Skip to content

පටුනට යන්න

යේසුස් සියලු බලැති දෙවිද?

යේසුස් සියලු බලැති දෙවිද?

යේසුස් සියලු බලැති දෙවිද?

බොහෝදෙනා පවසන්නේ . . .

▪ “යේසුස් තමයි සියලු බලැති දෙවි.”

▪ “මාංසවත් වී යේසුස් ලෙස පොළොවට ආවේ දෙවියි.”

යේසුස් පැවසුවේ . . .

▪ “ඔබ මට ප්‍රේම කළා නම්, මා පියාණන් වෙතට යන බැවින් ඔබ ප්‍රීති වන්නහුය. මන්ද, පියාණන් මට වඩා උතුම්ය.” (යොහන් 14:28) යේසුස් එසේ පැවසුවේ දෙවි තමන්ට වඩා උතුම් බව ඔහු වටහාගෙන තිබුණු නිසයි.

▪ “මම මාගේ පියාණන් හා ඔබේ පියාණන්ද මාගේ දෙවි හා ඔබේ දෙවිද වෙතට නඟිමි.” (යොහන් 20:17) තමන් සියලු බලැති දෙවි බව යේසුස් කිසිම විටක පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු දෙවිව විස්තර කළේ වෙනම පුද්ගලයෙක් ලෙසයි.

▪ “මා කතා කළේ මාගේම පෙලඹීමකින් නොවේ. නමුත් මාව එවූ පියාණන්ම, මා කිව යුතු දේ ගැනත් කතා කළ යුතු දේ ගැනත් මට ආඥාවක් දී තිබේ.” (යොහන් 12:49) යේසුස් නිතරම අන් අයට ඉගැන්වූයේ දෙවි ඔහුට පවසා තිබූ දේවල් පමණයි.

තමන් සියලු බලැති දෙවි කියා යේසුස් කිසිම විටක පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ තමන් දෙවිගේ පුත්‍රයා බවයි. යේසුස් සියලු බලැති දෙවි වූවා නම් ඔහු පොළොවේ සිටියදී යාච්ඤා කළේ කාටද?—මතෙව් 14:23; 26:26-29.

යේසුස්ගේ ගෝලයන් දෙදෙනෙකුට දේවරාජ්‍යයේ උසස් ස්ථාන ලබාගැනීමට අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන්ට පැවසූ දේ සලකා බලන්න. “මාගේ දකුණු පැත්තේද මාගේ වම් පැත්තේද ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ. නමුත් මාගේ පියාණන් විසින් එය යම් අය සඳහා පිළියෙල කර තිබෙනවාද, එය අයිති ඔවුන්ටය.” (මතෙව් 20:23) යේසුස් සියලු බලැති දෙවි වූවා නම් එම ගෝලයන් දෙදෙනාගේ ඉල්ලීම ඉටු කිරීමට ඔහුට හැකියාව තිබිය යුතු නොවේද! නමුත් ඔහු එම ඉල්ලීම ඉටු නොකිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු සියලු බලැති දෙවි නොවන බවයි. එමෙන්ම තමන්වත් ස්වර්ගයේ සිටින දේවදූතයන්වත් නොදන්නා දේවල් දෙවි දන්නා බවත් යේසුස් පැවසුවා.—මාක් 13:32.

යේසුස් දෙවිට වඩා පහත්ව සිටියේ පොළොවේදී පමණක්ද? නැහැ. ඔහු පොළොවේ සිට නැවත ස්වර්ගයට ගිය පසුව පවා දෙවිට යටත්ව සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. බයිබල් ලේඛකයෙකු වූ පාවුල්ද පැවසුවේ “දෙවි ක්‍රිස්තුන් කෙරෙහි ප්‍රධානියා” කියායි. (1 කොරින්ති 11:3, නව අනුවාදය) එමෙන්ම අනාගතයේදී “සියල්ල ඔහුට යටත් කළ පසු පුත්‍රයාද, තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාට යටත් වන්නේය” කියාද බයිබලයේ සඳහන් වෙනවා.—1 කොරින්ති 15:28.

මේ අනුව යේසුස් සියලු බලැති දෙවි නොවන බව පැහැදිලියි. ඔහු තමන්ගේ පියාව “මාගේ දෙවි” ලෙස හැඳින්වූයේ ඒ නිසයි.—එළිදරව් 3:2, 12; 2 කොරින්ති 1:3, 4. *

[පාදසටහන]

^ 12 ඡේ. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 201-204 දක්වා පිටු බලන්න.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

තමන්වත් ස්වර්ගයේ සිටින දේවදූතයන්වත් නොදන්නා දේවල් දෙවි දන්නා බව යේසුස් පැවසුවා