Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි අපගේ වාසස්ථානයයි

යෙහෝවා දෙවි අපගේ වාසස්ථානයයි

“යෙහෝවා දෙවියනි, ඔබ පරම්පරාවක් පරම්පරාවක් පාසා අපට වාසස්ථානයක් වී ඇත.”—ගීතා. 90:1.

1, 2. දෙවිගේ සේවකයන් මේ දුෂ්ට ලෝකයේ ගත කරන්නේ මොන වගේ ජීවිතයක්ද? අද අපි ජීවත් වෙන්නේ හොඳම නිවහනේ කියලා කියන්න පුළුවන් ඇයි?

‘ලෝකයේ කොහේ හිටියත් ගෙදර තරම් තවත් තැනක් නැහැ’ කියලා කියනවා ඔබ අහලා ඇති. විනාශ වෙන්න තියෙන මේ දුෂ්ට සමාජයත් ඒ වගේ සුරක්ෂිත නිවහනක් කියලා ඔබට හිතෙනවද? එහෙම හිතෙන්නේ නැත්නම් ඒක හොඳයි. මොකද එදා මෙදා තුර ජීවත් වෙච්ච යෙහෝවා දෙවිට ආදරය කරපු හැමෝම හිතුවෙත් මේ දුෂ්ට සමාජය ඔවුන්ගේ නිවහන විදිහට නෙවෙයි. ඔවුන් ‘දේශයෙහි ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.’—හෙබ්‍රෙ. 11:13.

2 “විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන්” විදිහට ජීවත් වෙන අභිෂේක ලත් අයත් ඔවුන්ගේ නියම නිවහන විදිහට සලකන්නේ ‘ස්වර්ගයේ පුරවැසිභාවයයි.’ (ෆිලි. 3:20; 1 පේතෘ. 2:11) ‘වෙනත් බැටළුවනුත්’ යේසුස් වගේ ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.’ (යොහ. 10:16; 17:16) ඒ කියන්නේ සුරක්ෂිත නිවහනක් නැතුව අපි අසරණ වෙලා කියන එකද? නැහැ. අපි අද ජීවත් වෙන්නේ කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් හොඳම නිවහනෙයි. ඒ නිවහන මොකක්ද කියලා මෝසෙස් කියනවා. “යෙහෝවා දෙවියනි, ඔබ පරම්පරාවක් පරම්පරාවක් පාසා අපට වාසස්ථානයක් වී ඇත.” (ගීතා. 90:1) යෙහෝවා දෙවි අතීතයේ හිටපු සේවකයන්ට නිවහනක් නැත්නම් “වාසස්ථානයක්” වුණේ කොහොමද? දෙවි අපිට “වාසස්ථානයක්” වෙන්නේ කොහොමද? අනාගතයේදීත් අපිට ඉන්න පුළුවන් හොඳම “වාසස්ථානය” යෙහෝවා දෙවි කියලා කියන්න පුළුවන් ඇයි?

යෙහෝවා දෙවි ඔවුන්ට “වාසස්ථානයක්” වුණා

3. යෙහෝවා දෙවිව ‘වාසස්ථානයකට’ සමාන කරලා තියෙන්නේ ඇයි?

3 යෙහෝවා දෙවිව හොඳින් තේරුම්ගන්න බයිබලයේ ඔහුව යම් යම් දේවලට සමාන කරනවා. ගීතාවලිය 90:1හි යෙහෝවා දෙවිව සමාන කරලා තියෙන්නේ අපිට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් ‘වාසස්ථානයකටයි.’ තමන්ගේ සෙනඟව මේ තරම් ආදරයෙන් රැකබලා ගන්නා යෙහෝවා දෙවිව ‘වාසස්ථානයකට’ සමාන කරලා තියෙන එක කොයි තරම් හොඳට ගැළපෙනවද! (1 යොහ. 4:8) කෙනෙක්ට තමන්ගේ නිවසේ ඉන්නකොට ලොකු සැනසීමක් සුරක්ෂිතභාවයක් දැනෙනවා. දෙවිව තමන්ගේ “වාසස්ථානය” කරගන්න අයට ඊටත් වඩා සුරක්ෂිතව, “කිසිදු බියක් නොමැතිව සැනසීමෙන්” ජීවත් වෙන්න පුළුවන්. (ගීතා. 4:8) දෙවිව “වාසස්ථානයක්” කරගත්ත අතීතයේ හිටපු කිහිපදෙනෙක් ගැන දැන් අපි බලමු.

