Skip to content

පටුනට යන්න

තාරකා විද්‍යාවේ පුරෝගාමියෝ

තාරකා විද්‍යාවේ පුරෝගාමියෝ

තාරකා විද්‍යාවේ පුරෝගාමියෝ

ඈත අතීතයේ සිටම මිනිසා හිරු, සඳු, තරු දෙස බලා විස්මයට පත් වුණා. නමුත් ඒවා අධ්‍යයනය කිරීමෙන් ඔවුන්ට දින, මාස සහ අවුරුදු ගණනය කිරීමට හැකියාවක් ලැබුණා.

ආකාශ වස්තු අධ්‍යයනය කළ අය අතරින් අරාබි ජාතිකයන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. මැද පෙරදිග දේශවල විද්‍යාව අතින් දියුණුවක් ලැබුවේ නවවන සියවසේදීයි. ඒ කාලයේදී තාරකා විද්‍යාවේ පුරෝගාමීන් ලෙස සැලකුවේ අරාබි ජාතිකයන්වයි. ඔවුන් ලැබූ දියුණුව තාරකා විද්‍යාවේ උන්නතියට බොහෝ සේ දායක වුණා. ඒ කෙසේද කියා දැන් අපි සලකා බලමු.

තාරකා විද්‍යාවේ පුරෝගාමීන්

හත්වන සහ අටවන සියවස්වලදී ඉස්ලාම් ධර්මය උතුරු අප්‍රිකාව, ස්පාඤ්ඤය සහ නැඟෙනහිරෙන් පිහිටි ඇෆ්ගනිස්ථානය දක්වා පැතිර ගියා. මේ නිසා පර්සියාව සහ ග්‍රීසිය විසින් සොයාගත් විද්‍යාත්මක තොරතුරුවලින් ප්‍රයෝජන ගැනීමට අරාබි විද්වතුන්ට හැකි වුණා.

නවවන සියවසේදී ග්‍රීක තාරකා විද්‍යාඥයෙක් වූ ටොලමි සොයාගත් තොරතුරු සහ තවත් වටිනා විද්‍යාත්මක තොරතුරු රැසක් අරාබි ජාතිකයන් තම මව්බසට පරිවර්තනය කළා. * අබ්බාසිඩ්ගේ පාලනය අත්ලාන්තික් සාගරයේ සීමාවේ පිහිටි රටවල සිට ඇෆ්ගනිස්ථානය දක්වාම ව්‍යාප්ත වුණා. ඒ නිසා ගණිතය, තාරකා විද්‍යාව හා අනිකුත් විෂයන් පිළිබඳව ඉන්දියානුවන් සොයාගෙන තිබූ දැනුම් සම්භාරයෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණා.

මුස්ලිම් ජාතිකයන් තාරකා විද්‍යාව පිළිබඳව දැනුම රැස් කිරීමට මහත් උනන්දුවක් දැක්වුවා. ඊට එක් හේතුවක් වුණේ ඔවුන්ගේ ආගමයි. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වුණේ තමන් යාච්ඤා කළ යුත්තේ මක්කම දෙසට මුහුණ ලා කියායි. ඒ වගේම ඔවුන් සිටින ස්ථානයේ සිට මක්කම පිහිටි දිශාව පෙන්වා දීමට තාරකා විද්‍යාඥයන්ට හැකියි කියාත් ඔවුන් විශ්වාස කළා. දහතුන්වන සියවසේදී ඉස්ලාම් භක්තිකයන්ට යාච්ඤා කළ යුතු වෙලාව නිශ්චිතව තීරණය කිරීම සඳහා මුස්ලිම් පල්ලිවලින් තාරකා විද්‍යාඥයන්ගේ සහාය ලබාගත්තා. ඔවුන් ලබා දුන් මඟ පෙන්වීම්වලට අනුව මුස්ලිම්වරුන්ගේ ආගමික උත්සව හා වත්පිළිවෙත් පැවැත්විය යුතු කාල වකවානු තීරණය කළා. උදාහරණයකට රාමසාන් මාසයේදී නිරාහාරව සිටිය යුතු දින පෙන්වා දුන්නේ ඔවුනුයි. ඊට අමතරව මක්කමට යෑමට ගත වන කාලය සහ හොඳම ගමන් මාර්ගය පෙන්වා දුන්නෙත් ඔවුනුයි.

