Skip to content

පටුනට යන්න

විශ්වාස කිරීමට යෝග්‍යම හේතුව

විශ්වාස කිරීමට යෝග්‍යම හේතුව

විශ්වාස කිරීමට යෝග්‍යම හේතුව

යෞවනයන් පල්ලිය අත්හැර යෑමට හේතු 31ක් නමැති කොරියානු පොතෙහි පවසන්නේ, තමන්ගේ ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර ලබාගන්න නොහැකි වන නිසා බොහෝදෙනෙක් පල්ලි යෑම නතර කරන බවයි. (එම පොත සිංහලෙන් නැත.) උදාහරණයක් වශයෙන්, ඔවුන් මෙසේ අසනවා. ‘දෙවිව විශ්වාස කරන අය දුක් විඳින්නේ ඇයි?’ ‘ඉගැන්වීම්වලින් වැඩි හරියක් පැටලිලි සහිතව මෙන්ම එකිනෙකට පටහැනිව තිබෙද්දීත් මොකටද අපි පල්ලියෙන් උගන්වන හැම දෙයක්ම භාරගන්නේ?’

තම පූජකයන් දුන් උත්තරවලින් අධෛර්යයට පත් වූ බොහෝදෙනෙකුගේ නිගමනය වුණේ බයිබලයේ උත්තර නැති බවයි. තමන්ගේ පෞද්ගලික මතය මත පමණක් පදනම්ව පූජකයෙකු පැහැදිලි කිරීමක් කරන විට බොහෝවිට ප්‍රතිඵලය වන්නේ දෙවි ගැන හා බයිබලය ගැන වරදවා තේරුම්ගැනීම සහ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර දැමීමයි.

දකුණු අප්‍රිකාවේ රෙපරමාදු භක්තිකයෙකු ලෙස හැදී වැඩුණු ඒබල්ගේ අද්දැකීම වූයේ එයයි. ඔහු මෙසේ මතකයට නඟයි. “මැරෙන හැමදෙනාවම දෙවි ‘ගන්නවා’ කියලා පල්ලියෙන් උගන්වනවා. ඒත් ප්‍රේමණීය දෙවි කෙනෙක් දරුවන්ගෙන් දෙමාපියන්ව ඈත් කරලා තමන් ළඟට ‘ගන්නේ’ ඇයි කියලා මට තේරුම්ගන්න බැරි වුණා. අපි හැදී වැඩුණු අප්‍රිකාවේ පිටිසරබද පළාතේ කිකිළියකගේ පුංචි පැටව් ටිකක් ලොකු වෙනකම් කිකිළිව මරන්නේ නැහැ. එළදෙනක් පැටියෙක් දාන්න ඉන්න බව අපිට දැනගන්න ලැබුණහම පැටියා ඉපදිලා කිරි වරනකම් එළදෙනව මරන්නේ නැහැ. ප්‍රේමණීය දෙවි කෙනෙක් මිනිස්සුන්ට ඒ වගේ සැලකිල්ලක් දැක්වුවේ නැත්තේ ඇයි කියලා තේරුම්ගන්න මට අමාරු වුණා.”

කැනේඩියානු ජාතික ආරාම්ටත් එවැනිම සැකයන් පහළ වෙලා තිබුණා. “මට අවුරුදු 13ක් වෙද්දී මගේ තාත්තා මැරුණා. තාත්තා මැරුණහම ස්වර්ගයේ ඉන්න දෙවිට තවත් කිට්ටු වෙන්න පුළුවන් වෙන නිසා ඔහුගේ මරණය දෙවිගේ කැමැත්තට අනුව සිදු වුණ බවයි භූමදාන කටයුතු සිදු වෙද්දී ප්‍රමුඛ පෙළේ පූජකයෙක් පැහැදිලි කළේ.” ‘ධර්මිෂ්ඨ අයට ප්‍රේම කරන නිසා දෙවි හොඳ අයව ගන්නවා’ කියාත් ඔහු පැවසුවා. “දෙවි කොහොමද ඒ තරම්ම ආත්මාර්ථකාමි වෙන්නේ කියලා මට නං තේරුණේ නැහැ.”