4, 5. යෙහෝවා දෙවි ආබ්‍රහම්ට “වාසස්ථානයක්” වුණේ කොහොමද?

4 මුලින්ම ආබ්‍රහම් ගැන බලමු. ‘ඔබේ දේශයෙන් පිට වී යන්න. ඔබේ නෑදෑයන්වද අත්හැර මා ඔබට පෙන්වන දේශයට යන්න’ කියලා යෙහෝවා දෙවි ආබ්‍රහම්ට කියද්දී ඔහුට කොහොම හැඟෙන්න ඇද්ද? ඔහුට යම් භයක් සැකක් තිබුණා නම් දෙවි ඊළඟට කියපු මේ දෙයින් ඔහු සහනයක් ලබන්න ඇති. ‘මම ඔබට ආශීර්වාද කර ඔබගෙන් මහත් ජාතියක් බිහි කරන්නෙමි. ඔබේ නම ගෞරවයට පත් කරන්නෙමි. ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි.’—උත්. 12:1-3.

5 යෙහෝවා දෙවි ඒ වචනවලින් පොරොන්දු වුණේ ආබ්‍රහම්ටත් ඔහුගෙන් පැවත එන අයටත් තමන් සුරක්ෂිත “වාසස්ථානයක්” වෙනවා කියලයි. (උත්. 26:1-6) ඒ නිසා ආබ්‍රහම්ව මරලා දාලා සාරට හානියක් කරන්න පාරාවෝටවත් අබිමෙලෙක් රජටවත් දෙවි ඉඩ දුන්නේ නැහැ. දෙවි ඒ විදිහටම ඊසාක්වත් රෙබෙකාවත් ආරක්ෂා කළා. (උත්. 12:14-20; 20:1-14; 26:6-11) ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ඔවුන්ට අයිති දේ පැහැරගැනීමට [යෙහෝවා දෙවි] කිසිවෙකුට ඉඩ නොදුන්නේය. ඔහු ඔවුන් නිසා රජවරුන්ට තරවටු කරමින් මෙසේ කීවේය. ‘මා අභිෂේක කළ අයට අත නොගසන්න. මාගේ අනාගතවක්තෘවරුන්ට කිසි නපුරක් නොකරන්න.’”—ගීතා. 105:14, 15.

“මම ඔබව අත් නොහරින්නෙමි”

6. ඊසාක්, යාකොබ්ට කිව්වේ මොනවද? ගමන පිටත් වෙද්දී යාකොබ්ට මොනවා හිතෙන්න ඇද්ද?

6 ආබ්‍රහම්ගේ මුනුපුරා වුණ යාකොබ්ටත් යෙහෝවා දෙවි “වාසස්ථානයක්” වුණා. ඊසාක් දවසක් යාකොබ්ට මෙහෙම කිව්වා. “ඔබ කානාන් දේශයේ දූවරුන්ගෙන් භාර්යාවක් තෝරාගන්න එපා. පදන්-ආරම්හි සිටින ඔබේ මවගේ පියා වන බෙතුයෙල්ගේ නිවසට ගිහින් ඔබේ මවගේ සහෝදරයා වන ලාබන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් තෝරාගන්න.” (උත්. 28:1, 2) තමන්ගේ පියාට කීකරු වුණ යාකොබ් තමන්ට හුරු පුරුදු නිවහන අත්හැරලා කිලෝමීටර් සිය ගණනක් දුරින් තිබුණ හාරාන්වලට යන්න පිටත් වුණා. (උත්. 28:10) යන අතරතුරේදී ඔහුගේ හිතේ මේ වගේ ප්‍රශ්න මතු වෙන්න ඇති. ‘කොච්චර දවසක් මට පවුලේ අයගෙන් ඈත් වෙලා ඉන්න වෙයිද? මාමා, මාව පිළිගනියිද? දෙවිට ආදරය කරන හොඳ බිරිඳක් මට හම්බ වෙයිද?’ ඒ වගේ දේවල් ගැන හිතහිතා කිලෝමීටර් 100ක් විතර ඇවිදගෙන ගිය යාකොබ් ලූෂ් කියන තැනට ආවා. (උත්. 28:19) එතනදී සිද්ධ වුණ දෙයක් නිසා යාකොබ්ගේ සිතේ තිබුණ හැම භයක් සැකක්ම නැති වෙලා ගියා. එතනදී මොකද වුණේ?

