Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද?

මේ අය කොයි වගේ කට්ටියක්ද?

මේ අය කොයි වගේ කට්ටියක්ද?

අපි ජාත්‍යන්තර සංවිධානයක්. වෙනත් ආගමික කණ්ඩායම් එක්ක සම්බන්ධ නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය එක්සත් ජනපදයේ තිබුණත් වැඩිදෙනෙක් ඉන්නේ වෙනත් රටවලයි. මිලියන 8ක විතර සෙනඟක් වන අපි රටවල් 230කට වඩා වැඩි ගණනක බයිබලය ගැන උගන්වනවා. එහෙම කරන්නේ යේසුස් කිව්ව මේ දේ නිසයි. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.

අපි කොහේ ජීවත් වුණත් රටේ නීතියට කීකරු වෙනවා. ඒත් අපි දේශපාලන පැති ගන්නේ නැහැ. එහෙම කරන්නේ ක්‍රිස්තියානීන්ට ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන්න’ කියලා යේසුස් කිව්ව නිසයි. (යොහන් 15:19; 17:16) දෙවෙනි ලෝක මහා යුද්දේ කාලෙදී සාක්ෂිකරුවන් දේශපාලන පැති නොගෙන ස්ථිරව හිටියා. ඒ නිසා ඔවුන්ව හිරේ දැම්මා. ඔවුන්ට වධ හිංසා කළා. සමහරුන්ව මරණයට පවා පත් කළා. කලින් ජර්මනියේ හිටපු බිෂොප්වරයෙක් මේ වගේ දෙයක් කිව්වා. “නාට්සි පාලනය යටතේ හෘදය සාක්ෂියට අනුව තීරණයක් ගත්ත එකම කණ්ඩායම මේ අයයි.”

“[යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට] හරි දේ කරන්න තියෙන්නේ පුදුම අධිෂ්ඨාන ශක්තියක්. ඒ වගේ පරාර්ථකාමි අය තමයි දේශපාලනයේ ඉන්න ඕනේ. ඒත් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. . . . රජයේ අධිකාරියට ගරු කළත් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න හැකියාව තියෙන්නේ දේවරාජ්‍යයට විතරක් කියලයි ඔවුන් විශ්වාස කරන්නේ.”—චෙක් ජනරජයේ පුවත්පතක්, (Nová Svoboda).

ඒත් අපි සමාජයෙන් වෙන් වෙලා ඉන්න කට්ටියක් නෙවෙයි. යේසුස් ඔහුගේ අනුගාමිකයන් ගැන දෙවියන්ට යාච්ඤා කළේ මෙහෙමයි. “මම ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්න කියා නොවෙයි.” (යොහන් 17:15) ඒ නිසා අපි අනිත් අය වගේම රැකියා කරන, වෙළඳපොළට යන, පාසැල් යන අය කියලා ඔයා දකියි.