කල් යද්දී, ඒබල් සහ ආරාම් යන දෙදෙනාටම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වුණු අතර ඔවුන්ට බයිබලය අධ්‍යයනය කරන්න ප්‍රස්තාව ලැබුණා. ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තරද ලැබුණා. ඔවුන් දෙවි කෙරෙහි ප්‍රේමයත්, ඔහු කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලකුත් වර්ධනය කරගත්තා. පසුව ඔවුන් යෙහෝවාට තම ජීවිත කැප කර ඔහුගේ පක්ෂපාත සේවකයන් බවට පත් වුණා.

නිවැරදි දැනුම දෙවි කෙරෙහි විශ්වාසයට වැදගත් සාධකයක්

මෙම අද්දැකීම්වලින් අපිට කුමක් ඉගෙනගත හැකිද? දෙවි කෙරෙහි විශ්වාසය කිරීම ගැන සලකා බලන කල, ඒ සඳහා නිවැරදි බයිබල් දැනුමක් ලබාගැනීම අත්‍යවශ්‍යයි කියා ඒවා අපට පවසනවා. පුරාණ ෆිලිප්පි නගරයේ ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් පැවසුවේ මම “ඔබ උදෙසා නොකඩවා කරන මාගේ යාච්ඤාව මෙයයි. නිවැරදි දැනුම හා පූර්ණ වැටහීමත් සමඟම ඔබේ ප්‍රේමය තව තවත් වැඩි වන ලෙස” යාච්ඤා කරමි කියායි. (ෆිලිප්පි 1:9, NW) පාවුල් මෙහිදී දෙවිට හා සෙසු ඇදහිලිවන්තයන්ට දක්වන ප්‍රේමය, දෙවි පිළිබඳ නිවැරදි දැනුම හා ඔහුගේ කැමැත්ත පිළිබඳ වැටහීමක් ලබාගැනීමට සම්බන්ධ කරයි.

මෙය සාධාරණ දෙයක් වන්නේ, කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබීමට නම්, මුලින්ම ඔහු පිළිබඳව පූර්ණ මෙන්ම මනා දැනුමක් ලබාගැනීම හොඳම දෙය වන නිසයි. ඇත්තෙන්ම ඒ දැනුම නිවැරදි මෙන්ම පූර්ණ වන තරමට හොඳය. එලෙසම, දෙවි කෙරෙහි විශ්වාසය තැබීමට ඔබ පෙලඹීම සඳහාද නිවැරදි දැනුම අත්‍යවශ්‍යයි. “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ සහතික වූ අපේක්ෂාවය; නොපෙනෙන නමුත් සැබෑ වූ දේවල් පිළිබඳ පැහැදිලි සාක්ෂියය” කියා පාවුල් පැවසුවා. (හෙබ්‍රෙව් 11:1, NW) බයිබලය පිළිබඳව නිවැරදි දැනුමක් නැතුව දෙවි කෙරෙහි තබන විශ්වාසය කාඩ් කුට්ටමකින් හැදුව ගෙයක් වගෙයි. මුළු එකම වට්ටන්න නම් පොඩ්ඩක් පිඹින්න විතරයි තියෙන්නේ.

මිනිස්සු මැරෙන්නේ මන්දැයි යන්න පිළිබඳව බොහෝ කලක් පුරා ඒබල්ට හා ආරාම්ට තිබුණ ප්‍රශ්නය වගේ ප්‍රශ්නවලට උත්තර සොයාගැනීම සඳහා බයිබලය අධ්‍යයනය කිරීම ඔබට උපකාරවත් විය හැක. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය” කියා බයිබලය පැහැදිලි කරයි. (රෝම 5:12, NW) මිනිසුන් මහලු වී මිය යන්නේ දෙවි තමන් ළඟ සිටීමට ඔවුන්ව ගන්නා නිසා නොව ආදම් පව් කළ නිසාය. (උත්පත්ති 2:16, 17; 3:6, 17-19) එපමණක්ද නොව යෙහෝවා දෙවි ඉදිරිපත් කරන සැබෑ බලාපොරොත්තුවද බයිබලයේ හෙළි කරයි. තම පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔහු පව්කාර මිනිස්වර්ගයාට නැවත නැඟිටීමක් පිළිබඳ බලාපොරොත්තුව සපයයි.—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.

