Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

“තවත් හත්දෙනෙකු” සමඟ ඔහුවද ආරක්ෂා කළා

“තවත් හත්දෙනෙකු” සමඟ ඔහුවද ආරක්ෂා කළා

අවටින් ඇසෙන්නේ මහා ජල කඳ පොළොවට ඇද හැළෙන බිහිසුණු හඬයි. නැවේ අඳුර මැකීමට දල්වා තිබෙන පහන් එළියෙන්, එක පොදියට ගුලි වී සිටින නෝවාගෙත් ඔහුගේ පවුලේ අයගෙත් මුහුණු යන්තමින් මෙන් පෙනෙයි. ඒ බියකරු හඬට ඔවුන් සවන් දී සිටින ආකාරය ඔබට සිතින් මවාගත හැකිද? ඔවුන්ගේ ඇස් පනා පිටම මේ සිදු වන්නේ මිනිස් ඉතිහාසයේ දරුණුතම විනාශයයි.

භීතිය ලොවම වෙළාගත් මොහොතක තමා වැඩියෙන්ම ආදරය කරන අය තමා ළඟින්ම සිටීම ගැන නෝවාට කෙසේ හැඟෙන්න ඇද්ද? තම දයාබර බිරිඳත් තමාට නොමද සහයක් දුන් පුතුන් තිදෙනා හා ලේලියනුත් සුරක්ෂිතව සිටින අයුරු බලා නෝවා සැනසුම් සුසුමක් හෙළන්න ඇති. අවටින් ඇසෙන මහා ඝෝෂාව පරදවමින් නෝවා ඒ මොහොතේ හඬ නඟා තම පවුලේ අය සමඟ එක්ව යෙහෝවා දෙවිට ස්තුති කරන්න ඇති.

නෝවා ශක්තිමත් විශ්වාසයක් තිබූ කෙනෙක්. ඔහුවත් ඔහුගේ පවුලේ අයවත් මහා ජලගැල්මෙන් ආරක්ෂා කිරීමට දෙවියන් පියවර ගත්තේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 11:7) ඔවුන් නැවේ සිටි කාලය පුරාම ඒ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගැනීම අවශ්‍ය වුණා. මන්ද ඔවුන් ඉදිරියේ තිබුණේ අභියෝගාත්මක කාලයක්. නෝවාට මෙන් අපටත් මේ කැලඹුණු මිනිස් සමාජය තුළ අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා අපිත් විශ්වාසය ඇතුව සිටීම ඉතා වැදගත්. නෝවාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියා දැන් බලමු.

“දහවල් හතළිහක්ද රාත්‍රි හතළිහක්ද”

මහා වර්ෂාව ‘දහවල් හතළිහක් හා රාත්‍රි හතළිහක්’ පුරා ඇද හැළුණා. (උත්පත්ති 7:4, 11, 12) ටිකෙන් ටික මහා ජල කඳ පොළොව වසාගත්තා. මෙසේ දුෂ්ටයන්ට දඬුවම් කරන අතරවාරයේ ධර්මිෂ්ඨයන්ව ආරක්ෂා කිරීමට යෙහෝවා දෙවිට ඇති හැකියාව නෝවා මනාව දුටුවා.

ජලගැල්මත් සමඟම දුෂ්ට දේවදූතයන් පිරිසක් දියත් කළ කැරැල්ලක අවසානය සනිටුහන් වුණා. එම කැරැල්ල ආරම්භ වුණේ ඔවුන් ස්වර්ගයේ තමන්ට “නියමිත වාසස්ථානය අත්හැර” පොළොවට පැමිණීමත් සමඟයි. සාතන්ගේ බලපෑමට හසුව සිටි ඔවුන් පොළොවට පැමිණියේ මනුෂ්‍ය දූවරුන්ව විවාහ කරගැනීමේ අරමුණින්. ඔවුන්ට බිහි වූ අසාමාන්‍ය සවිශක්තියක් තිබූ දරුවන් නිසා දුෂ්ටකම තව තවත් වැඩි වුණා. (යූද් 6; උත්පත්ති 6:4) ඒ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස පොළොව මත දෙවියන් නිර්මාණය කළ උසස්ම ජීවියා පිරිහෙනවා දැකීමෙන් සාතන් අපමණ සතුටක් ලැබූ බව ස්ථිරයි.

