Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන අසත්‍ය ඉගැන්වීම්

දෙවියන් කුරිරුයි කියන අසත්‍ය ඉගැන්වීම

දෙවියන් කුරිරුයි කියන අසත්‍ය ඉගැන්වීම

වැඩිදෙනාගේ මතය:

“පව්කාරයන් මිය ගිය සැණින් ඔවුන්ගේ ආත්ම නරකාදියේ ‘නොනිවෙන ගින්නෙන්’ සදහටම වධ වේදනා විඳිනවා” කියලා පොතක තියෙනවා. (Catechism of the Catholic Church) නරකාදියේ ඉන්න අයගෙන් දෙවියන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්නවා කියලා සමහර ආගම්වල උගන්වනවා.

බයිබලයේ කියන දේ:

‘මිය ගිය අය කිසිවක් දන්නේ නැහැ.’ (දේශනාකාරයා 9:5) එහෙමනම් අමරණීය ආත්මයක් තියෙන්න විදිහක් නැහැ. මැරුණට පස්සේ කල්පනාව නැති වෙනවා. (ගීතාවලිය 146:4) මැරුණු කෙනෙක්ට හැඟීම් දැනීම් නැත්නම් එයා “නරකාදියේ” දුක් විඳින්නේ කොහොමද?

මිය ගිය කෙනෙකුගේ තත්වය විස්තර කරන්න හෙබ්‍රෙව් හා ග්‍රීක භාෂාවල භාවිත කළ “ෂෙයෝලය” හා “හේදීසය” කියන වචන දෙක සමහර බයිබල්වල පරිවර්තනය කරලා තියෙන්නේ “පාතාලය” හෝ “පාතාල ලෝකය” කියලයි. ඒ වචනවලින් අදහස් වෙන්නේ නරකාදිය නම්, දරුණු පීඩා විඳපු යෝබ් “අනේ! ඔබ මා පාතාල ලෝකයේ වසා දමා ඔබේ උදහස පහවන තුරු මට රැකවරණය” දෙන්න කියලා ඉල්ලයිද? (යෝබ් 14:13, ‘නව අනුවාදය’) යෝබ් ඉල්ලුවේ එයාව මිනී වළේ තියන්න කියලා මිසක් දුක් විඳින තැනකට යවන්න කියලා නෙවෙයි.

සත්‍යය දැනගන්න එක වැදගත්:

දෙවියන් කුරිරුයි කියලා හිතන අයට දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න බැහැ. මෙක්සිකෝවේ රෝසියෝ මෙහෙම කිව්වා. “මට පොඩි කාලේ ඉගැන්නුවේ වැරදි කරන අයව දෙවියන් නරකාදියට දානවා කියලයි. දෙවියන් නපුරු කෙනෙක් කියලා හිතපු නිසා මට තිබුණේ ලොකු බයක්.”

දෙවියන් හරිම සාධාරණ කෙනෙක් කියලා දැනගත්තාමත් මිය ගිය අයගේ සැබෑ තත්වය දැනගත්තාමත් රෝසියෝ හිතාගෙන හිටපු විදිහ වෙනස් වුණා. එයා මෙහෙම කිව්වා. “ටිකෙන් ටික මට තේරුණා දෙවියන් අපේ යහපත ගැන හිතන අපිට හුඟක් ආදරය කරන කෙනෙක් කියලා. ඒ වගේම මටත් දෙවියන්ට ආදරය කරන්න පුළුවන් කියලත් තේරුණා. ඒක මට ලොකු සහනයක්. දරුවෙක්ගේ අතින් අල්ලගෙන යන ආදරණීය පියෙක් වගේ දෙවි පියාණනුත් අපිට ආදරෙන් මඟ පෙන්වනවා.”—යෙසායා 41:13.

හුඟක් අය දෙවියන්ට භක්තිය පෙන්වන්නේ නරකාදියට දායි කියන බය නිසයි. හැබැයි අපි එහෙම හිතලා කීකරු වෙනවාට දෙවියන් කැමති නැහැ. යේසුස් කිව්වේ ‘ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න’ කියලයි. (මාක් 12:29, 30) දෙවියන් අසාධාරණ විදිහට කටයුතු කරලා නැත්නම් අනාගතයේදිත් ඔහු කිසිම අසාධාරණයක් කරන්නේ නැහැ කියන එක ස්ථිරයි. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.”—යෝබ් 34:10.