Skip to content

පටුනට යන්න

ආදරණීය පියෙක්

ආදරණීය පියෙක්

ආදරණීය පියෙක්

පියා යන වචනය ඇසෙන විට ඔබේ මනසට නැඟෙන්නේ මොන වගේ පින්තූරයක්ද? ප්‍රේමණීය, පවුලේ අය ගැන සැලකිලිමත් කෙනෙක්වද? නැත්නම් සැරපරුෂ, නපුරු කෙනෙක්වද? ඔබේ පිළිතුර රඳා පවතින්නේ ඔබේ පියා හැසිරෙන ආකාරය අනුවයි.

යෙහෝවා දෙවි ගැන අන් අයට කියා දෙන විටත් ඔහුට යාච්ඤා කරන විටත් යේසුස් “පියාණෙනි” යන වචනය භාවිත කළා. * තම අනුගාමිකයන්ට යාච්ඤා කළ යුතු ආකාරය ගැන උගන්වද්දී යේසුස් පැවසුවේ දෙවිට “පියාණෙනි” කියා අමතන ලෙසයි. (ලූක් 11:2) යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියා අවබෝධ කරගත් විට ඔහුට කැමැත්තෙන්ම කීකරු වෙන්න අප පෙලඹෙනවා.

යෙහෝවා දෙවි ගැන අපට හොඳින්ම කියා දීමට හැකියාව තිබෙන්නේ යේසුස්ට පමණයි. ඔහුට යෙහෝවා දෙවි සමඟ ඉතා කිට්ටු බැඳීමක් තිබුණා. ඔහුම පැවසූ මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ. පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.”—මතෙව් 11:27.

එක් අවස්ථාවකදී යේසුස් යෙහෝවා දෙවි ගැන මෙසේ පැවසුවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) දෙවිට අප ගැන මොන තරම් ප්‍රේමයක් තිබෙනවාද කියා ඉන් පැහැදිලි වෙනවා. (1 යොහන් 4:8) අපගේ පියා වන යෙහෝවා දෙවි අපට ප්‍රේම කරන බව පැවසීමට තිබෙන තවත් හේතු කිහිපයක් ගැන දැන් අපි බලමු.

දෙවි අප ගැන සතුටු වෙනවා

දෙමාපියන් දරුවන්ව අගය කරන විට දරුවන් ඉන් විශාල දිරිගැන්වීමක් ලබනවා. යෙහෝවා දෙවිද තම පුත්‍රයාව අගය කරමින් එක් අවස්ථාවක මෙසේ පැවසුවා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.” (මතෙව් 3:17) එය ඇසීමෙන් යේසුස් මොන තරම් දිරිගැන්වීමක් ලබන්න ඇද්ද! යෙහෝවා දෙවි අපටත් ප්‍රේම කරන නිසා ඔහු අපවද අගය කරන බවට සහතික විය හැකියි.—යොහන් 14:21.

නමුත් යෙහෝවා දෙවි අපව අගය කරන්නේ නැහැ කියා සිතීමට අපව පොලඹවන්න යක්ෂයා උත්සාහ කරනවා. විශේෂයෙන්ම අප අසනීපයෙන් සිටින විට, අධෛර්යය වන විට, අප අතින් වැරදි සිදු වන විට හෝ මහලු විය නිසා යම් අපහසුතා අද්දකින විට එලෙස සිතීමට සලස්වන්න ඔහු වෑයම් කරනවා. දෙවි තමන්ව අගය නොකරන බව සිතූ ලූකස්ගේ අද්දැකීම බලන්න. ඔහුගේ දෙමාපියන් හරි දේ කරන්න කියා ඔහුට ඉගැන්නුවත් දෙමාපියන් හරි දේ කළේ නැහැ. ඒ නිසා ඔහුට දෙමාපියන් සමඟ කිට්ටු බැඳීමක් තිබුණේ නැහැ. ප්‍රතිඵලයක් ලෙස යෙහෝවා දෙවිව පියා ලෙස සලකන්න ඔහුට අපහසු වුණා. සාමාන්‍යයෙන් ඔහුට ඉක්මනින්ම කේන්ති යනවා. නමුත් ඔහුගේ බිරිඳ කේන්තිය පාලනය කරගැනීමට ඔහුට උපකාර කළා. ඇගෙන් ලැබුණු සහයෝගය ඔහු බොහෝ සෙයින් අගය කරනවා. “යේසුස් මෙලොවට පැමිණියේ පව්කාරයන්ව ගලවාගැනීමට” බව දැනගත් පසු දෙවි තමන්වද වටිනා කෙනෙක් ලෙස සලකන බව ඔහු තේරුම්ගත්තා. (1 තිමෝති 1:15) ඒ නිසා දැන් ඔහු සිටින්නේ පුදුමාකාර සතුටකින්.