කෙසේවෙතත් ජලගැල්මෙන් ඒ දුෂ්ට මිනිස් සමාජය විනාශ වී ගියා. තම භාර්යාවන් හා දරුවන් විනාශ වෙනවා දැක දැකත් ඒ දුෂ්ට දේවදූතයන් තම දිවි ගලවාගැනීමට මිනිස් වෙස් අත්හැර ස්වර්ගයට ගියා. ඔවුන්ට නැවත කිසිදාක මිනිස් වෙස් ගන්න හැකියාවක් නැහැ.

දෙවිට ගෞරවයක් නොදැක්වූ දුෂ්ට මිනිසුන් පිටට විනාශයක් ගෙනෙන බවට දෙවියන් අනතුරු ඇඟෙව්වේ ජලගැල්ම ගෙන ඒමට සියවස් හතකට පමණ පෙරයි. එනම් ඒනොක්ගේ කාලයේ සිටයි. (උත්පත්ති 5:24; යූද් 14, 15) නමුත් කිසිවෙක් ඒ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගත්තේ නැහැ. ඔවුන් තව තවත් දුෂ්ටකම් කළා. ඒ නිසා ඔවුන් විනාශ වෙන එක ගැන නෝවා හා ඔහුගේ පවුලේ අය සතුටු වෙන්න ඇද්ද? කොහෙත්ම නැහැ.

දුෂ්ටයන්ව විනාශ කිරීමෙන් යෙහෝවා දෙවියන් සතුටක් ලැබුවේ නැහැ. (එසකියෙල් 33:11) ඔවුන්ව බේරාගැනීමට හැකි සෑම දෙයක්ම දෙවියන් කළේ ඒ නිසයි. විනාශය ගැන අනතුරු අඟවන්න ඒනොක්ව පත් කළා. විනාශයෙන් බේරෙන්න නැවක් හදන්න කියා නෝවාට කිව්වා. දශක ගණනක් පුරා නෝවා තම පවුලේ අය හා එක්ව වෙහෙස මහන්සි වී ඒ නැව හදනවා මිනිසුන් දැක්කා. ‘ධර්මිෂ්ඨකම ගැන දේශනා කිරීමටත්’ යෙහෝවා දෙවියන් නෝවාව පත් කළා. (2 පේතෘස් 2:5) ඒනොක් මෙන් නෝවාත් පැමිණෙන විනාශය ගැන මිනිසුන්ට අනතුරු ඇඟෙව්වා. නමුත් ඔවුන් සවන් දුන්නේ නැහැ. ස්වර්ගයේ සිට මේ සියල්ල බලා සිටි යේසුස් නෝවාගේ කාලයේ මිනිසුන් ගැන පැවසුවේ මෙයයි. “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ.”—මතෙව් 24:39.

පවුලේ අය හා සතුන් සමඟ නෝවා නැවට ඇතුල් වූ පසු දෙවියන් එහි දොර වැසුවා. ධාරාණිපාත වර්ෂාව පොළොවට ඇද හැළෙන්න පටන්ගත්තේ ඉන්පසුවයි. නොනවත්වා වර්ෂාව කඩා හැළෙන අතරතුරේ නෝවා හා පවුලේ අය නැව තුළ විවිධ කාර්යයන්වල නියැලෙන්න ඇති. එකිනෙකාගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙමින්, තාවකාලික නිවහන පිළිවෙළකට තබාගැනීමට එය අස්පස් කරමින් හා තම රැකවරණයේ සිටි සතුන්ගේ අවශ්‍යතාවන් සපයමින් ඔවුන් කාලය ගෙවන්න ඇති. නමුත් දිනක් නොසිතූ මොහොතක මේ සද්දන්ත නැව සෙලවී ඒ මේ අත පැද්දෙන්න පටන්ගත්තා. පොළොවට කඩා හැළුණු ‘ජලය එන්න එන්නම වැඩි වෙද්දී නැවද ටිකෙන් ටික ඉහළට නැඟී පාවුණා.’ (උත්පත්ති 7:17) යෙහෝවා දෙවි සතු අතිමහත් බලය එමගින් මනාවට පිළිබිඹු වුණා.

