Skip to content

පටුනට යන්න

‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ’

‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ’

‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ’

‘ලෝකය ඔවුන්ට වෛර කරනවා. ඊට හේතුව ඔවුන් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවීමයි.’—යොහන් 17:14.

ඉන් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් දේශපාලනයට හෝ සමාජයේ පැවති ගැටුම්වලට සම්බන්ධ වුණේ නැහැ. ඔහු පැවසුවේ මෙසේයි. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර මාව යුදෙව්වරුන්ගේ අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.” (යොහන් 18:36) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගෙන්ද ඉල්ලා සිටියේ ඔවුන්ගේ ආකල්ප, කතාබහ සහ හැසිරීම දෙවිගේ වචනයට අනුව සකස් කරගන්න කියායි.—මතෙව් 20:25-27.

මුල් ක්‍රිස්තියානීන් ඊට එකඟව ජීවත් වුණේ කොහොමද? “යේසුස්ගේ මුල් අනුගාමිකයන්ට අපහාස කළත් ඔවුන්ව සිරගත කළත් මරා දමන බවට තර්ජනය කළත් යුද්ධවලට සහභාගි වීම ඔවුන් ප්‍රතික්ෂේප කළා” කියා ආගමික ගත්කරුවෙක් වූ ජොනතන් ඩයිමොන්ඩ් පැවසුවා. යුද්ධවලට හවුල් නොවී සිටීමට ඔවුන් ගත් ස්ථාවරය වෙනස් කරනවා වෙනුවට ඔවුන් දුක් විඳින්න කැමති වුණා. සදාචාර ප්‍රමිති අතින්ද යේසුස්ගේ මුල් අනුගාමිකයන් අන් අයට වඩා බොහෝ සෙයින් වෙනස්. බයිබලයේ ඇති ප්‍රමිති රැකීම නිසා ඔවුන්ට මුහුණ දීමට සිදු වන දේවල් ගැන එහිම මෙසේ සඳහන් වෙනවා. “කැළි කසළවලින් පිරුණු මඩ වගුරක් හා සමාන වූ ඔවුන්ගේ අශිෂ්ට ක්‍රියාවලට ඔබ තවදුරටත් ඔවුන් සමඟ හවුල් නොවන නිසා ඒ ගැන පුදුම වන ඔවුහු, ඔබට නින්දා කරති.” (1 පේතෘස් 4:4) “ක්‍රිස්තියානීන් භක්තිවන්තව හා විනීතව ජීවත් වීම අනික් මිනිසුන්ට උහුලන්න බැරි දෙයක් වුණා” කියා ඉතිහාසඥ විල් ඩුරන්ට්ද පැවසුවා.

අද දින එය පිළිපදින්නේ කවුද? ක්‍රිස්තියානීන් “අවි ගැනීම ප්‍රතික්ෂේප කිරීම වැරදියි” කියා කතෝලික විශ්වකෝෂයක සඳහන් වෙනවා. (New Catholic Encyclopedia) වර්ෂ 1994දී රුවන්ඩාවේ සිදු වූ සමූල ඝාතනවලට සියලුම පල්ලි සම්බන්ධ වුණත් “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” ඊට සම්බන්ධ වුණේ නැහැ කියා පුවත්පතක සඳහන් වුණා.—Reformierte Presse.

නාට්සි සමූල ඝාතන සම්බන්ධයෙන් එක් ගුරුවරියක් මෙසේ අදහස් දැක්වුවා. “ඔවුන් කරපු කෲරකම් හා දාමරික ක්‍රියා සියලුදෙනාම අනුමත කළා.” නමුත් එසේ නොකර පීඩා මැද පවා තම ආගමික විශ්වාසයන්ට ඇළී සිටි එකම කණ්ඩායම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණක් බව එක්සත් ජනපදයේ තිබෙන කෞතුකාගාරයක ඇති තොරතුරු සෝදිසි කිරීමෙන් පසු ඇය තේරුම්ගත්තා.

සදාචාර ප්‍රතිපත්ති නිවැරදිව අනුගමනය කරන්නේ කවුද? “විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදියි කියා පල්ලියේ ඉගැන්නුවත් යෞවන කතෝලිකයන්ගෙන් වැඩි පිරිසක් ඊට එකඟ වෙන්නේ නැහැ” කියා සඟරාවක සඳහන් වෙනවා. (U.S. Catholic) පූජකයන්ට සහාය වන කෙනෙක් මෙසේ පැවසූ බවත් එම සඟරාවේ සඳහන් වුණා. ‘කතෝලිකයන්ගෙන් සියයට 50කටත් වඩා වැඩිදෙනෙක් විවාහ වෙන්න කලින් එකට ඉඳලා තියෙනවා.’ නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට “උසස් සදාචාර ප්‍රමිති තිබෙනවා” කියා විශ්වකෝෂයක සඳහන් වෙනවා.—The New Encyclopædia Britannica.