දෙවි ඔබව අගය කරන්නේ නැහැ කියා ඔබටත් සිතෙනවාද? එසේනම් රෝම 8:31-39හි සඳහන් දේ ඔබට දිරිගැන්වීමක් වෙයි. දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කිරීමට කිසිවෙකුට හෝ කිසිවකට නොහැකි බව එහි සහතික කර තිබෙනවා. *

දෙවි කාරුණිකයි

යෙහෝවා දෙවි දයානුකම්පාවෙන් පිරි දෙවි කෙනෙක් නිසා අපේ දුක ඔහුට හොඳින් තේරෙනවා. (ලූක් 1:78) ඔහු මිනිසුන්ට කොතරම් අනුකම්පා කරනවාද කියා යේසුස් පෙන්නුවා. (මාක් 1:40-42; 6:30-34) අද සිටින යේසුස්ගේ අනුගාමිකයන්ද ඔවුන්ගේ පියා වන යෙහෝවා දෙවිගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කරනවා. ඒ නිසා “එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න” ඔවුන් හැකි උපරිමය කරනවා.—එෆීස 4:32.

ෆිලිප්ගේ අද්දැකීම බලන්න. දවසක් ඔහු රැකියාවට යමින් සිටින විට එකපාරටම ඔහුට දරාගත නොහැකි කොන්දෙ කැක්කුමක් දැනුණා. ඔහුට දැනුණේ ඔහුගේ කොන්දට පිහියකින් අනිනවා වගෙයි. ඒ නිසා ඉක්මනින්ම ඔහුව රෝහලකට රැගෙන ගියා. පැය අටක් පුරා ඔහුව පරීක්ෂා කිරීමෙන් පසුව වෛද්‍යවරුන් පවසා සිටියේ ඔහුගේ මහා ධමනියට හානි වී ඇති බවයි. ඔහුට ජීවත් වීමට ඉතුරුව තිබුණේ මිනිත්තු 25ක් පමණයි කියා වෛද්‍යවරුන් පැවසුවා.

ෆිලිප් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. ඔහුව බැලීමට පැමිණ සිටි සෙසු සාක්ෂිකරුවන් ඉක්මනින්ම ඔහුව වෙනත් රෝහලකට රැගෙන ගියා. එහිදී ඔහුට ශෛල්‍යකර්මයක් කළ අතර එය අවසන් වන තුරු සාක්ෂිකරුවන් එහි රැඳී සිටියා. නොසිතූ ලෙස එම ශෛල්‍යකර්මය සාර්ථක වුණා. ඔවුන් පෙන්වූ සැලකිල්ල ෆිලිප් අදටත් අගය කරනවා. ඔවුන්ව පෙලඹවූයේ යෙහෝවා දෙවි බව ෆිලිප් තේරුම්ගත්තා. “මට දැනුණේ යෙහෝවා දෙවි තාත්තා කෙනෙක් වගේ මගේ ළඟින් ඉඳගෙන මාව ශක්තිමත් කළා වගෙයි” කියා ඔහු පැවසුවා. දෙවි තම සේවකයන්ට උපකාර කිරීම සඳහා තම සෙනඟව පොලඹවන බව ඉන් පැහැදිලියි. ඔහු මොන තරම් කාරුණික දෙවි කෙනෙක්ද!