තමන්වත් තම පවුලේ අයවත් ආරක්ෂා කිරීම ගැන පමණක් නොව දුෂ්ටයන්ට අනතුරු ඇඟවීමට ඔවුන්ව පාවිච්චි කිරීමෙන් දෙවියන් පෙන්වූ දයාව ගැනත් නෝවා මොන තරම් ස්තුතිවන්ත වෙන්න ඇද්ද! වසර ගණනක් පුරා මේ විනාශය ගැන නෝවා මිනිසුන්ට අනතුරු ඇඟෙව්වා. නමුත් කිසි කෙනෙක්, අඩුම තරමේ ඔහුගේ සහෝදර සහෝදරියන්වත් ඔවුන්ගේ දරු දැරියන්වත් ඔහුට සවන් දුන්නේ නැහැ. (උත්පත්ති 5:30) ඔහු කළ වැඩේ නිෂ්ඵල දෙයක් මෙන් පෙනෙන්න ඇති. නමුත් ජලයෙන් මුළු පොළොවම වැසී යද්දී නැවේ සුරක්ෂිතව සිටි නෝවාට හා පවුලේ අයට තමන් කළ සේවය ගැන මොනවා හිතෙන්න ඇද්ද? ජලගැල්මෙන් මිනිසුන්ව බේරගන්න තමන් නොසෑහෙන වෙහෙසක් දැරුවා කියා සිතා ඔවුන් සැනසෙන්න ඇති.

නෝවාගේ කාලයේ මෙන් අදත් දුෂ්ටකම පිරිලා. යේසුස්ම පැවසුවේ මේ කාලයේ “සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදුවීම්වලට සමානයි” කියලයි. (මතෙව් 24:37) අපි ජීවත් වන මේ බිහිසුණු සමාජයට නිමාවක් ගෙනෙන්න දෙවියන් දැනටමත් නියම කර අවසන්. දෙවියන් නෝවාගේ කාලයේ දුෂ්ටකම්වලට නිමාවක් ගෙන ආවා නම් අනිවාර්යයෙන් දැනුත් ඒ දේ කරනවා. මන්ද යෙහෝවා දෙවි වෙනස් නොවන කෙනෙක්. (මලාකි 3:6) නෝවා මෙන් දෙවිගේ සේවකයන්ද ඒ විනාශය ගැන මිනිසුන්ට අනතුරු අඟවනවා. ඔබ එම අනතුරු ඇඟවීම පිළිගන්නවාද? ඔබ දැනටමත් එය පිළි අරගෙන නම් ඒ ගැන අනිත් අයට කියන්න පියවර ගන්නවාද?

‘ජලයෙන් තම දිවි ගලවාගත්තා’

