Skip to content

දික්කසාදය ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතන්නේ මොකක්ද?

දික්කසාදය ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතන්නේ මොකක්ද?

 අපි විවාහය සහ දික්කසාදය ගැන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා. විවාහ වෙන දෙන්නෙක් හැමදාටම එකට ඉන්න එක තමයි දෙවියන්ගේ අරමුණ. විවාහ වුණු දෙන්නෙක්ට දික්කසාද වෙන්න බයිබලයේ අවසර දීලා තියෙන්නේ එක හේතුවක් නිසා විතරයි. ඒ දෙන්නාගෙන් එක් කෙනෙක් අනාචාරයේ යෙදුණොත් විතරයි.—මතෙව් 19:5, 6, 9.

විවාහ ජීවිතයේ ප්‍රශ්න තියෙන අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උදව් කරනවාද?

 ඔව්, ක්‍රම කිහිපයකින් උදව් කරනවා.

  •   ප්‍රකාශනවලින්. විවාහ ජීවිතයේ විසඳගන්න බැහැ වගේ පේන ප්‍රශ්න තියෙන අයට වුණත් ඒවා විසඳගන්න හොඳ උපදෙස් අපේ පොත්පත්, ප්‍රකාශනවල නිතරම පළ වෙනවා. “විවාහ බැඳීම ශක්තිමත්ව තබාගන්න,” “සමාව දෙන්නේ කොහොමද?” සහ “විවාහය දෙකඩ වෙන්න දෙන්න එපා” කියන ලිපි ඒවාට උදාහරණ විදිහට සඳහන් කරන්න පුළුවන්.

  •   රැස්වීම්. අපේ සමුළුවල සහ සභාවල තියෙන රැස්වීම්වල විවාහ ජීවිතයට අවශ්‍ය බයිබලයේ තියෙන වටිනා මඟ පෙන්වීම් ගැන කතා කරනවා.

  •   වැඩිමහල්ලන්. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් මතක් කරලා දීලා විවාහ වුණු අයට වැඩිමහල්ලන් පෞද්ගලිකව උපකාර කරනවා. උදාහරණයකට ඒ වගේ අවස්ථාවල එෆීස 5:22-25 සඳහන් උපදෙස් වැඩිමහල්ලන් ඒ අයට මතක් කරලා දෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් දික්කසාද වෙන්න තීරණය කළොත් ඒකට වැඩිමහල්ලන්ගේ අනුමැතිය ඕනෙද?

 නැහැ. විවාහ ජීවිතයේ ප්‍රශ්න තියෙන අයට වැඩිමහල්ලන් උදව් කළාට කරන්න ඕනෙ මොකක්ද කියලා ඒ අයට කියන්න වැඩිමහල්ලන්ට බැහැ. (ගලාති 6:5) හැබැයි කවුරු හරි කෙනෙක් බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට පිටින් ගිහින් දික්කසාද වුණොත් බයිබලයේ කියන විදිහට ඒ කෙනාට ආපහු විවාහ වෙන්න බැහැ.—1 තිමෝති 3:1, 5, 12.

එකිනෙකාගෙන් වෙන් වෙන එක ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතන්නේ මොකක්ද?

 විවාහ ජීවිතය හිතපු තරම් සතුටුදායක එකක් වුණේ නැති වුණත් බයිබලයේ දිරිගන්වලා තියෙන්නේ විවාහ වුණු දෙන්නෙක්ට එකට ඉන්න කියලයි. (1 කොරින්ති 7:10-16) දිගටම උපකාර ඉල්ලලා දෙවිට යාච්ඤා කරනවා නම්, බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරගන්නවා නම්, දෙන්නා අතර අවංක ආදරයක් තියෙනවා නම් හුඟක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්.—1 කොරින්ති 13:4-8; ගලාති 5:22.

 හැබැයි සමහර වෙලාවට විවාහ ජීවිතයේ හරිම අසීරු තත්වයන් මතු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා කිහිපයක් පහත සඳහන් වෙනවා. ඒ වගේ හේතු නිසා විවාහ සහකරුගෙන් වෙන් වෙන්න සමහරු තීරණය කරලා තියෙනවා.

  •   පවුලේ අයට අවශ්‍ය මූලික දේවල් ලබා දෙන වගකීම උවමනාවෙන්ම ප්‍රතික්ෂේප කරන නිසා.—1 තිමෝති 5:8.

  •   දරුණු විදිහට පහර දෙන නිසා.—ගීතාවලිය 11:5.

  •   දෙවියන් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන් නිසා. උදාහරණයකට යම් විදිහකින් දෙවියන්ගේ නීතියක් කඩ වෙන විදිහට දේවල් කරන්න විවාහ සහකරු හෝ සහකාරිය බලකරන්න පුළුවන්. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි” කියලා බයිබලයේ තියෙන නිසා ඒ වගේ තත්වයකදී වෙන් වෙන එක තමයි හොඳම දේ කියලා කෙනෙක් තීරණය කරන්න ඉඩ තියෙනවා.—ක්‍රියා 5:29.