Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

දුක් වේදනා

දුක් වේදනා

සමහරු හිතන්නේ මිනිස්සුන්ට දුක් වේදනා ඇති කරන්නේ දෙවියන් කියලයි. එහෙමත් නැත්නම් අපි විඳින වේදනා ගැන දෙවියන්ට ගාණක් නැහැ කියලයි. ඒත් බයිබලයේ එහෙම කියන්නේ නැහැ. බයිබලයේ සඳහන් වෙන දේ දැනගත්තොත් ඔබ පුදුම වෙයි.

දුක් වේදනා ඇති කරන්නේ දෙවියන්ද?

‘දෙවි කිසි දිනක දුෂ්ට ලෙස හැසිරෙන්නේ නැහැ.’යෝබ් 34:12.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

හැම දෙයක්ම සිද්ධ වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නිසා දුක් වේදනා ඇති කරන්නෙත් දෙවියන් කියලා සමහරුන් විශ්වාස කරනවා. උදාහරණයකට, ස්වභාවික විපතක් ඇති වුණොත් ඒක නරක මිනිස්සුන්ට දෙවියන් දෙන දඬුවමක් කියලා ඔවුන් කියනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දෙවියන් දුක් වේදනා ඇති කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නවලට මුහුණ දෙද්දී “දෙවි මාව වරදකට හසු කරගන්න උත්සාහ කරනවා” කියලා කියන්න එපා කියලා බයිබලයේ කියනවා. මොකද “නපුරු දේ කරන්න දෙවියන්ව පෙලඹවීමට කාටවත් බැරිය. ඔහුද නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 1:13) ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවියන් කවදාවත් ප්‍රශ්න ඇති කරලා මිනිස්සුන්ට දුක් වේදනා ඇති කරන්නේ නැහැ කියලයි. එහෙම දුක් වේදනා ඇති කරන්න නම් දෙවියන් දුෂ්ට කෙනෙක් වෙන්න ඕන. ඒත් බයිබලයේ පැහැදිලිවම කියන්නේ “දෙවි කිසි දිනක දුෂ්ට ලෙස හැසිරෙන්නේ නැහැ” කියලයි.—යෝබ් 34:12.

දෙවියන් දුක් වේදනා ඇති කරන්නේ නැත්නම් මිනිස්සු දුක් විඳින්නේ ඇයි? ගොඩක් වෙලාවට නරක මිනිස්සු නිසා අනිත් අයට දුක් විඳින්න වෙනවා. (දේශනාකාරයා 8:9) බලාපොරොත්තු නොවූ කනගාටුදායක දේවල් නිසාත් දුකක් ඇති වෙන්න පුළුවන්. (දේශනාකාරයා 9:11) ඒ හැම දේකටම වඩා මිනිස්සු දුක් විඳින්නේ “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව” තියෙන නිසයි කියලා බයිබලයේ කියනවා. (1 යොහන් 5:19) ඒ දුෂ්ටයා තමයි “මේ ලෝකයේ පාලකයා” කියලා හඳුන්වන සාතන් නමැති යක්ෂයා. (යොහන් 12:31) මිනිස්සුන්ට දුක් වේදනා ඇති කරන්නේ ඔහුයි. දෙවියන් නෙමෙයි.

අපි විඳින වේදනා ගැන දෙවියන්ට ගාණක් නැද්ද?

“ඔවුන් වින්ද සෑම දුකක්ම ඔහුටත් දැනුණි.”යෙසායා 63:9.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

මිනිස්සු විඳින වේදනා ගැන දෙවියන්ට කිසි ගාණක් නැහැ කියලා සමහරු කියනවා. ලේඛකයෙක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “අපි විඳින දුක් වේදනාවලට දෙවියන් මුකුත් කරලා නැහැ.” දෙවි කෙනෙක් හිටියත් එයා “අපි ගැන දයාවක් අනුකම්පාවක් දක්වන කෙනෙක් වෙන්න බැහැ.”

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දෙවියන්ට අපේ දුක දැනෙනවා. ඒ වගේම දුක් වේදනාවලට නිමාවක් දෙවියන් ළඟදීම ගෙනෙනවා කියලත් බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ ගැන තේරුම්ගන්න උදව් වෙන කාරණා 3ක් දැන් අපි බලමු.

අපි විඳින දුක් වේදනා ගැන දෙවියන් හොඳින් දන්නවා. අතීතයේ ඉඳන් මේ වෙනකම්ම මිනිස්සුන්ගේ ඇස්වලින් ගලපු හැම කඳුළක්ම යෙහෝවා * දෙවියන් දැක්කා. (ගීතාවලිය 11:4; 56:8) උදාහරණයකට අතීතයේදී ඔහුගේ සෙනඟ දුකින් මිරිකිලා හිටිය අවස්ථාවලදී “මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි” කියලා විතරක් නෙමෙයි “ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි” කියලත් දෙවියන් කිව්වා. (නික්මයාම 3:7) අපි විඳින වේදනා ගැන සමහර වෙලාවට අනිත් අය දන්නෙ නැහැ. එහෙමත් නැත්නම් ඒ ගැන හැම දෙයක්ම එයාලාට තේරෙන්නේ නැහැ. ඒත් දෙවියන් ඒ හැම දෙයක් ගැනම දන්නවා. ඒක දැනගෙන ඉන්න එකෙන් ගොඩක් අය සහනයක් ලබනවා.—ගීතාවලිය 31:7; හිතෝපදේශ 14:10.

අපේ දුක දෙවියන්ට දැනෙනවා. යෙහෝවා දෙවියන් අපි විඳින දුක් වේදනා ගැන දන්නවා විතරක් නෙමෙයි දෙවියන්ටත් ඒ වේදනාව දැනෙනවා. උදාහරණයකට, අතීතයේ දෙවියන්ට විශ්වාසවන්තව හිටපු අය වේදනා විඳිද්දී ‘ඔවුන් වින්ද සෑම දුකක්ම දෙවියන්ටත් දැනුණා’ කියලා බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 63:9) ඒ විතරක් නෙමෙයි බයිබලයේ කියන්නේ දෙවියන් “ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙක්” කියලයි. (යාකොබ් 5:11) මිනිසුන්ට වඩා කොච්චර උසස් වුණත් අපේ වේදනාව දෙවියන්ටත් දැනෙන්නේ ඒ නිසයි. ඒ දුක් පීඩා දරාගන්න දෙවියන් අපිට ශක්තියත් දෙනවා.—ෆිලිප්පි 4:12, 13.

දෙවියන් දුක් වේදනා නැති කරනවා. දෙවියන් ඒ දේ කරන්නේ දේවරාජ්‍යය මගින් කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ කාලයේදී මිනිසුන්ට ලැබෙන ආශීර්වාද ගැන බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.” (එළිදරව් 21:4) ඒත් මිය ගිහින් ඉන්න අයට මොනවා වෙයිද? දෙවියන් ඒ අයවත් මරණයෙන් නැවත නැඟිටුවනවා. ඒ නිසා ඒ අයටත් දුක වේදනාව නැති ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබෙනවා. (යොහන් 5:28, 29) ඒ කාලයේදී අමිහිරි මතකයන් නිසාවත් මිනිස්සුන්ට දුකක් දැනෙන්නේ නැහැ. මොකද “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත” කියලා දෙවියන් පොරොන්දු වෙනවා.—යෙසායා 65:17. *

^ 13 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

^ 15 ඡේ. දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියලත් දෙවියන් ඒවාට අවසානයක් ගෙනෙන්නේ කොහොමද කියලත් දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 8වෙනි සහ 11වෙනි පරිච්ඡේද බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.