Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

දෙවි තවමත් යක්ෂයාව විනාශ කර නැත්තේ ඇයි?

දෙවි තවමත් යක්ෂයාව විනාශ කර නැත්තේ ඇයි?

ඔබට තවත් කෙනෙකුගේ දුකට පිහිට වීමට හැකියාව තිබුණා නම් ඔබ එසේ නොකර සිටිනවාද? නැහැ. විපතකදී නාඳුනන කෙනෙකුගේ ජීවිත වුණත් බේරාගැනීමට ඔබ ඉක්මනින් පියවර ගන්නේ ඒ නිසයි. එසේනම් ‘මුළු මිනිස් වර්ගයාගේම දුකට හේතු වන යක්ෂයාව නැති කර දැමීමට දෙවිට හැකියාව තිබියදීත් ඔහු ඉක්මනින් එසේ නොකරන්නේ ඇයි’ කියා ඔබ කල්පනා කරනවා ඇති.

මේ ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීමට අපි උදාහරණයක් බලමු. උසාවියක සිදු වන නඩු විභාගයක් ගැන සිතන්න. එහි විත්තිකරුවා මිනී මරුවෙක්. නමුත් ඔහු චෝදනා කරන්නේ එහි සිටින විනිසුරුට එම තනතුර දැරීමට අයිතියක් නැති බව සහ ඔහු ජූරි සභාවට අල්ලසක් දී ඇති බවයි. ඒ නිසා ඇත්ත දේ ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් අවශ්‍යයි.

සාක්ෂි ඉදිරිපත් කිරීමට කාලය ගත වන බවත් නඩුව අවසන් වන තුරු සමහර අයට යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වන බවත් විනිසුරු දන්නවා. නමුත් ඒ නිසාම ඔහු තීන්දුව දීමට ඉක්මන් වන්නේ නැහැ. ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට කාලය ගැනීමෙනුත් නිවැරදි තීන්දුවක් දීමෙනුත් අනාගතයේදී මේ හා සමාන නඩුවක් පැවැත්වීමට අවශ්‍ය වුණොත් මෙහිදී ගන්නා තීන්දුව ඊට ප්‍රයෝජනවත් වන බවත් ඔහු හොඳින්ම දන්නවා.

මෙම උදාහරණය ඉහත සඳහන් ප්‍රශ්නයට මෙන්ම පහත සඳහන් ඒවාටද පිළිතුරු සෙවීමට උපකාරයක් වෙයි. යක්ෂයා මොන වගේ කෙනෙක්ද? “මුළු පොළොවටම මහෝත්තම දෙවි” වන යෙහෝවාට විරුද්ධව ඔහු කළ චෝදනා මොනවාද? (ගීතාවලිය 83:18) දෙවි, යක්ෂයාව නැති කරන්නේ කවදාද?

යක්ෂයා කළ චෝදනාව

යක්ෂයාව “සාතන්,” “මකරා” සහ “සර්පයා” යන නම්වලින්ද හඳුන්වනවා. (එළිදරව් 12:9) නමුත් ඔහු දෙවිට විරුද්ධ වීමට පෙර විශ්වාසවන්ත දේවදූතයෙක්. (යෝබ් 1:6, 7) පසුව මිනිසුන් දෙවිට කරන නමස්කාරය ලබාගැනීමට ඔහුට තිබුණු දැඩි ආශාව නිසා, පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ඔහු විවේචනය කළා. දෙවිට කීකරු වීම අවශ්‍ය නැහැ කියාත් මිනිසුන් දෙවිට නමස්කාර කරන්නේ තමන්ට ලැබෙන වාසි ප්‍රයෝජන නිසා බවත් ඔහු කියා සිටියා.—යෝබ් 1:8-11; 2:4, 5.

දෙවි ඒ මොහොතේදීම සාතන්ව විනාශ කළා නම් ඔහු කළ චෝදනාවලට පිළිතුරක් ලැබෙයිද? නැහැ. දෙවි එසේ කළා නම් සාතන් කළ චෝදනාව නිවැරදියි කියා කෙනෙකුට සිතෙන්න ඉඩ තිබුණා. ඒ නිසා එම චෝදනාවල ඇත්ත නැත්ත ඔප්පු වීමට දෙවි කාලය දුන්නා.