7. සිහිනයක් මාර්ගයෙන් යෙහෝවා දෙවි යාකොබ්ට කිව්වේ මොනවද?

7 යෙහෝවා දෙවි එදා රෑ යාකොබ්ට සිහිනයකින් මෙහෙම කිව්වා. “මම ඔබ සමඟ සිට ඔබේ මුළු ගමනේදී ඔබව ආරක්ෂා කර නැවත මේ දේශයට ගෙනෙන්නෙමි. මම ඔබව අත් නොහරින්නෙමි. ඔබට දුන් පොරොන්දුව මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.” (උත්. 28:15) යාකොබ්ට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද! දෙවි දුන්න පොරොන්දුව ගැන හිතහිතා ඔහු සතුටින් තමන්ගේ ගමනේ ඉතුරු ටික යන්න ඇති. ඔබත් ඔබේ හුරු පුරුදු නිවහන අත්හැරලා දෙවිට සේවය කරන්න වෙනත් තැනකට ගිය කෙනෙක්ද? එහෙමනම් යෙහෝවා දෙවි ඔබවත් අත්හරින්නේ නැතුව බලාගන්නවා කියලා ඔබත් අද්දැකලා ඇති.

8, 9. යෙහෝවා දෙවි යාකොබ්ට “වාසස්ථානයක්” වුණේ කොහොමද? අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

8 යාකොබ් හාරාන්වලට ආවම ලාබන් ඔහුව ආදරෙන් පිළිගත්තා. ඔහුගේ දුවලා දෙන්නවත් යාකොබ්ට විවාහ කරලා දුන්නා. ඒත් කාලය ගත වෙද්දී ලාබන් වෙනස් වුණා. ඔහු අසාධාරණ විදිහට යාකොබ්ගේ කුලිය දහ වතාවක්ම වෙනස් කළා. (උත්. 31:41, 42) යාකොබ් මේ හැම දේම ඉවසුවා. මොකද ඔහුට විශ්වාසයක් තිබුණා යෙහෝවා දෙවි ඔහුව රැකබලා ගන්නවා කියලා. ඇත්තටම දෙවි එහෙම කළා. ආයෙත් කානාන් දේශයට යන්න කියලා දෙවි කියද්දී යාකොබ්ට ‘විශාල සත්ව රැළවල්ද සේවක සේවිකාවන්ද ඔටුවන්ද බූරුවන්ද අයිති වෙලා තිබුණා.’ (උත්. 30:43) ඒ කාලය පුරාම දෙවි තමන්ව රැකබලා ගත්ත එක ගැන හද පිරි අගයකින් යාකොබ් මෙහෙම යාච්ඤා කළා. “ඔබේ සේවකයා වන මට ඔබ පෙන්වූ ප්‍රේමය හා විශ්වාසවන්තකම මොන තරම්ද! නමුත් මම ඒ කිසිම දෙයක් ලබන්න තරම් වටින පුද්ගලයෙක් නෙවෙයි. මා යොර්දාන් ගඟෙන් එගොඩ වෙද්දී මා ළඟ තිබුණේ මගේ සැරයටිය විතරයි. එහෙත් දැන් මට කඳවුරු දෙකක්ම තිබෙනවා.”—උත්. 32:10.

9 ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ “යෙහෝවා දෙවියනි, ඔබ පරම්පරාවක් පරම්පරාවක් පාසා අපට වාසස්ථානයක් වී ඇත” කියලා මෝසෙස් කියපු දේ යාකොබ් අද්දැක්කා කියලයි. (ගීතා. 90:1) ඒ වචන යාකොබ්ට වගේම අපිටත් අදාළයි. ඒකට හේතුව යෙහෝවා දෙවි ‘සෙවණැල්ලක් වෙනස් වෙනවා වගේ කිසිසේත් වෙනස් වෙන්නේ නැති’ නිසයි.—යාකො. 1:17.

යෙහෝවා දෙවි අපිටත් “වාසස්ථානයක්”

10. යෙහෝවා දෙවි අදත් සුරක්ෂිත “වාසස්ථානයක්” වෙනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන් කොහොමද?

