Skip to content

පටුනට යන්න

ඔබේ කතාබහ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ඔබේ කතාබහ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

බයිබලයෙන් පිළිතුරක්

ඔබේ කතාබහ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

එක් අගමැතිවරයෙක් ඉතාමත් කාරුණිකව හා ගෞරවනීයව වයසක කාන්තාවක් සමඟ කතා කරමින් සිටියා. ඇය සමඟ කළ කතාව අවසන් වූ සැණින් ඇයට තමා වෙතට පැමිණීමට ඉඩ දීම ගැන ඔහු තම කාර්යමණ්ඩලට බැණවැදුණා. ඒ වගේම නුසුදුසු වචනද භාවිත කළා. නමුත් ඒ වන විටත් මයික්‍රෝෆෝනය ක්‍රියාත්මක වෙමින් තිබූ බව ඔහු දැන සිටියේ නැහැ. ඔහු පැවසූ දේවල් මුළු රටටම ඇසුණා. නොසැලකිලිමත් ලෙස පැවසූ ඒ වචන නිසා ඔහුගේ ගෞරවය නැති වුණා පමණක් නොව මැතිවරණයෙන්ද ඔහු පරාජය වුණා.

අප අතරින් කිසිවෙකුට තමාගේ දිව සියයට සියයක්ම පාලනය කරන්න බැරි බව ඇත්තයි. (යාකොබ් 3:2) නමුත් ඉහත සඳහන් අද්දැකීමෙන් පෙනී යන්නේ අප කතා කරන ආකාරය ඉතාමත් වැදගත් බවයි. ඒ වගේම අපේ ගෞරවය, තත්වය, හා මිත්‍රත්වයන් යන සියල්ලම රඳා පවතින්නේ අප කතා කරන ආකාරය හා භාවිත කරන වචන මතයි.

කෙනෙක් ඇත්තටම මොන වගේ පුද්ගලයෙක්ද කියා ඔහු කතා කරන දේවලින් දැනගත හැකියි. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි.” (මතෙව් 12:34) ඒ අනුව ඔබේ සිතුම් පැතුම් හා හැඟීම් මොනවාද කියා ඔබේ කතාවෙන් හෙළි වන නිසා ඔබ කතා කරන දේවල් ගැන හොඳින් සිතා බැලීම අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් කිහිපයක් සලකා බලමු.

සුහඳව කතා කිරීමට ඉගෙනගනිමු

වචන පිට වන්නේ අප සිතන ආකාරය අනුව බව අප මතක තබාගත යුතුයි. ඒ නිසා අපේ සිතුවිලි පිරිසිදු නම් නිවැරදි නම් අප කතා කරන දේවලින් ඒ බව පැහැදිලි වෙනවා. බයිබලයේ ඇති උපදෙස් අදාළ කරගැනීමෙන් අපේ සිතුවිලි පිරිසිදුව තබාගත හැකියි.

ඔබේ සිත යහපත් දේවලට යොමු කරන්න. බයිබලයේ පවසන්නේ “සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න” කියායි.—ෆිලිප්පි 4:8.

එසේ කරනවා නම් නුසුදුසු සිතුවිලි ඉවත් කරගැනීමට අපට හැකියි. අපේ සිතුවිලි පෝෂණය වන්නේ අපි දකින හා කියවන දෙයින් බව කිසිවිටකත් අමතක කරන්න එපා. ඒ නිසා ඔබේ සිතුවිලි පිරිසිදුව තබාගැනීමට නම් ප්‍රචණ්ඩකාරී මෙන්ම අසභ්‍ය විනෝදාංශවලින් ඈත් වී සිටීම අවශ්‍යයි. (ගීතාවලිය 11:5; එෆීස 5:3, 4) ඒ වගේම යහපත් දේවලට මනස යොමු කිරීමත් අවශ්‍යයි. ඒ සඳහා හිතෝපදේශ 4:20-27; එෆීස 4:20-32 සහ යාකොබ් 3:2-12 වැනි බයිබල් පද උපකාරවත් වෙයි. මෙම බයිබල් පද අදාළ කරගැනීමෙන් ඔබේ කතා කිරීමේ විලාසය දියුණු කරගත හැකි වෙනවා.

