Skip to content

පටුනට යන්න

දුක් වේදනාවලට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි?

දුක් වේදනාවලට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි?

දුක් වේදනාවලට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි?

බොහෝදෙනා දෙවිට යාච්ඤා කළත් දෙවි කෙනෙක් සිටිනවාද කියා ඔවුන් සැක කරන්නේ ඇයි? සමහරවිට ඊට හේතුව ලොව පුරාම දුෂ්ටකම් බහුලව සිදු වීම විය හැකියි. ඒ දුෂ්ටකම්වලට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි කියා ඔබ කල්පනා කර තිබෙනවාද?

දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ දුක් විඳ මිය යන්නද? දෙවි එසේ කළා නම් ඒ වගේ දෙවි කෙනෙකුට නමස්කාර කරන්න අපි කිසිම කෙනෙක් පෙලඹෙන්නේ නැහැ. මේ උදාහරණය බලන්න. ඉතා අලංකාර නවීනතම වාහනයක් ඔබ දකිනවා. නමුත් ඔබ එය ළඟට කිට්ටු වෙද්දී එහි එක් පැත්තක් තැළී තිබෙනවා ඔබ දකිනවා. එය එම වාහනය සෑදූ කෙනාගේ වරදක්ද? නැහැ. ඔහු එය සෑදුවේ කිසිම පලුද්දක් නැතුව. එය තැළී ඇත්තේ යම් කෙනෙක් අතින් සිදු වූ අනතුරක් නිසා බව ඔබ තේරුම්ගන්නවා.

දෙවි මුළු විශ්වයම නිර්මාණය කළේ ඉතා අලංකාරවයි. නමුත් අද මුළු පොළොව පුරාම බොහෝ දුෂ්ටකම් සිදු වෙනවා. එසේ සිදු වන්නේ එය නිර්මාණය කළ කෙනාගේ වරදක් නිසාද? දෙවි මිනිසාව නිර්මාණය කළේ කිසිම අඩුවක් නැතුව බවත් පසු කාලයකදී ඔවුන් දෙවිට අකීකරු වූ නිසා ඔවුන්ට දුක් විඳීමට සිදු වූ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ද්විතීය කතාව 32:4, 5) නමුත් සියලුම දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. දෙවි තවමත් එය ඉටු කර නැත්තේ ඇයි?

දෙවි මෙතරම් ප්‍රමාද ඇයි?

එය තේරුම්ගැනීමට මිනිසුන්ව පාලනය කරන්න අයිතිය තිබෙන්නේ කාටද කියා දැනගත යුතුයි. යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ඔවුන්වම පාලනය කිරීමේ හැකියාව ඇතුව නෙවෙයි. බයිබලයේ සඳහන් මේ දෙයින් එය පැහැදිලියි. “තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.” (යෙරෙමියා 10:23) එම නිදහස අයුතු ලෙස යොදාගත් මුල් මිනිස් යුවළ දෙවිට අකීකරු වුණා. එතැන් පටන් ඔවුන්ට පව්කාරකම උරුම වුණා. (1 යොහන් 3:4) ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන අයටත් දුක් විඳින්න සිද්ධ වුණා.

මිනිසුන්ට තමන්වම පාලනය කිරීමේ හැකියාව තිබෙනවාද කියා ඔවුන්ටම තේරුම්ගන්න දෙවි ඉඩහැර තිබෙනවා. ඉතිහාසයේ සිට මේ දක්වා සිදු වී තිබෙන දේවල් දෙස බැලීමෙන් මිනිසුන්ගේ පාලනය මොන තරම් අසාර්ථකද කියා අපට තේරුම්ගන්න පුළුවන්. කිසිම මිනිස් ආණ්ඩුවකට යුද්ධ, අපරාධ, වසංගත හෝ අයුක්තියට නිමාවක් ගෙනෙන්න හැකි වී නැහැ.

ප්‍රශ්න ගැටලුවලට නිමාවක්!

ධර්මිෂ්ඨකම දසත පැතිරුණු පොළොවක ජීවත් වෙන්න ළඟදීම මිනිසුන්ට අවස්ථාව ලබා දෙන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. (2 පේතෘස් 3:13) ඒ කාලයේ ජීවත් වීමට අවස්ථාව ලැබෙන්නේ කැමැත්තෙන්ම දෙවිට කීකරු වන අයට පමණයි.—ද්විතීය කතාව 30:15, 16, 19, 20.

දෙවිගේ ‘විනිශ්චය සිදු වන දවසේදී’ සියලුම දුෂ්ටකම් අවසන් වෙනවා. (2 පේතෘස් 3:7) ඉන්පසු මිනිසුන්ව පාලනය කරන්නේ යේසුස්. (දානියෙල් 7:13, 14) ඒ කාලය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:11.

“ජීවිතයේ උල්පත” වන යෙහෝවා දෙවිට අකීකරු වීම නිසා මිනිසුන්ට මුහුණ දීමට සිදු වූ අසනීප, මහලු විය සහ මරණය යේසුස් සම්පූර්ණයෙන්ම නැති කරනවා. (ගීතාවලිය 36:9) ඔහුව රජ ලෙස පිළිගන්නා සෑම කෙනෙකුටම ඒ කාලයේදී බොහෝ ආශීර්වාද ලැබෙනවා. ඒ අතරින් කිහිපයක් අපි දැන් බලමු.

▪ “දේශයේ වාසය කරන සියල්ලන්ගේ වරදට සමාව දෙනු ලබයි. කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.

▪ “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4.

දෙවි ළඟදීම දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙන බව දැන සිටීම කොයි තරම් සහනයක්ද! ඔහු අද දුෂ්ටකම්වලට ඉඩහැර තිබුණත් අපේ යාච්ඤාවලට ඔහු සවන් දෙනවාද කියා සැක කිරීමට කිසිම හේතුවක් නැහැ.

ඔබ මුහුණ දෙන සෑම කටුක අද්දැකීමක්ම හොඳින් තේරුම්ගන්නා දෙවි ඕනෑම අවස්ථාවක ඔබ කරන යාච්ඤාවලට සවන් දෙනවා. දුක් කම්කටොලුවලින් තොර ප්‍රීතිමත් කාලයක් ලබා දීමට ඔහු සිටින්නේ මහත් ආශාවෙන්.