Skip to content

පටුනට යන්න

අනේ අපිට පිහිට වෙන්නේ කවුද?

අනේ අපිට පිහිට වෙන්නේ කවුද?

අනේ අපිට පිහිට වෙන්නේ කවුද?

ලෝකයේ වඳ වීගෙන යන සතුන් ආරක්ෂා කිරීමටත් පරිසරයට වන හානිය අවම කිරීමටත් පියවර ගන්නා බව 2002දී එක්සත් ජාතීන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඔවුන්ගේ අරමුණ වූයේ එම දශකය අවසානයේදී එම ඉලක්කය සපුරාගැනීමයි. ඒ නිසා ඔවුන් 2010 වර්ෂය ලෝක ජෛව විවිධත්ව වසර ලෙස නම් කළා.

කනගාටුවට කරුණක් වන්නේ එම වසරට පැමිණියත් එම ඉලක්කයට ළඟා වීමට නොහැකි වීමයි. ඒ පිළිබඳව BBC ප්‍රවෘත්ති සේවය මෙසේ වාර්තා කළා. “ස්වභාවිකව වඳ වී යෑමට වඩා මිනිසුන් නිසා සතුන් වඳ වී යෑම දහස් ගුණයකින් වැඩි වී තිබෙනවා.” නවසීලන්තයේ පුවත්පතක එය මෙසේ පැහැදිලි කර තිබුණා. “ලොව පුරා ඇති ශාක විශේෂ පහකින් එකක්, ක්ෂීරපායි විශේෂ පහකින් එකක්, කුරුලු විශේෂ හතකින් එකක් සහ උභයජීවී විශේෂ තුනකින් එකක් වඳ වීමේ තර්ජනයට මුහුණ දී තිබෙනවා.” මෙම පාරිසරික ගැටලුව කොතරම් දරුණුද කියා දැනගැනීමට නවසීලන්තය මුහුණ දී තිබෙන තත්වය සලකා බලමු.—එම පුවත්පත New Zealand Herald.

නවසීලන්තයේ ජෛව විවිධත්වය

නවසීලන්තය ජනාවාස වීමට පෙර එහි ස්වභාවික පරිසරයට කිසිදු හානියක් සිදු වී තිබුණේ නැහැ. නමුත් එහි මුල් වැසියන් පරිසරයට හිතකර නොවූ සත්ව හා ශාක විශේෂ රැගෙන ආවා. කැලෑ බල්ලන් සහ ආහාර සඳහා රැගෙන ආ මී විශේෂ උදාහරණ ලෙස දැක්විය හැකියි.

ඉන්පසු 17වන සහ 18වන සියවසේදී යුරෝපියන් එම රටට පැමිණෙන විට මී විශේෂ, බළලුන් මෙන්ම ඔවුන්ගේ ආහාරය සඳහා එළුවන්, ඌරන්, මුවන් වැනි සතුන්ද ගෙන ආවා. දහනවවන සියවසේදී මස් හා ලොම් ලබාගැනීමට පොසොම් නම් සතුන් සහ හාවන් වෙනත් රටවලින් ආනයනය කළා. නමුත් එම සතුන්ගෙන් පරිසරයට මොන තරම් හානියක් වෙයිද කියා ඔවුන් සිතුවේ නැහැ.

වර්ෂ 1860 වන විට හාවන්ගේ සංඛ්‍යාව පාලනයකින් තොරව වර්ධනය වීමට පටන්ගත් නිසා උන්ව මර්දනය කිරීමට ස්ටොට් නමැති මුගටි විශේෂයක් ගෙනාවා. කෙසේවෙතත් සිතු දේ නොම වෙයි නොසිතු දේම වෙයි යන්න යථාර්ථයක් කරමින් උන් හාවන් වෙනුවට අහිංසක දේශීය පක්ෂීන්ව ගොදුරු කරගත්තා. මේ නිසා හාවන්ගේ බෝ වීමට කිසිම බාධාවක් වුණේ නැහැ.

මේ වන විට කිවි පක්ෂීන්ගේ පැටවුන් දහදෙනෙකුගෙන් නවයක්ම වසරක් ගත වීමට පෙර එම ආක්‍රමණික සතුන්ගේ ගොදුරු බවට පත් වෙනවා කියා නවසීලන්තයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන් වෙනවා. එපමණක් නොව දේශීය සතුන් බොහොමයක්ද මුළුමනින්ම වඳ වී ගොස් තිබෙනවා. එම සතුන් අතරට කුරුලු විශේෂ 40කට වඩා වැඩි සංඛ්‍යාවකුත් ගෙබි විශේෂ තුනකුත් වවුල් විශේෂයකුත් බොහෝ කෘමී සතුන් මෙන්ම අඩුම තරමින් කටුසු විශේෂ තුනක්වත් ඊට ඇතුළත්. දේශීය සතුන් හා ශාක විශේෂ 5,819කින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වඳ වීමේ තර්ජනයට ලක් වී තිබෙනවා. ලෝකයේ ජෛව විවිධත්වයට වැඩිම තර්ජනයක් එල්ල වී තිබෙන රටවල් අතර එක් රටක් වන්නේ නවසීලන්තයයි.

සාර්ථක වෑයමක්

පරිසරයට හානිකර සත්ව හා ශාක විශේෂ රට තුළට ගෙන ඒම වැළැක්වීමට නවසීලන්තයේ බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඊට අමතරව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවද විශේෂයෙන්ම දූපත්වල සිටින ආක්‍රමණික සතුන්ව විනාශ කර දැමීමට පියවර ගෙන තිබෙනවා. දැන් එම දූපත් රක්ෂිත වනාන්තර ලෙස නම් කර තිබෙනවා.