රජයෙන් ආධාර

නවවන සියවසේ මුල්භාගයේදී තාරකා විද්‍යාව බැග්ඩෑඩ් නුවර සිටි විද්වතුන්ගේ අධ්‍යාපනයේ කොටසක් වුණා. එහි පාලකයා වූ අල් මාමුන්ගේ පාලන කාලයේදී බැග්ඩෑඩ් නුවර සහ පසුව ඩමස්කස් නගරයේත් ආකාශ වස්තු නිරීක්ෂණය කිරීමේ නිරීක්ෂණාගාරයක් පිහිටෙවුවා. ඔහු යටතේ සේවය කළ භූ විද්‍යාඥයන් සහ ගණිතඥයන් විසින් පර්සියාවේ, ග්‍රීසියේ සහ ඉන්දියාවේ තාරකා විද්‍යාඥයන් සොයාගෙන තිබූ තොරතුරු එකිනෙකට සන්සන්දනය කර බැලුවා. වෙනත් ස්ථානවලත් ඔහු නිරීක්ෂණාගාර ගණනාවක් පිහිටෙවුවා. *

එම නිරීක්ෂණාගාරවල සේවය කළ විද්වතුන් ලබාගෙන තිබූ දැනුම ඒ කාලයට අනුව විශිෂ්ටයි. උදාහරණයකට 1031දී අබු රෙහාන් අල් බෙරූනි විසින් පැවසුවේ ග්‍රහලෝක ගමන් කරන්නේ වක්‍රාකාරව නොව ඉලිප්සාකාර ගමන් මාර්ගයක කියායි.

පෘථිවියේ පරිධිය

ඉස්ලාම් ධර්මය ව්‍යාප්ත වන විට සිතියම් නිර්මාණය කිරීම සහ මුහුදු ගමන් මාර්ග පිළිබඳව ඔවුන්ට තිබූ උනන්දුව වැඩි වුණා. සිතියම් නිර්මාණ ශිල්පීන් නිවැරදිව සිතියම් නිර්මාණය කිරීමට මහත් වෑයමක් දැරූ අතර බොහෝදුරට එය සාර්ථක වුණා. ලෝක සිතියමේ නිවැරදිව අක්ෂාංශ ලකුණු කිරීම සඳහා අල්මාමුන් පියවර ගත්තේ මේ ආකාරයටයි. ඔහු කණ්ඩායම් දෙකක් සූදානම් කර ඔවුන්ට අවශ්‍ය උපාංග ලබා දුන්නා. පසුව එම කණ්ඩායම් දෙක උත්තර ධෘවයේ ඉහළින් පිහිටි ධෘව තරුවේ සිට අංශක එකක වෙනසක් ලැබෙන තුරු දෙපැත්තට ගමන් කිරීමට සැලැස්සුවා. ඔවුන් පටන්ගත් ස්ථානයේ සිට එම අංශක එක දක්වා තිබූ දුර, 360න් වැඩි කළ විට ලැබෙන අගය පෘථිවියේ පරිධිය ලෙස ගණනය කළා. ඔවුන් ලබාගත් අගයට අනුව ධෘවීය පරිධිය වූයේ කිලෝමීටර් 37,369යි. නියම අගය වූ කිලෝමීටර් 40,008ට එය ඉතාමත් ආසන්න අගයක්.

මැදපෙරදිග නිරීක්ෂණාගාරවල තරු මාලිමා, වෘත්තපාද, ෂෂ්ටක, හිරු තැටි වැනි සංකීර්ණ උපකරණ තිබුණා. ඒ වගේම ආකාශ වස්තුවල ගමන් මාර්ග අධ්‍යයනය කිරීමේ උපකරණත් එහි තිබුණා. මෙම උපකරණවලින් සමහර ඒවා ඉතා විශාලයි. එම උපකරණ නිර්මාණය කළ අය පැවසුවේ උපකරණ විශාල වන තරමට ඒවායින් කරන ගවේෂණවල නිරවද්‍යතාව ඉහළ බවයි.

දැනුම් සම්භාරය

අරාබි ජාතිකයන් තාරකා විද්‍යාව පිළිබඳව අත් කරගෙන තිබූ දැනුම විශිෂ්ටයි. ඔවුන් තාරකා මණ්ඩල හඳුනාගෙන ඒවා ගැන තොරතුරු සැපයූ අතර තරු නම් කළා. වඩාත් නිවැරදි දිනදර්ශන නිර්මාණය කළා. ආකාශ වස්තුවල ගමන් මාර්ග ගැන තිබූ වගු නිවැරදි කළා. දවසේ ඕනෑම වේලාවක හිරු, සඳු සහ අපට පෙනෙන ග්‍රහලෝක පහක දිශා හඳුනාගැනීමට ඔවුන්ට හැකි වුණා. එම තොරතුරු මුහුදු ගමන්වලට මහඟු අත්වැලක්. ආකාශ වස්තු නිරීක්ෂණය කිරීමෙන් නිවැරදිව වෙලාව පවසන්නත් හැකි වුණා.

