Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

කුඩා කාලයේ සිට හරි දේ කළ යොෂියා

කුඩා කාලයේ සිට හරි දේ කළ යොෂියා

නිතරම හරි දේ කරන එක ලෙහෙසියි කියලා ඔයා හිතනවාද? *— හුඟක් අය කියන්නේ ඒක ලෙහෙසි දෙයක් නෙවෙයි කියලයි. වැඩිහිටි අයටත් නිතරම හරි දේ කරන එක ලෙහෙසි නැහැ. බයිබලයේ සඳහන් චරිතයක් වන යොෂියාත් මේ තත්වයට මුහුණ දුන්නා. දැන් අපි ඔහු ගැන ටිකක් සලකා බලමු.

යොෂියාගේ තාත්තාගේ නම ආමොන්. එයා යුදා දේශයේ රජ කෙනෙක්. යොෂියා ඉපදෙනකොට ආමොන්ට වයස අවුරුදු 16යි. ආමොන්ගේ තාත්තා ඒ කියන්නේ යොෂියාගේ සීයත් යුදා දේශයේ රජ කෙනෙක්ව සිටියා. එයාගේ නම මනස්සේ. යොෂියාගේ තාත්තායි සීයයි හුඟක් නරක දේවල් කළා. ඒ නිසා මනස්සේව සිරකරුවෙක් හැටියට බැබිලෝනියට අරන් යන්න යෙහෝවා දෙවි ඇසිරියානු ජාතිකයන්ට ඉඩහැරියා. නමුත් සිර ගෙදර ඉද්දී මනස්සේ තමන් අතින් සිදු වූ වැරදි ගැන පසුතැවිලි වෙලා යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලුවා. ඒ නිසා යෙහෝවා දෙවි එයාට සමාව දුන්නා.

මනස්සේ සිර ගෙදරින් නිදහස් වෙලා යෙරුසලමට ආවම එයා ආයෙත් රජකමට පත් වුණා. එයා කලින් කළ වැරදි හැම දෙයක්ම නිවැරදි කරගන්න උත්සාහ කළා. ඒ වගේම යෙහෝවා දෙවිට සේවය කරන්නත් එයා මිනිසුන්ට උදව් කළා. හැබැයි ආමොන් දිගටම නරක දේවල් කළ එක ගැන මනස්සේට දුක හිතෙන්න ඇති. කොහොමවුණත් යොෂියා සහ මනස්සේ අතර කොච්චර කිට්ටු බැඳීමක් තිබුණද කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. යොෂියාට හරි දේ කරන්න මනස්සේගෙන් සහයෝගය ලැබෙන්න ඇතිද?—

යොෂියාට වයස අවුරුදු හයේදී මනස්සේ මිය ගියා. ඒ නිසා ආමොන් රජ බවට පත් වුණා. ඒත් ආමොන්ගේම සේවකයන් ආමොන්ව මරපු නිසා එයාට රජකම් කරන්න ලැබුණේ අවුරුදු දෙකක් විතරයි. ඊටපස්සේ රජකම භාර වුණේ යොෂියාටයි. ඒ වෙනකොට එයාගේ වයස අවුරුදු අටයි. (2 ලේකම් 33වන පරිච්ඡේදය) ඔයා හිතන විදිහට යොෂියා කටයුතු කරන්න ඇත්තේ එයාගේ තාත්තා වගේද නැත්නම් පසුතැවිලි වෙලා යෙහෝවා දෙවිට සේවය කළ එයාගේ සීයා වගේද?—

තමන් සේවය කරන්න ඕනේ යෙහෝවා දෙවිට බව යොෂියා දැනගෙන හිටියා. ඒ නිසා යොෂියා එයාගේ තාත්තාගේ යාළුවන්ව ආශ්‍රය කරනවා වෙනුවට යෙහෝවා දෙවිට සේවය කළ අයව ආශ්‍රය කරන්න තෝරාගත්තා. එයා දැනගෙන හිටියා ඒක තමයි හරි දේ කියලා. (2 ලේකම් 34:1, 2) යොෂියා ආශ්‍රය කළ අය ගැන ඔයා දැනගන්න කැමතිද?—

ඒ අයගෙන් එක් කෙනෙක් තමයි අනාගතවක්තෘවරයෙක් වූ ශෙපනියා. සමහරවිට එයා යොෂියාගේ නෑදෑයෙක් වෙන්න ඇති. කොහොමවුණත් යොෂියා රජකම් කළ මුල් කාලයේදී ශෙපනියා එයාගේ නමින්ම බයිබල් පොතක් ලිව්වා. ඒ වගේම හරි දේ කරන්නේ නැති අයට වෙන්න යන දේ ගැනත් ඔහු අනතුරු ඇඟෙව්වා. යොෂියා ඒ දේවල් ගැන සැලකිලිමත් වුණා.

යොෂියා ආශ්‍රය කළ තවත් කෙනෙක් තමයි යෙරෙමියා. ඒ දෙන්නම ජීවත් වුණේ එකම ප්‍රදේශයකයි. කාලයක් යද්දී යෙරෙමියාට එයාගේම නමින් බයිබලයේ පොතක් ලියන්න දෙවි මඟ පෙන්නුවා. යොෂියා යුද්දෙට ගිහින් මැරුණම යෙරෙමියා කොච්චර දුක් වුණාද කිව්වොත් එයා ඒ වෙනුවෙන් විශේෂ ශෝක ගීතයක් පවා රචනා කළා. (2 ලේකම් 35:25) නිතරම හරි දේ කරන්න ඔවුන් එකිනෙකාගෙන් කොතරම් දිරිගැන්වීමක් ලබන්න ඇද්ද!

යොෂියා ගැන ඉගෙනගත් තොරතුරුවලින් ඔයාට ගන්න පුළුවන් පාඩම මොකක්ද?— ඔයාගේ තාත්තා යෙහෝවා දෙවිට සේවය කරන කෙනෙක් නෙවෙයි නම් යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ඔයාට උපකාර ගන්න පුළුවන් කාගෙන්ද? සමහරවිට අම්මගෙන්, ආච්චිගෙන්, සීයගෙන් එහෙමත් නැත්නම් ඔයාට බයිබලය ගැන කියලා දෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුගෙන් උපකාර ගන්න පුළුවන්.

යෙහෝවා දෙවිට සේවය කරන අය අතරින් මිත්‍රයන් තෝරගන්න ඕනේ කියලා යොෂියා කුඩා කාලයේදීම තේරුම්ගෙන සිටියා. යොෂියා වගේ ඔයත් නිතරම හරි දේ කිරීමට උත්සාහ කරන්න.

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙක් සමඟ නම් ඉරක් (—) යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.