දෙවි අපව ආරක්ෂා කරනවා

පුංචි දරුවෙක්ට බයක් දැනුණ ගමන් ඉක්මනින්ම යන්නේ පියා ළඟට. ඊට හේතුව පියා සමඟ සිටින විට තමන් ආරක්ෂිතයි කියා දරුවාට දැනීමයි. තම පියාගේ රැකවරණය තමන්ට තිබෙන බව යේසුස්ද හොඳින්ම දැන සිටියා. (මතෙව් 26:53; යොහන් 17:15) අපේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිගේ රැකවරණය අපටත් තිබෙනවා. ඔහු සමඟ තිබෙන බැඳීම ආරක්ෂා කරගැනීමට ඔහු අපට උපකාර කරනවා. එලෙස ඔහු උපකාර කරන එක් ක්‍රමයක් වන්නේ අපට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමයි. ඒ නිසා අපට බයිබලය මත පදනම් උපදෙස් ලැබෙන විට අපි ඒවා සැලකිය යුත්තේ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උපදෙස් ලෙසයි. “යා යුතු හරි මඟ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න” කියා දෙවිම පවසා තිබෙනවා.—යෙසායා 30:21.

ටියාගෝගේ අද්දැකීම බලන්න. ටියාගෝ සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන ෆනෑන්ඩු සහ රෆායල් රොක් සංගීත කණ්ඩායමක සාමාජිකයන්. දිනක් බ්‍රසීලයේ සඕ පවුලෝ නගරයේ තිබෙන ප්‍රසිද්ධ ශාලාවක ප්‍රසංගයකට ඔවුන්ට ආරාධනාවක් ලැබුණා. ඒ ගැන බොහෝ සේ සතුටු වූ ඔවුන් ලැබුණු මේ අවස්ථාව නිසා එම ක්ෂේත්‍රයේ තවත් ඉහළට යා හැකියි කියා සිතුවා. නමුත් දෙවිට නමස්කාර නොකරන අයව කිට්ටුවෙන් ආශ්‍රය කිරීමේ හානිය ගැන මිතුරෙක් ඔවුන්ට මතක් කර දුන්නා. (හිතෝපදේශ 13:20) දෙවිට නමස්කාර නොකළ අයව කිට්ටුවෙන් ආශ්‍රය කිරීම නිසා තම සහෝදරයා දෙවි අකමැති දේවල් කළ බව ඔහු පැවසුවා. එම අද්දැකීම ඇසීමෙන් පසුව ටියාගෝ සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනා සංගීත ක්ෂේත්‍රයට සමු දුන්නා. දැන් ඔවුන් තිදෙනාම දෙවිට පූර්ණ කාලීනව සේවය කරනවා. දෙවි සමඟ තිබෙන බැඳීම ඔවුන්ට ආරක්ෂා කරගැනීමට හැකි වුණේ බයිබලයෙන් ලැබුණු උපදෙස් පිළිපැදීම නිසා බව ඔවුන් පිළිගන්නවා.

දෙවි අපව හික්මවනවා

දරුවන්ට ආදරයෙන් සලකන පියෙක් අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ව හික්මවනවා. (එෆීස 6:4) ඇතැම් අවස්ථාවලදී දරුවන්ට දඬුවම් කළත් ඔහු දරුවන්ට කුරිරු ලෙස සලකන්නේ නැහැ. ඒ හා සමානව අප සියලුදෙනාගේම පියා වන යෙහෝවා දෙවිද අවශ්‍ය අවස්ථාවලදී අපව හික්මවනවා. නමුත් ඔහු කිසි විටක කුරිරු ලෙස අපට දඬුවම් කරන්නේ නැහැ. තම පියාව අනුකරණය කළ යේසුස්ද කිසිම විටක ඔහුගේ අනුගාමිකයන්ට රළු ලෙස සැලකුවේ නැහැ. ඔවුන් එකම වරද නැවත නැවත කළත් ඔහු කෝප වුණේ නැහැ.—මතෙව් 20:20-28; ලූක් 22:24-30.

