Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවාද?

මැරුණාට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද?

මැරුණාට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද?

“මං හිතුවේ කෙනෙක් මැරුණාම ස්වර්ගයට හරි නරකාදියට හරි ශුද්ධගිනිස්ථානයට හරි යනවා කියලා. මම ස්වර්ගයට යන්න තරම් හොඳ කෙනෙක්වත් නරකාදියට යන්න තරම් නරක කෙනෙක්වත් නෙමෙයි කියලා දැනගෙන හිටියත් ශුද්ධගිනිස්ථානය ගැන නම් දැනගෙන හිටියේ නෑ. බයිබලයේ කොහෙවත් ඒවා ගැන කියලත් නෑ. ඒවා මිනිස්සු කියන දේවල් විතරයි.”—ලයනල්.

“අපිට උගන්නලා තිබුණේ මැරුණ හැමෝම ස්වර්ගයට යනවා කියලා. ඒත් මං ඒක විශ්වාස කෙරුවේ නෑ. මං හිතුවේ මැරුණාට පස්සේ ජීවිතය එතනින් ඉවරයි කියලා.”—ෆර්නාන්ඩෝ.

‘මැරුණාට පස්සේ වෙන්නේ මොකක්ද, මැරිලා ඉන්න ආදරණීය අය කොහේ හරි දුක් විඳිනවාද, ඒ අයව ආපහු දකින්න ලැබෙයිද, ඒ ගැන ස්ථිරවම දැනගන්න විදිහක් තියෙනවාද’ කියලා ඔයා හිතලා තියෙනවාද? බයිබලයේ ඒ ගැන කියන්නේ මොකක්ද? මුලින්ම බලමු මැරුණ කෙනෙක්ගේ තත්වය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද කියලා. ඊටපස්සේ ඒ අය ගැන තියෙන බලාපොරොත්තුව මොකක්ද කියලා බලමු.

මැරුණ අයගේ තත්වය මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි: “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත. ඔවුන්ට තවදුරටත් ආශීර්වාද හෝ දඬුවම් හෝ ලැබෙන්නේ නැත. ඔවුන්ව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත. ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න. මන්ද ඔබ යන මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත.” *දේශනාකාරයා 9:5, 10.

මිනී වළ කියන්නේ මැරුණ කෙනෙක් යන තැනටයි. එතන ඉන්න කෙනෙක්ට හැඟීම් දැනීම් නැහැ. කිසි දෙයක් කරන්න බැහැ. විශ්වාසවන්ත යෝබ් මිනී වළ ගැන හිතුවේ කොහොමද? දරුවන් ඇතුළු මුළු සේසතම ඔහුට එක දවසින් නැති වුණා. ඇඟ පුරාම දරුණු කුෂ්ඨයකුත් හැදුණා. ඒ තත්වයේදී ඔහු දෙවියන්ගෙන් ඉල්ලුවේ ‘මාව මිනී වළෙහි [“පාතාල ලෝකයේ,” ‘නව අනුවාදය’] සඟවා තබන්න’ කියලයි. (යෝබ් 1:13-19; 2:7; 14:13) මිනී වළ, ගින්නෙන් දැවෙන තැනක් නෙමෙයි කියලා යෝබ් දැනගෙන හිටිය නිසයි සහනයක් ලබාගන්න ඒ ඉල්ලීම කළේ. ඒක එහෙම නෙමෙයි නම් ඔහුගේ වේදනාව තවත් වැඩි වෙනවා.

මැරුණ කෙනෙක්ගේ තත්වය තේරුම්ගන්න මැරිලා නැවත නැඟිටුණු 8දෙනෙක් ගැන බයිබලයේ තියෙන විස්තරවලින් පුළුවන්.—“ නැවත නැඟිටුණු අටදෙනෙක්” කියන කොටුව බලන්න.

ඒ 8දෙනාගෙන් එක් කෙනෙක්වත් සැප විඳින තැනකටවත් දුක් විඳින තැනකටවත් ගියා කියලා කිව්වේ නැහැ. ඒ වගේ තැනකට ගිහින් තිබුණා නම් ඒ ගැන නොකියා ඉඳියිද? ඒ ගැන බයිබලයේ වාර්තා නොකරයිද? ඒත් බයිබලයේ කොතැනකවත් ඒ වගේ දෙයක් කියලා නැහැ. ඒ 8දෙනා කිසිම දෙයක් කිව්වේ නැත්තේ කල්පනා කරන්න බැරි තත්වයක හිටිය නිසයි. ඒක හරියට ගැඹුරු නින්දක් වගේ. සමහර අවස්ථාවලදී බයිබලයේ මරණය නින්දකට සමාන කරලා තියෙනවා. උදාහරණෙකට විශ්වාසවන්ත දාවිත් සහ ස්තේපන් මැරුණ අවස්ථාවේ ‘සැතපුණා’ කියලා සඳහන් වෙනවා.—ක්‍රියා 7:60; 13:36, ‘පැරණි අනුවාදය.’

මැරුණ අයට තියෙන බලාපොරොත්තුව මොකක්ද? සැතපිලා ඉන්න ඔවුන්ට අවදි වෙන්න පුළුවන්ද?

^ 7 ඡේ. ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ “මිනී වළ” කියලා පරිවර්තනය කරලා තියෙන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් “ෂෙයෝලය” සහ ග්‍රීක භාෂාවෙන් “හේදීසය” කියන වචනයි. සමහර බයිබල්වල “පාතාලය” කියන වචනය තිබුණත් ඒක නොනිවෙන ගින්නක සදහටම වධ වේදනා විඳින තැනක් කියලා කියන්නේ නැහැ.