Skip to content

පටුනට යන්න

දාවිත් රජ ප්‍රබන්ධ චරිතයක් නෙමෙයි කියලා පුරාවිද්‍යා සොයාගැනීම්වලින් සනාථ වෙයි

දාවිත් රජ ප්‍රබන්ධ චරිතයක් නෙමෙයි කියලා පුරාවිද්‍යා සොයාගැනීම්වලින් සනාථ වෙයි

 බයිබලයේ සඳහන් විදිහට දාවිත් රජ ජීවත් වුණේ ක්‍රි.පූ. 11වෙනි සියවසේදී. ඔහුගෙන් පැවතුණ අය අවුරුදු සිය ගාණක් පුරා ඊශ්‍රායෙල් දේශයේ රජකම් කෙරුවා. ඒත් සමහර විවේචකයන් කියනවා දාවිත් රජ කියන්නේ ප්‍රබන්ධ චරිතයක් කියලා. ඒක ඇත්තද? නැත්නම් දාවිත් රජ ඇත්තටම ජීවත් වුණ කෙනෙක්ද?

 1993දී අව්රඅම් බීරාන් කියන පුරාවිද්‍යාඥයා ඔහුගේ කණ්ඩායමත් එක්ක උතුරු ඊශ්‍රායෙලයේ පර්යේෂණ කටයුතුවල යෙදුණා. ඔය අතරේ ටෙල් දාන් කියන ප්‍රදේශයෙන් පාෂාණ කැබැල්ලක් සොයාගත්තා. ඒ පාෂාණ කැබැල්ලේ “දාවිත්ගේ පෙළපත” කියලා කොටලා තිබුණා. ඒ අකුරු ක්‍රි.පූ. 9වෙනි සියවසට අයත් ඇරමයික ජාතිකයන් භාවිත කරපු ඇරමයික අකුරු. පෙනෙන විදිහට ඒක ඊශ්‍රායෙල්වරුන් එක්ක කළ සටන් ජය ගැනීමෙන් පසු ඇරමයික ජාතිකයන් තමන්ගේ ජයග්‍රහණ මහා ලොකුවට සනිටුහන් කළ ස්මාරකයක කොටසක්.

 ඒ පාෂාණ කැබැල්ලේ ලියා තිබුණ යෙදුම ගැන එක ලිපියක (Bible History Daily) සඳහන් වුණේ මෙහෙමයි. “‘දාවිත්ගේ පෙළපත’ කියන යෙදුම ගැන විවේචන තියෙනවා. . . . ඒත් බයිබලයේ සඳහන් වන දාවිත් රජ ඇත්තටම ජීවත් වුණ කෙනෙක් කියලා කියන්න ටෙල් දාන්වලින් සොයාගත් ස්මාරකය ඇති තරම් සාක්ෂි සපයනවා කියලා බයිබල් විශාරදයන් සහ පුරාවිද්‍යාඥයන් එක පයින් පිළි ගන්නවා.” ඒ ලිපියේ තවදුරටත් මෙහෙම කියලා තියෙනවා. “පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ගැන ‘බිබ්ලිකල් ආකියෝලොජි රිවිව්’ කියන සඟරාවේ පළ කරපු ලිපි අතරින් මෙයට හිමි වෙන්නේ ඉහළම තැනක්.’”