කල්පනාවෙන් වචන තෝරාගන්න. අපි කතා කරන ආකාරයෙන් සිදු විය හැකි දෙයක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි. නමුත් ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.” (හිතෝපදේශ 12:18) ඔබේ වචන නිතරම අන් අයට සිත් වේදනාවක් ගෙන දෙනවා නම් බයිබලයේ තිබෙන මේ උපදෙස ගැන සිතා බලන්න. “ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි. එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරේ උල්පතකි.”—හිතෝපදේශ 15:28.

ඉදිරි මාසයේදී කටට එන සෑම වචනයක්ම පිට නොකිරීමට අධිෂ්ඨාන කරගන්න. විශේෂයෙන්ම කෝපයෙන් සිටින අවස්ථාවලදී එසේ කිරීම ඉතාමත් වැදගත්. මේ ලිපියේ තිබෙන වටිනා බයිබල් ප්‍රතිපත්ති සලකා බලා කාරුණිකව, සන්සුන්ව හා ප්‍රේමණීයව කතා කිරීමට උත්සාහ කරන්න.—හිතෝපදේශ 15:1-4, 23.

දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කරන්න. ඔබ පවසන වචනවලට යමෙකුව මරා දමන්න හෝ ජීවත් කරවන්න හැකි බව බයිබලයේ පවසනවා. (හිතෝපදේශ 18:20, 21) ඒ නිසා දෙවි සතුටු වන ආකාරයෙන් කතා කිරීමටත් අන් අයගේ සිත් රිදවන ආකාරයෙන් කතා නොකිරීමටත් ඔබ තුළ තිබෙන ආශාව ගැන දෙවිට පවසන්න. එක් බයිබල් ලේඛකයෙකු, දෙවිට මෙසේ යාච්ඤා කළා. “යෙහෝවා දෙවියනි, මාගේ මුවින් පිට වන වචනද මාගේ සිතේ සිතුවිලිද සැමවිටම ඔබ ඉදිරියේ ප්‍රසන්නව තිබේවා.”—ගීතාවලිය 19:14.

බයිබලය මාර්ගයෙන් අඩුපාඩු හඳුනාගන්න. බයිබලය කැඩපතක් හා සමානයි. ඔබ කතාබහ කරන ආකාරයේ තිබෙන අඩුපාඩුකම් ඔබට පෙන්නුම් කිරීමට ඊට හැකියාව තිබෙනවා. (යාකොබ් 1:23-25) ඒ නිසා පහත සඳහන් බයිබල් පද තුන කියවන අතරේදී ඒ සමඟ ඇති ප්‍රශ්නද ඔබෙන්ම අසාගන්න.

“මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.” (හිතෝපදේශ 15:1) මම කතා කරන්නේ මෘදු හා සාමකාමී ලෙසද?

“ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට සුදුසු අවස්ථාවලදී සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න.” (එෆීස 4:29) මම කතා කරන ආකාරයෙන් අනික් අය දිරිගැන්වීමක් ලබනවාද?

“නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.” (කොලොස්සි 4:6) අසීරු අවස්ථාවකදී වුණත් මම කාරුණිකව කතා කිරීමට උත්සාහ කරනවාද?

බයිබලය නමැති කැඩපත භාවිත කර ඔබගේ කතාබහේ තිබෙන අඩුපාඩු සකස් කරගන්නවා නම් අන් අය ඉදිරියේ ඔබ ප්‍රසන්න කෙනෙක් වන අතර ඔබට ඔබ ගැනම හොඳ හැඟීමක් ඇතුව සිටීමටත් හැකි වෙයි.

මේ ගැන ඔබ සිතුවාද?

● ඔබේ කතාවෙන් හෙළි වෙන්නේ කුමක්ද?—ලූක් 6:45.

● ඔබ අන් අයට කතා කළ යුත්තේ කෙසේද?—එෆීස 4:29; කොලොස්සි 4:6.

● කතාබහ දියුණු කරගැනීමට ඔබට කළ හැක්කේ කුමක්ද?—ගීතාවලිය 19:14; ෆිලිප්පි 4:8.

[11වන පිටුවේ පින්තූරය]

කෙනෙකුගේ කතාබහෙන් ඔහු ගැන බොහෝ දේවල් හෙළි වෙයි