නැවත නැඟිටීම පිළිබඳ සත්‍යය අවබෝධ කරගැනීමට අපට උපකාර කිරීම සඳහා යේසුස් විසින් යළි ජීවත් කරවනු ලැබූ පුද්ගලයන්ගේ ආදර්ශ පිළිබඳ වාර්තා කීපයක් බයිබලයේ අඩංගුයි. (ලූක් 7:11-17; 8:40-56; යොහන් 11:17-45) ඔබ මෙම බයිබල් වාර්තා කියවන විට නැවත නැඟිටුණු අයගේ මිත්‍රයන් හා පවුල් සාමාජිකයන් අද්දැක්ක ප්‍රීති ප්‍රමෝදය ගැන සලකා බලන්න. තවද ඔවුන් දෙවිව පැසසීමට හා යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබීමට පෙලඹුණු අයුරුද සලකන්න.

දෙවි හා සිය අරමුණු පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමෙන් අද දින ජනයාටද එවැනිම බලපෑමක් ඇති විය හැකියි. වැදගත් ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර ලබාගත නොහැකි වීම නිසා බොහෝදෙනෙක් කලක් ව්‍යාකූලව, පීඩිතව හා පැකිලී සිටියා. එහෙත් ඔවුන් බයිබලය අධ්‍යයනය කළ විට ඒවාට උත්තර ලැබුණු අතර එමගින් ඔවුන්ගේ මුළු ජීවිතයම වෙනස් වුණා.

දෙවිට සේවය කිරීම සඳහා තිබෙන මූලිකම හේතුව ඔහුට ඇති ප්‍රේමයයි

දෙවි කෙරෙහි විශ්වාසයක් ගොඩනඟා ගැනීමට නිවැරදි දැනුම අත්‍යවශ්‍ය වුවත් ඔහුට කීකරු වීමට හා සේවය කිරීමට කෙනෙකුව පෙලඹවීම සඳහා ඊටත් වඩා වැඩි දෙයක් අවශ්‍යයි. දෙවිගෙන් ලැබී තිබෙන උතුම්ම ආඥාව කුමක්ද කියා ඇසූ විට යේසුස් මෙසේ පැවසුවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.” (මාක් 12:30, NW) යේසුස් සඳහන් කළ පරිදි කෙනෙක් දෙවිට ප්‍රේම කරනවා නම් ඔහුට කීකරු වීමට හා සේවය කිරීමට ඔහු හුඟක් කැමති වේවි. ඔබත් එසේමද?

වසර කීපයක් මිෂනාරිවරියක ලෙස කොරියාවේ සේවය කර තිබෙන රේචල් ඇගේ ඇදහිල්ලට හේතුව දක්වන්නේ මෙසේයි. “යෙහෝවා, ඔහුගේ මැවිලි කෙරෙහි පෙන්වන ත්‍යාගශීලීවන්තභාවය ගැනත්, ඔහුගේ සෙනඟ සමඟ ක්‍රියා කරන විට ඔහු ඔවුන්ට සමාව දෙන ආකාරය ගැනත්, ඔහුට ඕනෑ කරන දේ අපට දැනගන්න සැලැස්වීමෙන් අපම ප්‍රයෝජන ලබනවා දැකීමට ඇති ඔහුගේ ආශාව ගැනත් මම හිතනවා. මේ හැම දේකින්ම දෙවි කෙරෙහි වූ මගේ ප්‍රේමය වැඩි වෙනවා. ඒ ප්‍රේමය නිසා ඔහුට සේවය කරන්න මම පෙලඹෙනවා.”

ජර්මනියේ වෙසෙන වැන්දඹුවක් වන මාර්තා වසර 48ක් පුරා යෙහෝවාට සේවය කර තිබෙනවා. ඇය මෙසේ පවසයි. “ඇයි මම යෙහෝවාට සේවය කරන්නේ? මම ඔහුට ප්‍රේම කරන නිසයි. හැම හවසකම මම යෙහෝවාට යාච්ඤා කරලා කියනවා විශේෂයෙන්ම මිදීමේ මිලය ඇතුළු අනිත් හැම ආශීර්වාදයක්ම මම මොන තරම් අගය කරනවාද කියලා.”