10 හිතන්න ඔබ දැන් දරුණු අපරාධකරුවෙකුට විරුද්ධව සාක්ෂි දෙන්න උසාවියක ඉන්නවා කියලා. ඒ මිනීමරු අපරාධකාරයා හුඟක් බලවත්. ඔහු යටතේ සේවය කරන විශාල පිරිසක් ලෝකේ පුරාම ඉන්නවා. ඒත් ඔබ ඔහුට විරුද්ධව සාක්ෂි දීලා උසාවියෙන් පිටතට එනවා. ඒ වගේ කෙනෙකුට විරුද්ධව සාක්ෂි දීලා නිදහසේ ඉන්න ලැබෙයි කියලා ඔබ හිතනවද? ඔබට ආරක්ෂාව ඕනෙමයි. සාතන්ට විරුද්ධව සාක්ෂි දෙන අපි හැමෝම ඉන්නෙත් ඒ වගේ තත්වයක. (එළිදරව් 12:17 කියවන්න.) ඒත් සාතන්ට පුළුවන්ද අපිව නවත්වන්න. කොහොමටවත් බැහැ. අපි දැන් වෙනදාටත් වඩා වැඩියෙන් ලොව පුරාම යෙහෝවා දෙවි ගැන සාක්ෂි දරනවා. අපිට ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දෙවි සුරක්ෂිත “වාසස්ථානයක්” වෙලා අපිව බලාගන්න නිසයි. මේ අන්තිම දවස්වල වෙන කවදාකටත් වඩා ඔහු තමන්ගේ සෙනඟව රැකබලා ගෙන ඔවුන්ට ආශීර්වාද කරනවා. (යෙසායා 54:14, 17 කියවන්න.) ඒත් යෙහෝවා දෙවි එහෙම කරන්නේ අපි සාතන්ට රැවටෙන්නේ නැතුව හිටියොත් විතරයි.

දේවදූතයන්ගේ සහයෝගයත් ආරක්ෂාවත් දෙවිගේ සෙනඟට ලැබෙනවා

11. ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් වගේ අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

11 ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් වගේ අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තවත් දෙයක් තියෙනවා. ඔවුන් කානාන් දේශයේ ජීවත් වුණත් ඒ දේශයේ හිටපු මිනිසුන්ගෙන් වෙන් වෙලා හිටියා. (උත්. 27:46) ඒ වගේම හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියලා දැනගන්න ඔවුන්ට දීර්ඝ නීති ලැයිස්තුවක් ඕනෙ වුණෙත් නැහැ. ඔවුන් යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති දැනගෙන ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කළා. අපිත් ඒ වගේ වෙන්න ඕනෙ කියලා ඔබට හිතෙන්නේ නැද්ද? විනෝදාංශ තෝරගද්දී, යාළුවන්ව තෝරගද්දී අපි පෙන්වනවද අපි මේ ලෝකයෙන් ඈත් වෙලා ඉන්නවා කියලා? කනගාටුවට කරුණක් තමයි සභාවේ ඉන්න සමහර අය සමහර පැතිවලින් සාතන්ගේ ලෝකය තමන්ගේ නිවහන කරගෙන තියෙන එක. ඔබත් ඉන්නේ ඒ වගේ තත්වයක කියලා හිතෙනවා නම් දෙවිට යාච්ඤා කරන්න. මේ ලෝකය අයිති සාතන්ට කියලත් ඔහුට අපි ගැන කිසිම ආදරයක් නැහැ කියලත් මතක තියාගමු.—2 කොරි. 4:4; එෆී. 2:1, 2.

12. (අ) යෙහෝවා දෙවි අපිට දීලා තියෙන්නේ මොන වගේ දේවල්ද? (ආ) ඒවා ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

12 සාතන්ට රැවටෙන්නේ නැතුව ඉන්න නම් යෙහෝවා දෙවි දීලා තියෙන දේවලින් අපි ප්‍රයෝජන ගන්න ඕනෙ. දෙවි අපිට කොච්චර දේවල් දීලා තියෙනවද! රැස්වීම්, පවුලේ නමස්කාරය වගේම ජීවිතයේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී අපිට උපකාර කරන, අපිට සහනයක් වෙන වැඩිමහල්ලන්වත් දීලා තියෙනවා. (එෆී. 4:8-12) පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට අවුරුදු ගාණක් සේවය කළ සහෝදර ජෝජ් ගැංගස් මෙහෙම කිව්වා. “දෙවිට සේවය කරන අය එක්ක ඉන්නකොට මට දැනෙන්නේ මගේම ගෙදර, මගේම පවුලේ අය එක්ක ඉන්නවා වගේ.” ඔබට දැනෙන්නෙත් එහෙමද?

13. හෙබ්‍රෙව් 11:13න් අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩම මොකක්ද?