යෙහෝවා දෙවිගෙන් ලැබුණු හික්මවීම පිළිගත් රිකාඩෝගේ අද්දැකීම බලන්න. ඔහුට මාස 7දී ඔහුගේ පියා පවුල අත්හැර ගියා. රිකාඩෝ යොවුන් වියට පැමිණි විට පියා නැති අඩුව ඔහුට තදින්ම දැනුණා. ඔහු බොහෝ නරක පුරුදුවලට ඇබ්බැහි වුණා. නමුත් ඒ දේවලින් දෙවි සතුටු වන්නේ නැති බව තේරුම්ගත් ඔහු ඒ ගැන සභාවේ සිටි වැඩිමහල්ලන් සමඟ කතා කළා. එවිට ඔවුන් ඉතා කාරුණිකව ඔහුට අවශ්‍ය උපදෙස් බයිබලයෙන් ලබා දුන්නා. රිකාඩෝ එම උපදෙස් පිළිගෙන තම වැරදි හදාගත්තා. නමුත් ඔහු කළ වැරදිවලට ප්‍රතිඵල ඔහු වින්දා. ‘යෙහෝවා දෙවි තමාට ප්‍රේම කරන අයව හික්මවන’ බව රිකාඩෝ තේරුම්ගත්තා.—හෙබ්‍රෙව් 12:6.

හික්මවීමට ඇතුළත් වන්නේ දඬුවම් කිරීම හෝ අවවාද කිරීම පමණක් නොවෙයි. යම් පුහුණුවක් ලබා දීමත් ඊට අයත්. දෙවි අපව හික්මවන එක් ආකාරයක් වන්නේ අපි යම් වරදක් කළ විට එහි ප්‍රතිඵලවලට මුහුණ දීමට ඉඩහැරීමයි. එමගින් අපට හරි දේ කරන්න පුහුණුවක් ලැබෙනවා. අපේ යහපත ගැන සැලකිලිමත් වන දෙවි පියාණන් අපව හික්මවන්නේ අපේම ප්‍රයෝජනය සඳහායි.—හෙබ්‍රෙව් 12:7, 11.

දෙවි අපේ අවශ්‍යතා සපුරනවා

ප්‍රේමණීය පියෙක් දරුවන්ගේ සෑම අවශ්‍යතාවක්ම සපුරනවා. අප සියලුදෙනාගේම පියා වන යෙහෝවා දෙවිද අපට අවශ්‍ය මොනවාද කියා හොඳින්ම දන්නවා. (මතෙව් 6:25-34) ඔහු මෙසේ පොරොන්දු වී තිබෙන්නේ ඒ නිසයි. “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි.”—හෙබ්‍රෙව් 13:5.

නයිස්ගේ අද්දැකීම බලන්න. යෙහෝවා දෙවිට වැඩිපුර සේවය කිරීමට සහ තම දියණියන් දෙදෙනා සමඟ වැඩිපුර කාලයක් ගත කිරීමට සිතූ ඇය රැකියාවෙන් සමුගත්තා. නමුත් නොසිතූ ලෙස ඇගේ ස්වාමිපුරුෂයාගේද රැකියාව අහිමි වුණා. දැන් ඔවුන් වියදම් පියවාගන්නේ කොහොමද? ඒ ගැන ඇය යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඇගේ ස්වාමිපුරුෂයා ඔහුගේ බඩුමුට්ටු ගැනීම සඳහා පසුවදා නැවතත් රැකියා ස්ථානයට ගිය විට බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණා. එම ආයතනයේම වෙනත් තනතුරකට අවශ්‍යතාවක් තිබෙන නිසා එම තනතුර භාරගන්න කියා අයිතිකරු ඔහුට පැවසුවා. එය ඇසීමෙන් ඔහු පුදුමයෙන් පුදුමයට පත් වුණා. එම අවස්ථාව ලබා දීම ගැන නයිස් සහ ඇගේ ස්වාමිපුරුෂයා ඔවුන්ගේ පියාණන් වන යෙහෝවා දෙවිට හද පිරි සතුටින් ස්තුති කළා. දෙවි තම සේවකයන්ගේ අවශ්‍යතා සපුරන බව එම අද්දැකීමෙන් පැහැදිලි වන්නේ නැද්ද!

