි වියදමට අවශ්‍ය මුදල් සොයාගන්නේ පරණ ඇඳුම් විකුණලයි. දැන් අම්මගේ වයස අවුරුදු 78යි. අම්මත් හුඟක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා මම අම්මගේ බෙහෙත් ගැනත් කෑම ගැනත් හුඟක් සැලකිලිමත් වෙනවා. කොහොමවුණත් අපි රැස්වීම් අතපසු කරන්නේ නැහැ. දැනටමත් මාත් එක්ක බයිබලය පාඩම් කළ 30දෙනෙකුට වඩා වැඩි පිරිසක් මං වගේම ගෙයින් ගෙට ගිහින් බයිබලය ගැන අනික් අයට කියලා දෙනවා.

අනාගතයේදී “කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය” යන බයිබලයේ දී තිබෙන පොරොන්දුව ඉටු වන බව මම තදින් විශ්වාස කරනවා. ඒ වන තුරු සෑම කරදරයකදීම දෙවි මට සහනයක් ලබා දෙනවා කියලා මම දන්නවා. දෙවි ඒ ගැන මෙහෙම පොරොන්දු වෙලා තියෙනවා. “භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.”—යෙසායා 35:6; 41:10. *

[පාදසටහන]

^ 18 ඡේ. වික්ටෝරියා කෝජොයි 2009 නොවැම්බර් 30වෙනි දින මිය ගියා. ඒ වන විට ඇයට වයස අවුරුදු 60යි. ඇගේ මව 2009 ජූලි 5වෙනිදා මිය ගියා.

[12වන පිටුවේ පින්තූරය]

පෝලියෝ සපත්තු දාන්න පටන්ගන්නකොට මට අවුරුදු හතයි

[13වන පිටුවේ පින්තූරය]

ගෙයින් ගෙට ගොස් බයිබල් පණිවිඩය බෙදාගැනීමට මටම කියා සෑදූ කුඩා වාහනය