යෙහෝවා දෙවි යුක්තිසහගත කෙනෙක් නිසා සාතන් කළ චෝදනාවලට සාක්ෂි පෙන්වීමට ඔහුට කාලය දුන්නා. එසේ කිරීමෙන් ආදම්ගෙන් පැවත එන අයට දෙවිගේ පැත්ත තෝරාගන්න අවස්ථාව ලැබෙනවා. එමෙන්ම ඕනෑම පීඩාවක් යටතේ එවැනි අය දෙවිට විශ්වාසවන්තව සිටින්නේ දෙවිට තිබෙන ප්‍රේමය නිසයි.

කොතරම් කාලයක් අවශ්‍යද?

ප්‍රශ්නය විසඳීමට කාලය ගත වුණත් ඒ අතරතුර මිනිසුන්ට විවිධ දුක් වේදනාවන්ට මුහුණ දීමට සිදු වන බව දෙවි දැන සිටියා. ඒ නිසා හැකි තාක් ඉක්මනින් මේ සියල්ල විසඳීමට දෙවි කැමතියි. යෙහෝවා දෙවි “මහත් දයාවක් පෙන්වන පියාණන්” බවත් ඔහු “සියලු සැනසිල්ලේ දෙවි” බවත් බයිබලයේ සඳහන් වෙනවා. (2 කොරින්ති 1:3) මෙතරම් ‘දයාන්විත දෙවි’ කෙනෙක් සාතන් කරන දුෂ්ටකම්වලට හැමදාමත් ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම සාක්ෂි හොඳින් ලැබෙන තුරු ඔහු ඉක්මන් වෙන්නෙත් නැහැ.

සියලු සාක්ෂි ඉදිරිපත් ලැබුණු පසුව සාතන් වැරදිකරුවෙක් බව ඔප්පු වෙනවා. එදාට යෙහෝවා දෙවි ඔහුව විනාශ කරන බව ස්ථිරයි. යෙහෝවා දෙවි එසේ කිරීමෙන් අනාගතයේදී නැවතත් මෙවැනි දෙයක් සිදු නොවීමට එය හොඳ සාක්ෂියක්. අනික් අතට අනාගතයේදී යම් අවස්ථාවක මේ හා සමාන ගැටලුවක් මතු වුණොත් සාතන් සම්බන්ධයෙන් ඔප්පු වූ සාක්ෂි තිබෙන නිසා නැවතත් සාක්ෂි සෙවීම සඳහා කාලය ගැනීම අවශ්‍ය නැහැ.

යෙහෝවා දෙවි නියමිත කාලයේදී යේසුස් මාර්ගයෙන් සාතන්වත් ඔහුගේ දුෂ්ට ක්‍රියා සියල්ලත් නැති කරනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “සියලුම පාලන, බලතල හා අධිකාරිය හොබවන අයව නැති කර දැමූ පසු ඔහු රාජ්‍යය තම දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට භාර දෙනු ඇත. දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි. ඉන්පසු අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.”—1 කොරින්ති 15:24-26.

එදාට දෙවි පොරොන්දු වූ ලෙසම මේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙනවා. ඒ කාලයේදී දෙවි අරමුණු කළ ආකාරයටම මිනිස් වර්ගයා සතුටින් හා සමාදානයෙන් මේ පොළොව මත ජීවත් වේවි. ඒ ගැන බයිබලයේ මෙසේ පොරොන්දු වෙනවා. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.” අනිවාර්යෙන්ම එදාට ‘ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගෙන එහි සදාකල් ජීවත් වෙයි.’—ගීතාවලිය 37:11, 29.

දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් ඉදිරියේ තබා තිබෙන්නේ මොන තරම් වටිනා බලාපොරොත්තුවක්ද! ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.