දෙවි මොන තරම් ප්‍රේමණීයද!

යෙහෝවා දෙවිගේ ප්‍රේමය මොන තරම්ද කියා විස්තර කිරීමට වචන නැහැ. අප මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් දෙවි අප ගැන සතුටු වන බවත් ඔහු කොතරම් කාරුණිකද කියාත් ඔහු අපව ආරක්ෂා කරන ආකාරය ගැනත් අපව හික්මවන ආකාරය ගැනත් අපේ අවශ්‍යතා සපුරන ආකාරය ගැනත් දැනගත්තා. අපට එතරම් ප්‍රේම කරන වෙනත් පියෙක් සිටිනවාද?

දෙවි අපට මෙතරම් ප්‍රේම කිරීම ගැන ඔහුට ස්තුතිවන්ත වෙන්න පුළුවන් කොහොමද? ඔහු ගැනත් අප වෙනුවෙන් ඔහු කිරීමට අරමුණු කර තිබෙන දේවල් ගැනත් ඉගෙනගන්න. (යොහන් 17:3) ඔහු දී තිබෙන අණපනත් පිළිපදින්න. (1 යොහන් 5:3) දෙවි මෙන් අන් අයට ප්‍රේමයෙන් සලකන්න. (1 යොහන් 4:11) අප එසේ කරනවා නම් යෙහෝවා දෙවිව අපේ පියා ලෙස සලකන බවත් අපි ඔහුගේ කීකරු දරුවන් බවත් පෙන්විය හැකියි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. බයිබලයේ බොහෝ අවස්ථාවලදී යෙහෝවා දෙවිව පියාණන් ලෙස හඳුන්වා තිබෙනවා. උදාහරණයකට යේසුස්, යෙහෝවා දෙවිව “පියාණෙනි” ලෙස ඇමතූ අවස්ථා 65ක් පමණ මතෙව්, මාක් සහ ලූක් යන පොත්වලත් අවස්ථා 100කට වඩා වැඩියෙන් යොහන් පොතෙත් සඳහන් වෙනවා. පාවුල් යෙහෝවා දෙවිව පියාණන් ලෙස ඇමතූ අවස්ථා 40කට වඩා වැඩියෙන් ඔහුගේ ලිපිවල සඳහන් වී තිබෙනවා. යෙහෝවා දෙවි අප සියලුදෙනාගේම පියා වන්නේ ඔහු අපට ජීවිතය දුන් නිසයි.

^ 9 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන යෙහෝවාට ළං වන්න යන පොතේ 24වෙනි පරිච්ඡේදය බලන්න.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියා අවබෝධ කරගත් විට ඔහුට කැමැත්තෙන්ම කීකරු වෙන්න අප පෙලඹෙනවා

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා දෙවිව අපේ පියා ලෙස සලකන බවත් අපි ඔහුගේ කීකරු දරුවන් බවත් පෙන්වන්න අපට පුළුවන්

[21වන පිටුවේ පින්තූර⁄කොටුව]

අපේ පියාණන් වන යෙහෝවා දෙවි ප්‍රේමය පෙන්වන ආකාර

අප ගැන සතුටු වෙනවා

කාරුණිකයි

අපව ආරක්ෂා කරනවා

අපව හික්මවනවා

අපේ අවශ්‍යතා සපුරනවා