මහා ජල කඳ මත නැව ඒ මේ අත පාවී යද්දී විවිධ ශබ්ද නැඟෙන්න ඇති. විශාල රැලි නැවේ ගැටෙද්දී නැවට හානියක් වෙයි කියා සිතා නෝවා කලබල වුණාද? නැහැ. විශ්වාසය අඩු කෙනෙක් නම් එවැනි අවස්ථාවකදී කලබල වෙයි. නෝවා එවැනි කෙනෙක් නෙමෙයි. ඔහු ගැන බයිබලයේ කියන්නේ “නෝවා තුළ තිබූ විශ්වාසය නිසා . . . නැවක් සෑදුවේය” කියායි. (හෙබ්‍රෙව් 11:7) නෝවාට විශ්වාසය තිබුණේ කුමක් ගැනද? නෝවාගෙත් ඔහු සමඟ නැවේ සිටි සෑම කෙනෙකුගෙත් ජීවිත ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් දෙවියන් ඔහු සමඟ ගිවිසුමක් ඇති කරගෙන තිබුණා. (උත්පත්ති 6:18, 19) නෝවා ඒ පොරොන්දුව විශ්වාස කළා. මේ මුළු විශ්වයම නිර්මාණය කළ යෙහෝවා දෙවිට නැව ආරක්ෂා කිරීම සුළු දෙයක්. ඒ නිසා දෙවිගේ පොරොන්දුව සැක කරන්න නෝවාට කිසිම හේතුවක් තිබුණේ නැහැ. දෙවියන් පොරොන්දු වූ ලෙසම ඔවුන් අටදෙනා ‘අනතුරක් නැතුව ජලයෙන් තම දිවි ගලවාගත්තා.’—1 පේතෘස් 3:20.

නොනවත්වාම කඩා හැළුණු වර්ෂාව දින 40කට පසු එනම් ක්‍රිස්තු පූර්ව 2370 දෙසැම්බර් මාසයේ නතර වුණා. නමුත් ඔවුන්ට නැවෙන් පිටතට පැමිණීමට කාලය පැමිණ තිබුණේ නැහැ. මුළු පොළොවම ජලයෙන් වැසී ගොස් තිබුණා. එය කඳු මුදුන් අබිබවා ඉහළට නැඟී තිබුණා. (උත්පත්ති 7:19, 20) ඒ මහ සාගරය මත නැව ඒ මේ අත පාවුණා. ඒ කාලය අතරතුර නැවේ සිටි සතුන්ට අවශ්‍ය ආහාර පාන දීමටත් උන්ව පිරිසිදුව, නිරෝගීව තබාගැනීමටත් කය වෙහෙසා කළ යුතු වැඩ නෝවා තම පුතුන් තිදෙනා සමඟ සහයෝගයෙන් කරන්න ඇති. කිසිම කරදරයක් නැතුව පිළිවෙළින් වනසිවුපාවුන්ව නැවට ඇතුල් කළ දෙවියන් ඒ කාලය පුරාම උන්ව සන්සුන්ව නැව තුළ තබාගත් බව නිසැකයි. a

ඒ කාලය පුරා සිදු වුණු හැම දෙයක්ම නෝවා ඉතා පිළිවෙළින් වාර්තා කර තබන්න ඇති. වර්ෂාව පටන්ගත් දවසත් එය අවසන් වූ දවසත් නිවැරදිව වාර්තා කර තිබෙනවා. දවස් 150ක් පුරා පොළොව සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී තිබූ බවත් එහි සඳහන් වෙනවා. ජලය ටිකෙන් ටික බැස යන්න පටන්ගත්තේ ඉන්පසුවයි. ක්‍රිස්තු පූර්ව 2369 අප්‍රියෙල් මාසේ එක දවසක නැව පාවී ගොස් “අරරත් කඳුකරය මත” නැවතුණා. එම කඳුකරය පිහිටා තිබෙන්නේ තුර්කියේ. ඉන් දවස් 73කට පසු එනම් ජූනි මාසයේදී පමණ කඳු මුදුන් පෙනෙන්න පටන්ගත්තා. මාස තුනකට පසු ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේදී නෝවා නැවේ වහලෙන් කොටසක් විවෘත කළා. එය පහසු කටයුත්තක් නොවුණත් හිරු ආලෝකය නැව තුළට ඇතුල් වී නැවුම් සුළඟෙන් ගත ප්‍රබෝධවත් වෙද්දී ඒ වෙනුවෙන් දැරූ වෙහෙස මැකී යන්න ඇති. කොහොමවුණත් නැවේ වහලෙන් කොටසක් විවෘත කිරීමට කලින් ඔහු අවට පරිසරය ගැන විපරම් කර බැලීමට අමතක කළේ නැහැ. ඔහු මුලින්ම කපුටෙකුව නැවෙන් පිටතට යැව්වා. ඌ පියාසර කර යළිත් නැවට හැරී ආවා. කිහිප වතාවක්ම ඌ එසේ කළා. ඉන්පසු නෝවා පරෙවියෙකුව පිටතට යැව්වා. ඌත් ලගින්න තැනක් හම්බ වෙන තෙක් නැවට හැරී ආවා.—උත්පත්ති 7:24–8:13.

