Skip to content

පටුනට යන්න

දූෂිත ලොවක අවංකව

දූෂිත ලොවක අවංකව

‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.’—හෙබ්‍රෙව් 13:18.

අපේ පව්කාර ස්වභාවය අපිව මොන තරම් වරදට පොලඹවන්න හැදුවත් අවට සිටින මිනිසුන් කොයි තරම් බලපෑම් කළත් යක්ෂයා කොයි තරම් අපිව මුළා කරන්න උත්සාහ කළත් එයට එරෙහිව ඉන්න අපිට පුළුවන්. යෙහෝවා දෙවිට ළං වීමෙන් සහ බයිබලයේ ඇති මඟ පෙන්වීම් පිළිපැදීමෙන් එය කළ හැකියි. ඒ බව පහත සඳහන් අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා.

බයිබල් ප්‍රතිපත්තිය: “මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න.”—රෝම 12:2.

“බයිබලය ඉගෙනගන්නකොට අවංකව කටයුතු කිරීම මොන තරම් වැදගත්ද කියලා මම දැනගත්තා.”—ගිලමේ

සැබෑ අද්දැකීමක්: බ්‍රසීලයේ සිටින ගිලමේ සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහු පවසන්නේ වංක සමාජයක අවංකව කටයුතු කිරීම පහසු නැහැ කියායි. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “තම ව්‍යාපාර ඉලක්ක අත් කරගන්නත් තරඟකාරී ලෝකයේ තම ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන්නත් දරන උත්සාහය නිසා බොහෝ අය වංකකමේ උගුලට ඉතාමත් ලෙහෙසියෙන් හසු වෙනවා. අත යට කෙරෙන ගනු දෙනු අද සාමාන්‍ය දෙයක් වෙලා. ඒ වගේ වාතාවරණයක් යටතේ ව්‍යාපාර ලෝකයට පිවිසෙන නවකයන්ට අවංකව කටයුතු කිරීම අභියෝගයක්.”

නමුත් ගිලමේ වංක වීමේ උගුලට හසු වුණේ නැහැ. ඔහු දිගටම අවංකව කටයුතු කළා. ඔහු තවදුරටත් පවසන්නේ මෙසේයි. “ලෝකේ පුරාම වංක ව්‍යාපාර තිබුණත් අපිට අවංකව කටයුතු කරන්න පුළුවන්. එහෙම කරන්න නම් අපි සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න ඕනේ. බයිබලය ඉගෙනගන්නකොට අවංකව කටයුතු කිරීම මොන තරම් වැදගත්ද කියලා මම දැනගත්තා. අවංක කෙනෙක්ට යහපත් හෘදය සාක්ෂියක්, සන්සුන් මනසක් වගේම ආත්ම ගෞරවයක් ඇතුව ඉන්නත් පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමාජයට හොඳ ආදර්ශයක් වෙන්නත් පුළුවන්.”

බයිබල් ප්‍රතිපත්තිය: “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත. ඔවුන් හසු වන්නේ උගුලකටය.”—1 තිමෝති 6:9, 10.

“බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්තු නිසා මට හොඳ නමක් ලැබුණා”—ඔන්ඩ්‍රේ

සැබෑ අද්දැකීමක්: ඔන්ඩ්‍රේ ආරක්ෂක පද්ධති සවි කිරීමේ සේවාවන් සපයන ආයතනයක අයිතිකරුවෙක්. ඔහු පාපන්දු ක්‍රීඩා සමාජයකට තම සේවාව ලබා දුන්නා. විශාල තරඟාවලියකට පසුව තමන්ට හිමි මුදල් ලබාගැනීමට ගිය අවස්ථාවේදී එම කාර්යාලයේ අය ඉතා කාර්යබහුලව සිටියා. ඒ නිසා ඔන්ඩ්‍රේ ඇතුළු මුදල් ලබාගැනීමට පැමිණ සිටි අයට ඔවුන් ඉක්මනින්ම මුදල් ලබා දුන්නා.

“ගෙදර යන ගමන් මං සල්ලි ගණන් කරලා බලද්දී එතන වැඩිපුර සල්ලි තිබුණා. කාටද වැඩිපුර සල්ලි ගියේ කියලා එයාලා දන්නේ නැහැනේ. ඒ නිසා කීයටවත් මාව අහු වෙන්නේ නැහැ. ඒත් කවුරු හරි අහිංසකයෙකුට ඒ පාඩුව ගෙවන්න වෙයි කියලා හිතුණ නිසා මම ආපහු ගිහින් වැඩිපුර සල්ලි ටික භාර දුන්නා. එතන හිටිය සුපර්වයිසර්ට වෙච්ච දේ අදහාගන්න බැරුව මෙහෙම කිව්වා. ‘මේ වෙනකං කවදාවත් කවුරුත් මෙහෙම දෙයක් කරලා නැහැ.’”

“එදා ඉඳලා මට සුපර්වයිසර්ගේ හොඳ හිත දිනාගන්න පුළුවන් වුණා. අපි වගේම තවත් කොන්ත්‍රාත් පදනම යටතේ සේවා සපයපු ආයතන තිබුණත් දිගටම ඒ කොන්ත්‍රාත්තුව ලැබුණේ අපිට විතරයි. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්තු නිසා මට හොඳ නමක් ලැබුණා.”

අල්ලස් හා දූෂණ සඳහා මොන තරම් පෙලඹීම් ආවත් දෙවිගේ ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් එයින් ආරක්ෂා වෙන්න අපිට පුළුවන්. ඒත් අපි මොන තරම් උත්සාහ කළත් අල්ලස් හා දූෂණ සම්පූර්ණයෙන්ම නැති කරන්න අපිට බැහැ. එය මේ සමාජය තුළ ගැඹුරටම මුල් බැහැලා. ඉන් අදහස් කරන්නේ මේ දූෂිත ක්‍රියාවලට නිමාවක් නැති බවද? ඊට පිළිතුර ඊළඟ ලිපියෙන් බලමු.