ඇත්තෙන්ම, දෙවි කෙරෙහි ඇති ප්‍රේමය නිසා හදවතින්ම ඔහුට සේවය කිරීමට අපි පෙලඹෙනවා. එහෙත් කෙනෙක් එවැනි ප්‍රේමයක් ඇති කරගන්නේ කොහොමද? දෙවි කෙරෙහි ප්‍රේමය වර්ධනය කරන ප්‍රබලතම උත්තේජකය වන්නේ ඔහු අපට පෙන්වා තිබෙන ප්‍රේමයට ගැඹුරු කෘතඥතාවක් දැක්වීමයි. බයිබලයෙන් ලැබෙන මෙම හද උණුසුම් කරවන සිහිගැන්වීම සලකා බලන්න. “ප්‍රේම නොකරන්නා දෙවිව හඳුනාගෙන නැත. මන්ද දෙවි ප්‍රේමයය. දෙවිගේ ප්‍රේමය අප කෙරෙහි ප්‍රකාශ වූයේ, අප ඔහුගේ ඒකජාතක පුත්‍රයා මාර්ගයෙන් ජීවනය ලබන පිණිස දෙවි ඔහුව ලෝකයට එවූ කාරණයෙන්ය. එම ප්‍රේමයෙන් අදහස් වන්නේ, අප දෙවිට ප්‍රේම කළ බව නොව, නමුත් ඔහු අපට ප්‍රේම කර අපේ පාප උදෙසා සමඟි කිරීමේ පූජාවක් ලෙස තමාගේ පුත්‍රයාව එවූ බවය.”—1 යොහන් 4:8-10, NW.

මේ ප්‍රේමය කොතරම් උතුම්ද කියා ඔබට තේරෙනවාද? හිතන්න, ඔබ වේගයෙන් ගලා බසින දිය පාරකට හසු වී ගහගෙන යද්දී මිනිසෙක් තම ජීවිතය පරදුවට තබා ඔබව බේරුවා කියලා. ඔබ ඔහුව අමතක කරයිද නැත්නම් ඔහුට අනේක වාරයක් ස්තුති කරයිද? ඔහු වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමට ඔබ කැමති නොවේවිද? දෙවි තම පුත් යේසුස් ක්‍රිස්තුස්ව මිදීමේ මිලයක් වශයෙන් පූජා කිරීමෙන් පෙන්වූ ප්‍රේමය වෙන කිසිවක් හා සැසඳිය නොහැකි උතුම් ප්‍රේමයක්. (යොහන් 3:16; රෝම 8:38, 39) දෙවිගේ ප්‍රේමය සිතට තදින් කාවැදුණු විට ඔහුට මුළු සිතින්ම ප්‍රේම කරන්නත්, සේවය කරන්නත් ඔබ පෙලඹේවි.

දැන් හා අනාගතයේදී ආශීර්වාද

දෙවිගේ කැමැත්ත කිරීමට මූලික හේතුව දෙවි කෙරෙහි වූ අපගේ ප්‍රේමය වුවත්, ඔහුට සේවය කරන්නන්ට ඔහු ආශීර්වාද කරන බව දැන සිටීම සිතේ සතුට ඇති කරවන්නක්. ප්‍රේරිත පාවුල් මෙසේ ගෙනහැර දක්වයි. “ඇදහිල්ල නැතිව කිසිසේත් ඔහුව සතුටු කළ නොහැක. මන්ද, දෙවි වෙත ළඟා වන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය.”—හෙබ්‍රෙව් 11:6, NW.