දුෂ්කරතා මැද පවා පවුලේ නමස්කාරය නෝවා අතපසු නොකළ බව නිසැකයි

නැවේ සිටි කාලය පුරා විවිධ කාර්යයන්වල යෙදෙන්න සිදු වුණත් නෝවා මුල් තැන දෙන්න ඇත්තේ යෙහෝවා දෙවි සමඟ තිබුණු බැඳීම දිගටම ශක්තිමත්ව තබාගැනීමට අවශ්‍ය දේ කරන්නයි. පවුලේ හැමෝම එක්ව දෙවිට යාච්ඤා කරන්න ඇති. ඔවුන්ගේ දිවි රැක දුන් දෙවි පියාණන් ගැන එකිනෙකා සමඟ අගයෙන් යුතුව කතා කරන්න ඇති. ඒ කාලය පුරාම වැදගත් තීරණයක් ගන්න සිදු වුණු හැම වතාවකම නෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා. ජලය හිඳී ගොස් පොළොව වියළී තිබෙන බව දැක්කත් නෝවා නැවේ දොර විවෘත කර සතුන් සමඟ පිටතට යන්න හැදුවේ නැහැ. (උත්පත්ති 8:14) අවුරුද්දකට වඩා වැඩි කාලයක් පුරා නැවටම කොටු වී සිටි නිසා එළියට යන්න ඔවුන්ට මහත් ආසාවක් තියෙන්න ඇති. නමුත් දෙවියන් පවසන තෙක් ඔහු එසේ කළේ නැහැ.

පවුලේ මූලිකත්වය ගෙන වැඩ කරන පුරුෂයෙනි, නෝවාගෙන් ඔබට උගත හැකි දේ බොහෝයි. ඔහු ඉතා පිළිවෙළකට වැඩ කළ, කඩිසර, ඉවසිලිවන්ත කෙනෙක්. ඔහුගේ රැකවරණයේ සිටි සියලුදෙනාව ඔහු ආදරෙන් රැකබලා ගත්තා. ලොකු කුඩා සෑම කාරණයකදීම නෝවා යෙහෝවා දෙවිගේ කැමැත්තට මුල් තැන දුන්නා. ඔබ නෝවාව ඒ පැතිවලින් ආදර්ශයට ගත්තොත් ඔබ ආදරේ කරන අයට බොහෝ ආශීර්වාද අද්දකින්න ලැබෙයි.

“නැවෙන් පිටතට යන්න”

දෙවියන් නෝවාට මෙහෙම කිව්වා. “ඔබේ භාර්යාව හා පවුලේ අනිකුත් සියලුදෙනා සමඟ නැවෙන් පිටතට යන්න.” ඊට කීකරු වී ඔවුන් නැවෙන් පිටතට ගියා. ඔවුන් පසුපසින් සතුන්ද පිටතට ගියා. සතුන් “තම තමාගේ වර්ගයට අනුව” නැවෙන් පිටතට ගිය බවයි බයිබලයේ සඳහන් වෙන්නේ. ඉන් පෙනී යන්නේ උන් කලබල කරමින් අපිළිවෙළකට නොගිය බවයි. (උත්පත්ති 8:15-19) කඳු හෙල් අතරින් හමා ආ සුළඟ ඇඟේ දැවටෙද්දී අරරත් කඳුකරයේ අසිරිය දකිද්දී නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! ඔවුන් පය තැබුවේ දුෂ්ටකම තුරන් වූ ලොවකටයි. b ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමින් නව මිනිස් සමාජයක ආරම්භය ඔවුන් සනිටුහන් කළා.