අරාබි ජාතිකයන් ආකාශ වස්තු පිළිබඳව සොයාගෙන තිබූ සිද්ධාන්ත මගින්, ආකාශ වස්තුවල පිහිටීම ගැන ටොලමි විසින් නිර්මාණය කළ ආකෘතියේ යම් නිවැරදි කිරීම් කළා. නමුත් සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ පිහිටා තිබෙන්නේ පෘථිවිය නොව සූර්යායි යන කාරණය තේරුම්ගන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. ඒ කෙසේවෙතත් ඔවුන් තරුවල ගමන් මඟ ගැන සෑදූ වගුවල නිරවද්‍යතාව ඉතා විශිෂ්ටයි. තාරකා විද්‍යාව පිළිබඳව ඔවුන් සොයාගත් දේ මුළු ලොවටම මහඟු දායාදයක්!

[පාදසටහන්වල]

^ 6 ඡේ. උත්තර ධෘවයේ සිටින පුද්ගලයෙක් දකුණු දෙසට ගමන් කරත්ම උත්තර ධෘවයට ඉහළින් පිහිටි ධෘව තාරකාව ටිකෙන් ටික පෘථිවිය දෙසට ළං වෙන බවක් පෙනුණා. එසේ වන්නේ පෘථිවිය ගෝලාකාර නිසයි කියා ග්‍රීක ජාතිකයන් නිගමනය කළා.

^ 9 ඡේ. තාරකා විද්‍යාව පිළිබඳව උනන්දුව දැක්වූ පාලකයන් නිරීක්ෂණාගාර සෑදුවා.

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඉස්ලාම් ධර්මය පැතිර තිබූ දේශවලින් ලැබුණු ආකාශ වස්තුවල ගමන් මාර්ග පිළිබඳ තොරතුරු තාරකා විද්‍යාඥයන් වාර්තා කළා

[19වන පිටුවේ කොටුව/පින්තූර]

අතීතයේ විශිෂ්ට තාක්ෂණය

“දූරේක්ෂය සොයාගැනීමට පෙර තාරකා විද්‍යාවට මහඟු මෙහෙවරක් ඉටු කළ උපකරණය වූයේ තරු මාලිමාවයි.” මධ්‍යතන යුගයේදී මැදපෙරදිග සිටි විද්‍යාඥයන්, කාලය නිර්ණය කිරීමටත් ආකාශ වස්තුවල පිහිටීම සොයා බැලීමටත් එම උපකරණය යොදාගත්තා.

තරු මාලිමාව සාදා තිබුණේ වානේ තැටියකයි. එම තැටියේ තරුවල පිහිටීම ලකුණු කර තිබුණා. එම තැටිය සවි කර තිබූ තැටියේ දාරයේ අංශක හා සමහර ඒවායේ පැයද සඳහන් වුණා. පින්තූරයේ පෙනෙන ලෙස එහි ඔරලෝසුවක මෙන් කටුද තිබුණා. එම කටුව තාරකාව දෙසට ස්ථානගත කරන විට තරු මාලිමාව ආධාරයෙන් තරුවේ පිහිටීම නිශ්චිතවම සොයාගත හැකි වුණා.

විශිෂ්ට ලෙස සාදා තිබූ තරු මාලිමාවක් භාවිත කිරීමෙන් තරු හඳුනාගැනීමටත්, හිරු නඟින හා බසින වෙලාව සොයාගැනීමටත්, මක්කම පිහිටි දිශාව දැනගැනීමටත්, ඉඩම්වල ප්‍රමාණයන් මැනගැනීමටත්, යම් ස්ථානවල උස මැනීමටත් මුහුදු මාර්ග සොයාගැනීමටත් හැකි වුණා. එය ඇත්තෙන්ම එවකට තිබූ සුපිරි පරිගණකයක් කියා පැවසිය හැකියි.

[පින්තූර]

13වන සියවසේදී භාවිත කළ තරු මාලිමාවක්

14වන සියවසේදී භාවිත කළ තරු මාලිමාවක වෘත්තපාදයක්

[හිමිකම් විස්තර]

Astrolabe: Erich Lessing/​Art Resource, NY; astrolabe quadrant: © New York Public Library/​Photo Researchers, Inc.

[16වන පිටුවේ පින්තූරය]

අරාබි ජාතික තාරකා විද්‍යාඥයන් භාවිත කළ උපාංග 16වන සියවසේදී ඔටෝමන් පාලන සමයේ සිටි තාරකා විද්‍යාඥයන් භාවිත කළ අයුරු

[18වන පිටුවේ පින්තූරය]

ආකාශ වස්තුවල පිහිටීම පෙන්නුම් කරන ලෝක ගෝලය, 1285

[18වන පිටුවේ පින්තූරය]

තාරකා විද්‍යාඥයෙක් වූ ඇබ්ඩ් ආර් රහමන් අල් සුෆි විසින් ක්‍රිස්තු වර්ෂ 965දී පමණ තාරකා මණ්ඩල පිළිබඳව ලියූ පොතේ පිටු

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pages 16 and 17: Art Resource, NY

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Manuscript: By permission of the British Library; globe: © The Bridgeman Art Library