දෙවිට ප්‍රේම කරන හා කීකරු වන අය ඇත්තෙන්ම ඔහුගෙන් ආශීර්වාද ලබනවා. බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝදෙනෙක් සුවදායක සෞඛ්‍යයක් භුක්ති විඳිනවා. (හිතෝපදේශ 23:20, 21; 2 කොරින්ති 7:1) අවංකකම හා කඩිසරකම හා සම්බන්ධ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න අයව සාමාන්‍යයෙන් සේව්‍යයන් විශ්වාස කරන අතර මේ හේතුවෙන් ඔවුන් ආර්ථික වශයෙන් වඩාත් සුරක්ෂිත තත්වයක සිටිනවා. (කොලොස්සි 3:23, 24) දෙවිගේ සේවකයන් යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමෙන් පීඩාකාරී තත්වයන් යටතේදී පවා මනසේ සාමය භුක්ති විඳිනවා. (හිතෝපදේශ 28:25; ෆිලිප්පි 4:6, 7, NW) මේ සියල්ලටම වඩා ඔවුන් නිසැකකමින් යුතුව ආශාවෙන් බලා සිටින්නේ, ඉදිරියේදී පැමිණෙන භූමික පාරාදීසයේ සදාකාල ජීවනය ලැබීමටයි.—ගීතාවලිය 37:11, 29.

යෙහෝවාගෙන් එවැනි ආශීර්වාද භුක්ති විඳින අයට ඔහු ගැන හැඟෙන්නේ කෙසේද? කැනඩාවේ ක්‍රිස්තියානිවරයෙකු වන ජැකලන් දෙවි කෙරෙහි වූ තම අගය පළ කරන්නේ මෙසේයි. “ඔහු හැම වෙලාවෙම අපිට පුදුමාකාර ත්‍යාගයන් දෙනවා. සදාකාල ජීවනය පිළිබඳ ස්ථිර බලාපොරොත්තුවද සපයනවා.” කලින් සඳහන් කළ ඒබල් තම හැඟීම් විස්තර කළේ මෙලෙසයි. “පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමට ලැබීමේ ප්‍රස්තාව මට අලුත් දෙයක්. මම ආසාවෙන් බලාගෙන ඉන්නේ ඒ දවස එනකම්. කොහොමවුණත්, පාරාදීසයක් එන්නේ නැහැයි කියල සිතමු. එහෙම වුණත් දෙවිට සේවය කරමින් ඔහුට මගේ ප්‍රේමය පෙන්වීම මගේ සතුටයි.”

ඔබටත් හැකියි සැබෑ ඇදහිල්ලක් ඇතුව සිටින්න

“ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන්නාවූ, හෘදයත් [වකුගඩුත්, NW] සිතත් විමසන්නාවූ සේනාවල යෙහෝවා, ඔබ ඔවුන්ගෙන් පළිගන්නවා දකින්ට මට ලැබේවා; මක්නිසාද මම මාගේ කාරණය ඔබට ප්‍රකාශ කළෙමි” යයි බයිබලය පවසනවා. (යෙරෙමියා 11:20) ඇත්තෙන්ම, අපේ අභ්‍යන්තර පුද්ගලයා තුළ සැඟවී තිබෙන ගැඹුරුම තැන් යෙහෝවා සෝදිසි කරනවා. දෙවිව විශ්වාස කරන්නේ මොන චේතනාවෙන්ද කියලා එක් එක් කෙනා තමන්වම සෝදිසි කර බැලිය යුතුයි. අතීතයේ සිදු කළ වැරදි ක්‍රියාවන්ට හේතු වන්න ඇත්තේ දෙවි ගැන තිබුණ වැරදිසහගත විශ්වාසයන් හා සංකල්ප විය හැකියි. නමුත් බයිබලය පිළිබඳ නිවැරදි දැනුමට හැකියි මැවුම්කරු වන යෙහෝවා දෙවි සමඟ යෝග්‍ය සබඳතාවක් ඇති කරන්න.—1 තිමෝති 2:3, 4.

නිවසේදීම නොමිලේ බයිබලය අධ්‍යයනය කිරීමට යොදා තිබෙන විධිවිධානය මගින් දෙවි පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජනයාට උපකාර කරනවා. (මතෙව් 28:20) එවැනි උපකාරයක් පිළිගෙන තිබෙන බොහෝදෙනෙක් දෙවිට ප්‍රේම කරන්නත්, ඔහු කෙරෙහි අව්‍යාජ ඇදහිල්ලක් ගොඩනඟා ගන්නත් පටන්ගෙන තිබෙනවා. බයිබලය අධ්‍යයනය කිරීම මගින් ඔවුන් “ප්‍රායෝගික ප්‍රඥාව හා චින්තන හැකියාව” ලබාගෙන තිබෙන නිසා උපද්‍රව සහිත මෙම දවස්වල “සුරක්ෂිතව ගමන් කිරීමට” එය උපකාරයක් වෙයි. (හිතෝපදේශ 3:21-23, NW) මේ සියල්ලටම වඩා, ඔවුන්ට දැන් අනාගතය සම්බන්ධයෙන් ‘සහතික මෙන්ම ස්ථිර’ බලාපොරොත්තුවක් තියෙනවා. (හෙබ්‍රෙව් 6:19, NW) ඔබටත් සැබෑ ඇදහිල්ලක් ඇතුව සිටිය හැකි අතර මෙම ආශීර්වාදද භුක්ති විඳිය හැකියි.