ආක්‍රමණික සතුන් විනාශ කර දැමූ එක් දූපතක් වන්නේ ටිරිටිරි මාටාංයි නම් දූපතයි. එම ව්‍යාපෘතිය යටතේ 1993දී එහි සිටි මී පරපුර සම්පූර්ණයෙන්ම වඳ කර දමා දේශීය ශාක 2,80,000ක් පමණ රෝපණය කරනු ලැබුවා. එහි දේශීය කුරුලු විශේෂ කිහිපයක් වන සැඩල්බැක්, ටකාහි, කෝකාක, රයිෆල්මන් සහ ස්ටිච්බර්ඩ් වැනි කුරුල්ලන්ව එම වනාන්තරයේ දැන් දැකගත හැකියි. මෙම කුරුල්ලන් තම වාසභුමියේ නිදැල්ලේ සැරිසරන නිසා එහි සිරි නරඹන්න යන අයට උන්ව හොඳින් දැක බලාගැනීමට හැකියි.

මී වසංගතය තුරන් කිරීමේ වසර දෙකක ව්‍යාපෘතියෙන් පසු, 2003 සිට කැම්බල් දූපතේ දේශීය ගස් වැල් සශ්‍රීකව වැඩෙන අතර ජලාශ්‍රිත කුරුල්ලෝ නැවත තම වාස භුමිය කරා ඇදී එනවා. දුර්ලභ ගණයේ තාරා විශේෂයක්ද එම දූපතට හඳුන්වා දී තිබෙනවා.

මෑතකදී රැන්ගිටොටු සහ මොටුටාපු දූපත්වල සහ ඕක්ලන්ඩ්හි හවුරාකි බොක්ක ආශ්‍රිත ප්‍රදේශවල මහා පරිමාණයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් දියත් කළා. මෙම ව්‍යාපෘතියේ අරමුණ වුණේ පොහොටුකාවා වනාන්තරය සංරක්ෂණය කිරීම හා දේශීය සතුන්ව නැවතත් තම වාස භූමියට කැන්දාගෙන ඒමයි. එම ව්‍යාපෘතිය මගින් කැලෑ බළලුන්, හාවුන්, ස්ටොට් සහ මී විශේෂ තුරන් කිරීමට හැකි වුණා. ඉන් අනතුරුව අවුරුදු සියයකට ආසන්න කාලයක් පුරා දකින්න නොලැබුණු ගිරවුන් හා තවත් පක්ෂීන් මෙම වනයේ දැන් දැකගත හැකියි.

වඳ වී යෑමේ තර්ජනයට ලක් වී සිටින වනජීවීන්ව සුරැකීමට නවසීලන්තයේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග සලකා බැලීමෙන් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. එනම් අතීතයේ සිදු වූ වැරදි හදාගෙන අපගේ වන සම්පත රැකගැනීමට යමක් කළ හැකි බවයි. පරිසරයට හා වනජීවීන්ට ආදරය කරන සෑම කෙනෙකුටම “අහසත් පොළොවත් සෑදූ යෙහෝවා දෙවි” මේ පොළොවේ තිබෙන සෑම දෙයක්ම නැවත යථා තත්වයට ගෙනෙන බවට දී තිබෙන පොරොන්දුව දෙස බලා සිටිය හැකියි.—ගීතාවලිය 115:15; එළිදරව් 21:5.

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කිවි පැටවුන් දහදෙනෙකුගෙන් නවයක්ම වසරක් ගත වීමට පෙර වෙනත් සතුන්ගේ ගොදුරු බවට පත් වෙනවා

[26වන පිටුවේ කොටුව]

තිබෙන සම්පත්වලින් ප්‍රයෝජන ගනිමු

ලොව පුරා වඳ වී යෑමේ තර්ජනයට ලක් වී සිටින වනජීවීන්ගේ සංඛ්‍යාව ඉහළ යන අතර එයට පිළියමක් යෙදීමට, සම්පත් අවම වීම විශාල අභියෝගයක්. ඒ සඳහා පරිසරවේදීන් ගෙන තිබෙන එක් ක්‍රියාමාර්ගයක් වන්නේ වැඩි අවදානමක සිටින ජීවීන්ව ආරක්ෂා කරගැනීමට මුල් තැන දීමයි. එය ක්‍රියාත්මක කිරීමේදී මෙම කරුණු තුන සලකා බලනවා. (1) වඳ වී යන විශේෂයෙහි ඇති වටිනාකම. (2) පියවර ගැනීමෙන් ලැබිය හැකි සාර්ථකත්වය. (3) වැය වන මුදල. මෙම ක්‍රියාමාර්ගයට සියල්ලන්ම එකඟ නොවුණත් එම යෝජනාව ඉදිරිපත් කළ අය පවසන්නේ තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි හොඳම ආකාරය එය බවයි.

[26වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

නවසීලන්තය

හවුරාකී බොක්ක

ටිරිටිරි මාටාංයි දූපත

රැන්ගිටොටු සහ මොටුටාපු

කැම්බල් දූපත

[25වන පිටුවේ පින්තූරය]

දුඹුරු කිවි පක්ෂියා

[හිමිකම් විස්තර]

© S Sailer/​A Sailer/​age fotostock

[27වන පිටුවේ පින්තූරය]

ටිරිටිරි මාටාංයි දූපතේ සිටින ටකාහි පක්ෂියෙක්

[27වන පිටුවේ පින්තූරය]

කැම්බල් දූපත

[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Takahe: © FLPA/​Terry Whittaker/​age fotostock; Campbell Island: © Frans Lanting/​CORBIS