13 ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් වගේ අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තවත් දෙයක් තියෙනවා. ඔවුන් ‘දේශයෙහි ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.’ (හෙබ්‍රෙ. 11:13) අවට හිටපු ජාතීන්ට වඩා වෙනස් විදිහට ජීවත් වෙන්න ඔවුන් භය වුණේ නැහැ. අපිත්, මේ ලෝකයේ ජීවත් වෙන අයට වඩා වෙනස් කියලා භය නැතුව අපේ ජීවිතයෙන් පෙන්වනවද? සමහර වෙලාවට ඒක ලේසි නැහැ තමයි. දෙවිට සේවය කරන්න ආශාවෙන් ඉන්න හැම කෙනෙක්ම හැමදාම සාතන්ටත් මේ ලෝකයටත් විරුද්ධව සටනක් කරනවා. (එෆී. 6:12) ඒත් අපි තනි වෙලා නැහැ. දෙවිගේ උදව් තියෙන නිසත් අපේ සහෝදර සහෝදරියන්ගේ උදව් තියෙන නිසත් අපිට ඒක කරන්න පුළුවන්. හැබැයි අපිට ඒ සටන දිනන්න පුළුවන් වෙන්නේ අපි යෙහෝවා දෙවිව විශ්වාස කරලා ඔහුව අපේ “වාසස්ථානය” කරගත්තොත් විතරයි.

14. ආබ්‍රහම් බලාගෙන හිටපු ‘නුවර’ මොකක්ද?

14 අපිත් ආබ්‍රහම් වගේ අපිට ලැබෙන්න තියෙන තෑග්ග ගැන හිතන්න ඕනෙ. (2 කොරි. 4:18) ආබ්‍රහම් බලාගෙන හිටියේ ‘සැබෑ අත්තිවාරමක් ඇති නුවර පිහිටුවන තුරුයි. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවියි.’ (හෙබ්‍රෙ. 11:10) ‘ඒ නුවර’ තමයි දෙවිගේ රාජ්‍යය. ආබ්‍රහම්ට සිද්ධ වුණා දෙවිගේ රාජ්‍යය පිහිටුවන කල් බලාගෙන ඉන්න. ඒත් අපිට නම් ආබ්‍රහම් වගේ බලාගෙන ඉන්න ඕනෙ නැහැ. මොකද දැනටමත් දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවලයි තියෙන්නේ. ඒක ළඟදීම මේ පොළොව පාලනය කරනවා. ඒ ගැන විශ්වාස කරනවා කියලා ඔබ ජීවත් වෙන විදිහෙන් පෙන්වනවද? මේ දුෂ්ට සමාජයෙන් වෙන් වෙලා ඉන්නවා කියලත් දෙවිගේ රාජ්‍යයේ වැඩවලට මුල් තැන දෙනවා කියලත් ඔබ ඔබේ ජීවිතයෙන් පෙන්වනවද?—2 පේතෘස් 3:11, 12 කියවන්න.

යෙහෝවා දෙවි සදහටම අපේ ‘වාසස්ථානයයි’

15. මේ ලෝකය නිවහනක් කරගන්න අයට සිදු වෙන්නේ මොනවද?

15 අවසානය ළං වෙද්දී මේ ලෝකයේ තියෙන ප්‍රශ්න ගැටලු තව තවත් නරක අතට හැරෙනවා. (මතෙ. 24:7, 8) මහත් පීඩාව පටන්ගත්තට පස්සේ ජීවිතය මීටත් වඩා දුෂ්කර එකක් වෙයි. ලෝකය පුරාම මහත් විනාශයන් සිදු වෙන්න නියමිත නිසා මිනිසුන් බියෙන් කැලඹෙනවා. (හබ. 3:16, 17) ඒ කාලයේදී මිනිසුන් “ගුහාවලත් කඳු පර්වත අතරත්” සැඟවිලා ඒවාවල ආරක්ෂාව පතනවා කියලා බයිබලයේ කියනවා. (එළි. 6:15-17) ඒත් ඔවුන්ට ගුහාවල සැඟවිලා බේරෙන්න බැහැ. ඒ වගේම කඳු හා සමාන දේශපාලන සංවිධානවලටවත් මහත් ව්‍යාපාරවලටවත් ඔවුන්ව බේරගන්න ලැබෙන්නේ නැහැ.

16. අපේ සභාවන් ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? ඒ ඇයි?

