Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යේසුස්ගේ කාලයේ මුදල් එකතු කරන්න දේවමාලිගාවේ තිබුණු සැලැස්ම මොකක්ද?

දේවමාලිගාවේ භාණ්ඩාගාරය තිබුණේ ස්ත්‍රීන්ගේ මළුවෙයි. ඒ මළුවේ මුදල් එකතු කිරීම සඳහා මුදල් බඳුන් 13ක් තිබුණා කියා එක පොතක සඳහන් වෙනවා.The Temple—Its Ministry and Services.

ධනවතුන් මුදල් පරිත්‍යාග කරන අවස්ථාවේ දිලිඳු වැන්දඹුවක්ද සම්මාදම් දමන ආකාරය යේසුස් දැක්කේ ස්ත්‍රීන්ගේ මළුවේ සිටි අවස්ථාවකයි. (ලූක් 21:1, 2) පින්තූරයේ පෙනෙන විදිහට මේ බඳුන්වල කට කුඩාවට තිබුණු අතර බඳ කොටස විශාලව තිබුණා. ඒ බඳුන්වලට දමන මුදල් යොදාගන්නේ කුමක් සඳහාද කියා ඒ බඳුන්වල පැහැදිලිව සඳහන් කර තිබුණා.

මුලින්ම තිබුණු බඳුන් 2 වෙන් කර තිබුණේ ඉකුත් වර්ෂය හා වත්මන් වර්ෂය සඳහා ජනයා ගෙවිය යුතු දේවමාලිගා බදු මුදල් දැමීමටයි. 3 සිට 7 දක්වා තිබුණු බඳුන් වෙන් කර තිබුණේ කොබෙයියන්, පරෙවියන්, දර, සුවඳ ද්‍රව්‍ය හා රන් භාජන වෙනුවෙන් නියමිත මුදල් දමන්නයි. ඊළඟ බඳුන් 5 වෙන් කර තිබුණේ යම් පූජාවකින් ඉතුරු වූ මුදල් දැමීමටයි. උදාහරණයකට 8වෙනි බඳුන තිබුණේ පාප පූජාවක් කළ පසු ඉන් ඉතුරු වූ මුදල් දැමීමටයි. ඒ වගේම 9 සිට 12 දක්වා තිබුණු බඳුන් වෙන් කර තිබුණේ කොබෙයියන් හෝ පරෙවියන් පූජා කිරීමෙන්, නසරීතවරුන්ගේ පූජාවලින්, පවිත්‍ර වූ ලාදුරු රෝගීන් කළ පූජාවලින් හා වන්දි පූජාවලින් ඉතුරු වූ මුදල් දැමීම සඳහායි. 13වෙනි බඳුනේ දැමුවේ කැමැත්තෙන්ම කළ පරිත්‍යාගයි.

ලූක්ගේ වාර්තා ඉතිහාසයට අනුව නිවැරදිද?

ලූක් හා ක්‍රියා යන පොත් ලිව්වේ ලූක් විසින්මයි. ‘මුල සිටම සෑම තොරතුරක්ම නිවැරදි බව සනාථ කරගෙන’ ඒවා වාර්තා කළා කියා ඔහු පවසනවා. (ලූක් 1:3) ඒත් සමහර විශාරදයන් ඔහුගේ වාර්තා ගැන ප්‍රශ්න කරනවා.

ලූක්ගේ වාර්තා නිවැරදි බව ඔප්පු කිරීමට තිබෙන සාක්ෂි එමටයි. උදාහරණයකට රෝම පාලනය යටතේ තිබුණු ප්‍රදේශවල සිටි නිලධාරීන්ව ඔහු ඉතා නිවැරදිව හඳුන්වන්නේ ඒ කාලවකවානුවේදී භාවිත වූ ඔවුන්ගේ නිල නාමවලින්මයි. එනම් සිවිල් ආණ්ඩුකාරයන්, නුවරේ පාලකයන්, උත්සව සහ ක්‍රීඩා සංවිධායකයන් වැනි නාමවලිනුයි. (ක්‍රියා 16:20; 17:6; 19:31) හෙරොද් අන්තිපස්ව දේශාධිපති ලෙසත් සර්ජියස් පාවුලස්ව දූපතේ ආණ්ඩුකාරයා ලෙසත් ඔහු හඳුන්වනවා.ක්‍රියා 13:1, 7.

රෝම පාලනය යටතේ තිබුණු යම් ප්‍රදේශයක් ඉසිලූ වැදගත්කම අනුව එහි සිටි නිලධාරීන්ගේ නිල නාමයන්ද වෙනස් වුණා. ඒ නිසා ලූක් ඔවුන්ව නිවැරදි නිල නාමවලින් හැඳින්වීම වැදගත් කරුණක්. “ලූක්, නිලධාරීන්ව නිවැරදි නිල නාමවලින්ම හඳුන්වා තිබෙන බව ක්‍රියා පොතෙන් දකින්න ලැබෙනවා” කියා බයිබල් විශාරද බෲස් මෙට්ස්ගර් පවසනවා. තවත් විශාරදයෙක් වන විලියම් රම්සි පැවසුවේ ලූක් “ශ්‍රේෂ්ඨ ගණයේ ඉතිහාසඥයෙක්” කියායි.