[6වන පිටුවේ කොටුව]

උත්තර නොලැබ සිතේ වද දෙමින් තිබූ ප්‍රශ්න

“වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට රෝහලෙහි පුහුණුවක් ලබාගනිද්දී, රෝග හා හදිසි අනතුරු නිසා යහපත් අය වේදනාවෙන් කෙඳිරිගානවා මම දැකලා තියෙනවා. දෙවි කෙනෙක් ඉන්නවා නම් මේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි? ආගමක් කියන්නේ නිකම්ම සන්සුන් සිතක් ලබාගන්න ක්‍රමයක් විතරද?”—කලින් ප්‍රෙස්බිටේරියන් භක්තිකයෙකුව සිටි කොරියාවෙහි කෙනෙක්.

“බේබදුකමට ඇබ්බැහි වෙලා ඉඳලා මිය ගිය මගේ තාත්තා නිරයට හෝ ස්වර්ගයට ගියාද කියා මම නිතරම කල්පනා කළා. මම මළවුන්ටත්, ගින්නෙන් දැවෙන නිරයක් තියෙනවා කියන අදහසටත් හුඟක් භය වුණා. ප්‍රේමණීය දෙවි කෙනෙක් කොහොමද කෙනෙකුව සදහටම දුක් විඳින්න නිරයට යවන්නේ කියන එක මට තේරුම්ගන්න බැරි වුණා.”—කලින් කතෝලිකයෙකුව සිටි බ්‍රසීලයේ කෙනෙක්.

“පොළොව සහ මිනිස්සුන්ගේ අනාගතය මොන වගේ එකක් වෙයිද? මිනිස්සුන්ට සදහටම ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? සැබෑ සාමය උදා කරගන්න මිනිස්සුන්ට හැකි වෙන්නේ කොහොමද?”—කලින් කතෝලිකයෙකුව සිටි ජර්මනියේ කෙනෙක්.

“නැවත ඉපදීම පිළිබඳ ඉගැන්වීමේ කිසිම තේරුමක් නැහැයි කියලයි මට හිතෙන්නේ. සත්තු නමස්කාරයේ යෙදෙන්නේ නැහැනේ. ඉතින් කළ පව් පල දීමක් වශයෙන් හදිසියෙන්වත් කෙනෙක් සතෙක් වෙලා ඉපදුණොත් ඔහු තම වැරදි හරිගස්සගන්නෙත්, තත්වය හොඳ අතට හරවාගන්නෙත් කොහොමද?”—කලින් හින්දු භක්තිකයෙක් වෙලා හිටිය දකුණු අප්‍රිකාවේ කෙනෙක්.

“මම හැදී වැඩුණේ කොන්ෆියුෂියානු පවුලකයි. ඉතින් මම පුරුදු වෙලා හිටියේ අපේ මුතුන්මිත්තන්ට සෙත් පතන උත්සවයට සහභාගි වෙන්නයි. පූජාව තියෙන මේසය පිළියෙළ කරද්දී සහ ඒකට වඳිද්දී මම කල්පනා කළේ මිය ගිය මුතුන්මිත්තන්ට පුළුවන්ද ඒ ආහාර ගන්න එතනට එන්න සහ අපි ඔවුන්ට වඳින එක ඔවුන්ට පේනවාද කියන එක ගැනයි.”—කලින් කොන්ෆියුෂියානු භක්තිකයෙකුව සිටි කොරියාවේ කෙනෙක්.

මේ හැම කෙනෙකුටම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කළ පසු තම ප්‍රශ්නවලට උත්තර ලැබුණා.