නැවෙන් පිටතට පැමිණි නෝවා මුලින්ම කළේ පූජාසනයක් සාදා, හත්දෙනා බැගින් නැවට රැගෙන ගිය පවිත්‍ර සතුන්ගෙන් කිහිපදෙනෙකුව දවා පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කිරීමයි. (උත්පත්ති 7:2; 8:20) දෙවියන් ඒ පූජාව ගැන සතුටු වුණාද?

“පූජාවෙන් නැඟී ආ සුවඳ යෙහෝවා දෙවිට ප්‍රසන්න විය” කියා වාර්තාවේ සඳහන් වෙනවා. සියවස් ගණනක් පුරා මිනිසුන් කළ දුෂ්ටකම් නිසා දෙවිගේ සිතට මහත් වේදනාවක් දැනුණත් දෙවිගේ කැමැත්තට මුල් තැන දී කටයුතු කළ මේ විශ්වාසවන්ත පවුල දැකීමෙන් දෙවි කොතරම් සතුටු වන්න ඇද්ද! කොහොමවුණත් ඔවුන් අතින් කිසි වරදක් නොවෙයි කියා දෙවියන් බලාපොරොත්තු වුණේ නැහැ. මන්ද ‘කුඩා කල පටන් මිනිසාගේ සිත නපුරටම යොමු වී තිබෙන’ බව දෙවියන් හොඳ හැටි දැන සිටියා.—උත්පත්ති 8:21.

ආදම් හා ඒව දෙවිට අකීකරු වූ නිසා මුළු භූමියම ශාප ලත් තත්වයකට පත් වුණා. එදා සිට වගා කටයුතු කිරීම පහසු කාර්යයක් වුණේ නැහැ. නමුත් දෙවිට මිනිසුන් ගැන තිබුණු දයානුකම්පාව නිසා ජලගැල්මෙන් පසු ඒ ශාපය ඉවත් කළා. නෝවා මාර්ගයෙන් ඒ ශාපය නැති වී මිනිස් වර්ගයාට සැනසීමක් ලැබෙයි කියා නෝවා ඉපදුණු අවස්ථාවේ ඔහුගේ පියා වූ ලාමෙක් පවසා තිබුණා. “විවේකය හෝ සැනසීම” යන අර්ථය ඇතැයි කියා සිතිය හැකි නෝවා යන නම ලාමෙක් ඔහුට තැබුවේ ඒ නිසයි. පියා පැවසූ ලෙස ශාපය ඉවත් වී පොළොවෙන් සරු අස්වැන්නක් ලබාගත හැකියි කියා දැනගන්න ලැබුණු විට නෝවා කොතරම් සතුටු වන්න ඇද්ද! ජලගැල්මෙන් පසු නෝවා වගා කටයුතු පටන්ගන්න ඇත්තේ ඒ නිසයි.—උත්පත්ති 3:17, 18; 5:28, 29; 9:20.

ඔවුන් පය තැබුවේ දුෂ්ටකම තුරන් වූ ලොවකටයි

දෙවියන් නෝවාටත් ඔහුගෙන් පැවත ආ අයටත් පැහැදිලි නීති රීතිද ලබා දුන්නා. මිනී මැරීම තහනම් බවත් රුධිරය අනුභව කිරීමෙන් වැළකී සිටින්න කියාත් දෙවියන් පැවසුවා. ඒ වගේම ජලගැල්මකින් නැවත කිසිදාක පොළොවේ සිටින ජීවීන්ව විනාශ නොකරන බවට පොරොන්දු වෙමින් යෙහෝවා දෙවියන් මිනිස් වර්ගයා සමඟ ගිවිසුමක්ද ඇති කරගත්තා. තමන් ඒ පොරොන්දුව රකින බව සහතික කිරීමට දෙවියන් ලකුණක්ද සැපයුවා. ඒ ලකුණ නම් දේදුන්නයි. එදා සිට අද දක්වා අහසේ දේදුන්නක් පායන සෑම අවස්ථාවකදීම යෙහෝවා දෙවි මනුෂ්‍යයන්ට වූ ඒ පොරොන්දුව සිහිගැන්වෙනවා.—උත්පත්ති 9:1-17.

