Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යාච්ඤා කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද?

කවුරු හරි අහගෙන ඉන්නවාද?

කවුරු හරි අහගෙන ඉන්නවාද?

කවුරුත් ඇහුම්කන් දෙන්නේ නැති හින්දා යාච්ඤා කරන එක තේරුමක් නැති දෙයක් කියලයි සමහරු හිතන්නේ. තවත් අය කියනවා කොච්චර යාච්ඤා කළත් උත්තර ලැබිලා නෑ කියලා. දෙවියන්ව විශ්වාස නොකරන කෙනෙක් දෙවියන් ගැන හිතෙන් පින්තූරයක් මවාගෙන යාච්ඤා කළේ මෙහෙමයි. “රහසින් හරි මට උත්තරයක් දෙන්න.” ඒත් දෙවියන් “නිහඬව හිටියා” කියලයි ඔහු කියන්නේ.

ඒත් බයිබලේ සහතික කරනවා යාච්ඤාවලට සවන් දෙන දෙවි කෙනෙක් ඉන්නවා කියලා. ඒකේ කියන්නේ මේ වගේ දෙයක්. “ඔබ හඬ නඟා දෙවිට කන්නලව් කරන විට ඔහු ඔබට කරුණාවෙන් සවන් දෙන්නේය. ඔබ හඬගසන මොහොතේදීම ඔහු ඔබට පිළිතුරු දෙන්නේය.” (යෙසායා 30:19) තවත් බයිබල් පදයක “ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නය” කියලා කියනවා.—හිතෝපදේශ 15:8.

යේසුස් ඔහුගේ පියාණන්ට යාච්ඤා කළාම ‘දෙවි ඔහුට සවන් දුන්නා.’—හෙබ්‍රෙව් 5:7

බයිබලයේ සඳහන් වෙනවා යාච්ඤාවලට පිළිතුරු ලැබුණු අය ගැන. හෙබ්‍රෙව් 5:7 කියන්නේ යේසුස් ‘ගැලවීමට හැකි තැනැත්තාණන් ඉදිරියේ බලවත් ලෙස ඉල්ලීම් සහ කන්නලව් ඉදිරිපත් කෙරුව’ වෙලාවේ ‘දෙවි ඔහුට සවන් දුන්නා’ කියලයි. ඒ වගේ පිළිතුරු ලැබුණු තවත් දෙන්නෙක් ගැන දානියෙල් 9:21 සහ 2 ලේකම් 7:1 කියනවා.

ඒත් තමන්ගේ යාච්ඤාවලට දෙවියන් පිළිතුරු දෙන්නේ නැහැ කියලා සමහරුන්ට හැඟෙන්නේ ඇයි? පිළිතුරු ලබාගන්න නම් වෙන දෙවිවරුන්ටවත් මුතුන්මිත්තන්ටවත් නෙමෙයි යෙහෝවා * දෙවියන්ට විතරයි යාච්ඤා කරන්න ඕනේ. ඒ වගේම “දෙවිගේ කැමැත්තට එකඟව” යාච්ඤා කරයි කියලත් ඔහු බලාපොරොත්තු වෙනවා. එහෙම කළොත් ඔහු අපිට ‘සවන් දෙනවා.’ (1 යොහන් 5:14) අපේ යාච්ඤා දෙවියන් අහන්න නම් බයිබලයේ සඳහන් දෙවියන් ගැනත් ඔහුගේ කැමැත්ත ගැනත් අපි දැනගන්න ඕනේ.

යාච්ඤාව නිකම්ම ආගමික පිළිවෙතක් නෙමෙයි කියලත් දෙවියන් ඇත්තටම යාච්ඤාවලට පිළිතුරු දෙනවා කියලත් හුඟක් අයට විශ්වාසයි. කෙන්යාවේ අයිසැක් මෙහෙම කියනවා. “බයිබලය තේරුම්ගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරලා ටික දවසක් යද්දී කෙනෙක් ආවා මට උදව් කරන්න.” පිලිපීනයේ හිල්ඩා කීප සැරයක්ම උත්සාහ කෙරුවත් දුම්බීම නතර කරගන්න බැරි වුණා. එයාගේ මහත්තයා ඇහුවා “ඇයි ඔයා දෙවියන්ට යාච්ඤා කරලා උදව් ඉල්ලන්නේ නැත්තේ” කියලා. දෙවියන්ගෙන් උදව් ඉල්ලුව ඇය මෙහෙම කියනවා. “දෙවියන් මට උදව් කරපු විදිහ හරි පුදුමයි. දුම් බොන්න තිබුණ ආසාව නැතුව ගියා වගෙයි දැනුණේ. අන්තිමේදී ඒක නතර කරන්න පුළුවන් වුණා.”

ඔයාගේ පෞද්ගලික දේවල් වුණත් දෙවියන්ගේ කැමැත්තට එකඟව ඉල්ලනවා නම් දෙවියන් ඔයාට උදව් කරයිද?

^ 6 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.