16 යෙහෝවා දෙවිව “වාසස්ථානයක්” කරගන්නා අයට නම් මහත් පීඩාවේදී ආරක්ෂාව ලැබෙනවා. ඒ කාලයේදී ‘යෙහෝවා දෙවි ලබා දෙන ගැලවීම නිසා බොහෝ සේ ප්‍රීති වෙන්න’ අපිටත් පුළුවන්. (හබ. 3:18) ඒ අමාරු කාලයේදී දෙවි අපිව ආරක්ෂා කරන්නේ මොන විදිහටද? ඒ ගැන අපි තාම හරියටම දන්නේ නැහැ. ඒත් එක දෙයක් නම් ස්ථිරයි. එදා ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් බේරිලා යද්දී ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් දුන්නා වගේ “මහත් සමූහය” වන අපිටත් ඒ කාලයේදී කරන්න ඕනෙ මොනවද කියලා දෙවි මඟ පෙන්වීම් දෙයි. (නික්මයාම 13:18 කියවන්න; එළි. 7:9) දෙවි ඒ මඟ පෙන්වීම් දෙන්නේ කොහොමද? සභාව මාර්ගයෙන් කියලා අපිට හිතන්න පුළුවන්. යෙසායා 26:20හි (කියවන්න.) සඳහන් වන ‘නිවස ඇතුළේ තිබෙන ආරක්ෂිත කාමරවලින්’ නියෝජනය වෙන්නේ ලොව පුරා තියෙන සභාවන් වෙන්න පුළුවන්. එහෙමනම් සභාව මාර්ගයෙන් යෙහෝවා දෙවි දෙන මඟ පෙන්වීම් ඔබ ඒ විදිහටම පිළිපදිනවද? රැස්වීම් ඔබේ ජීවිතයේ වටිනාම දෙයක් විදිහට ඔබ සලකනවද?—හෙබ්‍රෙ. 13:17.

17. දෙවිට විශ්වාසවන්තව ඉඳලා මිය ගිය අයට පවා දෙවි “වාසස්ථානයක්” වෙන්නේ කොහොමද?

17 දෙවිට විශ්වාසවන්තව ඉඳලා මහත් පීඩාවට කලින් මිය ගිය අය ගැන මොකක්ද කියන්න පුළුවන්. දෙවි ඔවුන්ටත් “වාසස්ථානයක්” වෙනවා. එහෙම වෙන්නේ දෙවි ඔවුන්ව නැවත නැඟිටුවන නිසයි. ‘ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්’ මිය ගිහින් බොහෝ කාලයකට පස්සෙත් ඔවුන්ගේ ‘දෙවි මමය’ කියලා යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්වා. (නික්. 3:6) ඒ ගැන යේසුස් කිව්වේ මේ වගේ දෙයක්. ‘ඔහු මිය ගොස් ඇති අයගේ දෙවි නොව ජීවත් වන අයගේ දෙවියි. මන්ද ඔවුන් මිය ගොස් සිටියත් දෙවි ඔවුන්ව සලකන්නේ ජීවත් වන අය හැටියටයි.’ (ලූක් 20:38) ඒකට හේතුව නැවත නැඟිටීම ස්ථිර දෙයක් නිසයි.—දේශ. 7:1.

18. පාරාදීස පොළොවේදී දෙවි තමන්ගේ සෙනඟට “වාසස්ථානයක්” වෙන්නේ කොහොමද?

18 පාරාදීස පොළොවේදී දෙවි විශේෂ ආකාරයෙන් තමන්ගේ සෙනඟට “වාසස්ථානයක්” වෙනවා. එළිදරව් 21:3හි ඒ ගැන මෙහෙම කියනවා. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත.” පාරාදීස පොළොවේ මිනිසුන් ගත කරන පළමු අවුරුදු දහස පුරා පාලනය කරන්නේ යේසුස්. ඒ කාලය තුළදී පොළොව සම්බන්ධයෙන් තම පියාට තිබුණ අරමුණ ඉටු කරන යේසුස්, අවුරුදු දහසට පසුව නැවතත් පාලනය යෙහෝවා දෙවිට භාර දෙනවා. (1 කොරි. 15:28) ඒ වෙනකොට පරිපූර්ණ වෙලා ඉන්න මිනිසුන්ව පාලනය කරන්නේ යෙහෝවා දෙවියි. අපිට තියෙන්නේ මොන තරම් ලස්සන අනාගතයක්ද! ඒ නිසා අතීතයේ හිටපු දෙවිගේ සේවකයන් වගේ අපිත් යෙහෝවා දෙවිව අපේ “වාසස්ථානය” කරගමු.