නෝවාගේ කතාව සුරංගනා කතාවක් නම් දේදුන්නේ සිද්ධියත් සමඟ එය අවසන් විය යුතුයි. නමුත් නෝවා සැබෑ පුද්ගලයෙක් නිසා ඉන්පසුව ඔහු මුහුණ දුන් අභියෝගද ඒ කතාවට ඇතුළත්. නැවෙන් පිටතට ආ පසු ඔහු තව අවුරුදු 350ක් ජීවත් වුණා. ඒ කාලය තුළ ඔහු බොහෝ දුක්ඛිත දේවලට මුහුණ දුන්නා. එක අවස්ථාවක නෝවා අතින් බරපතළ වරදක් වුණා. ඔහු මත් වන තුරු වයින් බිව්වා. ඒ අවස්ථාවේ නෝවාගේ මුණුබුරෙක් වූ කානාන් ඊට වඩා බරපතළ පාපයක් කළා. කානාන් කළ ඒ පාපයේ ප්‍රතිඵල ඔහුගෙන් පැවත ආ අයටත් අත්විඳින්න සිදු වුණා. නෝවාගෙන් පැවත ආ අය බොරු දෙවිවරුන්ට නමස්කාර කරමින් යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළ ආකාරයත් නිම්රොද්ගේ කාලය වන විට කුරිරුකම් යළි හිස ඔසවා තිබෙන ආකාරයත් නෝවා සියැසින් දුටුවා. ඒ දේවල් ඔහුගේ සිතට කොතරම් ශෝකයක් ගෙනෙන්න ඇද්ද! ඒ වුණත් නෝවාට සැනසෙන්න දෙයකුත් තිබුණා. නෝවාගේ පුත් ෂෙම් හා ඔහුගේ පවුලේ අය දෙවිට විශ්වාසවන්තව සිටින ආකාරය ඔහු දැක්කා.—උත්පත්ති 9:21-28; 10:8-11; 11:1-11.

මොන තරම් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වුණත් නෝවා මෙන් අපිත් විශ්වාසවන්තව සිටිය යුතුයි. සමහරු දෙවියන්ව පිළි නොගත්තත් තවත් අය සත්‍ය මාර්ගය අත්හැර ගියත් නෝවා මෙන් අපි දිගටම දෙවිට පක්ෂව ඉමු. අපේ විශ්වාසවන්තකම යෙහෝවා දෙවි බොහෝ සෙයින් අගය කරනවා. “ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි” කියා යේසුස් පැවසූ දේ කිසිදා අමතක නොකරමු.—මතෙව් 24:13.

a දෙවියන් සතුන්ව සන්සුන්ව නැව තුළ තබාගත්තේ උන්ව නිදිබර, අක්‍රිය තත්වයකට පත් කිරීමෙන් විය හැකියි කියා සමහරු සිතනවා. එසේ කිරීමෙන් උන්ට එතරම් ආහාර ලබා දීමටද අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවියන් එසේ කළාද නැද්ද කියා අපි හරියටම නොදන්නවා වුණත් එක දෙයක් ගැන ස්ථිරයි. එනම් දෙවියන් තම පොරොන්දුවට එකඟව නැවේ සිටි සියලුදෙනාගේ දිවි රැක දුන්නා.

b ඒදන් උයනත් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ ජලගැල්මත් සමඟ විය හැකියි. එය එසේනම් ඒදන් උයනට ඇතුල් වන ස්ථානය ආරක්ෂා කිරීමට සිටි කෙරුබ්වරුන්ගේ පැවරුමත් ඒ සමඟම අවසන් වුණා. ඔවුන් වසර 1600ක කාලයක් පුරා විශ්වාසවන්තව කළ පැවරුම අවසන් කර ස්වර්ගයට ගියා.—උත්පත්ති 3:22-24.