Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන අසත්‍ය ඉගැන්වීම්

සත්‍යය දැනගන්න එක නිදහසක්

සත්‍යය දැනගන්න එක නිදහසක්

යෙරුසලමේදී යේසුස් ඔහුගේ පියාණන් වන යෙහෝවා දෙවියන් ගැන මිනිසුන්ට කියලා දුන්න අවස්ථාවක යුදෙව් ආගමික නායකයන්ගේ වැරදි හෙළි කළා. (යොහන් 8:12-30) ඒ වෙලාවේ යේසුස් වැදගත් දෙයක් කිව්වා. ඒක අපිට උදව් වෙනවා දෙවියන් ගැන මිනිසුන් දරන අදහස් හරිද වැරදිද කියලා තීරණය කරන්න. ඔහු කිව්වේ මෙහෙමයි. “ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා. ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”—යොහන් 8:31, 32.

ඒ අනුව, සමහර ආගම්වලින් උගන්වන දේවල් සත්‍යයද කියන එක තීරණය කරන්න යේසුස්ගේ ඉගැන්වීම් හොඳ මිම්මක්. දෙවියන් ගැන කවුරු හරි කියන දෙයක් ඔයාගේ කනට වැටුණොත් මේ ගැන හිතන්න. ‘ඒ දේ යේසුස් උගන්වපු දේවලට එකඟද? ඒක බයිබලයට එකඟද?’ අතීතයේ බෙරීය නුවරේ හිටිය අය පාවුල් කියපු දේවල් ඇත්තද කියලා බලන්න ‘දිනපතාම ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කළා.’ (ක්‍රියා 17:11) ඔයාත් ඒ අය වගේ වෙන්න උත්සාහ කරන්න.

මේ සඟරාවේ මුල් ලිපියේ සඳහන් කරපු මාර්කො, රෝසා හා රේමොන්ඩ් කියන තුන්දෙනාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගෙන දෙවියන් ගැන සත්‍යය දැනගත්තා.

මාර්කො: “අපිට බයිබලය ගැන කියලා දීපු කෙනා මායි මගේ නෝනයි අහපු හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්නේ බයිබලයෙන්මයි. ඒ නිසා දෙවියන් ගැන අපේ හිතේ ලොකු ආදරයක් ඇති වුණා විතරක් නෙමෙයි මායි මගේ නෝනයි අතර තිබ්බ බැඳීමත් ශක්තිමත් වුණා.”

රෝසා: “බයිබලය, දෙවියන් ගැන මිනිස්සු හිතාගෙන හිටපු විදිහ ලියලා තියෙන පොතක් කියලයි මම මුලින් හිතුවේ. හැබැයි මට තිබ්බ හුඟක් ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර ලැබුණා. දැන් මම යෙහෝවා දෙවියන්ව සලකන්නේ විශ්වාසය තියන්න පුළුවන් සැබෑ දෙවියන් කියලයි.”

රේමොන්ඩ්: “දෙවියන්ව දැනගන්න මට උදව් කරන්න කියලා මම හුඟක් යාච්ඤා කළා. ඒ කාලෙම තමයි මායි මහත්තයයි බයිබලය ඉගෙනගන්න පටන්ගත්තේ. අපිට යෙහෝවා දෙවියන් ගැන සත්‍යය දැනගන්න ලැබුණු එක ලොකු සතුටක්.”

දෙවියන් ගැන තියෙන අසත්‍ය ඉගැන්වීම්වලට කිසිම පදනමක් නැහැ කියලා බයිබලයෙන් හෙළි වෙනවා. ඒ වගේම දෙවියන්ගේ පුදුමාකාර ගතිලක්ෂණත් බයිබලයේ විස්තර කරලා තියෙනවා. බයිබලය ලියවුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන්. ‘දෙවියන් ඉතා කාරුණිකව අපට එළිදරව් කරලා’ තියෙන දේවල් තියෙන්නේ බයිබලයේ. (1 කොරින්ති 2:12) දෙවියන් ගැන තියෙන වැරදි මත නිවැරදි කරගන්නත් ඔහුගේ අරමුණ හා අපේ අනාගතය ගැන දැනගන්නත් කැමතිද? එහෙමනම් www.ps8318.com/si කියන අපේ නිළ වෙබ් අඩවියට පිවිසිලා “බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර” යටතේ බලන්න. බයිබලය ගැන ඉගෙනගන්න කැමති නම් වෙබ් අඩවියේ තියෙන පෝරමය පුරවලා එවන්න. නැත්නම් සාක්ෂිකරුවන්ව හමු වෙන්න. බයිබලයෙන් දෙවියන් ගැන සත්‍යය දැනගත්තොත් අනිවාර්යයෙන්ම දෙවියන් ගැන ලොකු ආදරයක් ඇති වෙයි.