Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

ස්වර්ගය

ස්වර්ගය

ස්වර්ගය කියන්නේ හුඟක් මතභේදවලට ලක් වුණු විෂයක්. ඒත් බයිබලයේ ස්වර්ගය ගැන උගන්වන දේ අද හුඟක් අය ස්වර්ගය ගැන හිතාගෙන ඉන්න දේට වඩා හාත්පසින්ම වෙනස්.

ස්වර්ගය කියන්නේ මොකක්ද?

සමහර අය කියන දේ:

ස්වර්ගය ගැන සහ ස්වර්ගයක් තියෙන්නේ ඇයි කියන එක ගැන හුඟක් අයට තියෙන්නේ විවිධ අදහස්. මේ උදාහරණ බලන්න.

  • “ස්වර්ගය කියන්නේ ස්වාමීන් තුළ මිය යන අයට ලැබෙන සදාතන නිවහනයි” කියලා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. (New Catholic Encyclopedia) ක්‍රිස්තියානි කියලා හඳුන්වන ආගම්වල ඉන්න ගොඩක් අය ඒ අදහසට එකඟයි.

  • මැරුණාට පස්සේ වෙන දේට වඩා, යුදෙව් ආගමේ අය වැඩි අවධානයක් දෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ ආගමට එකඟව වැඩ කරන්නයි කියලා ඒ ආගමේ ගුරුවරයෙක් වන බෙන්ට්සන් ක්‍රවිට්ස් කියනවා. ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා. “ස්වර්ගයට ගියාම පොළොවේ හිටපු කාලයට වඩා දෙවියන්ට කිට්ටු වෙන්න අවස්ථාව ලැබෙනවා. යුදෙව්වන් ස්වර්ගය ගැන විශ්වාස කළත් ටෝරා ලියවිලිවල ස්වර්ගය ගැන සඳහන් වෙන්නේ හරිම අඩුවෙන්.”

  • ස්වර්ගයක් හා සමාන දෙයක් ගැන බෞද්ධ හා හින්දු ආගම්වල අයත් විශ්වාස කරනවා. ඔවුන් ඒක හඳුන්වන්නේ දිව්‍යලෝකය කියලයි. ඒකෙත් විවිධ තල නැත්නම් මට්ටම් තියෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම දිව්‍යලෝකය ඔවුන් සලකන්නේ නිවන් දකින කල් හෝ බුද්ධත්වය ලබන කල් නැවතී ඉන්න තියෙන තාවකාලික නවාතැනක් විදිහට. මිනිසෙකුට ලබන්න පුළුවන් පරම සැපත විදිහට ඔවුන් සලකන්නේ නිවන් දැකීමයි.

  • තවත් අය ස්වර්ගය කියන දේ කොහොමටවත් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඒක සුරංගනා කතාවල තියෙන දෙයක් කියලයි.

ස්වර්ගය කියන්නේ හුඟක් මතභේදවලට ලක් වුණු විෂයක්

බයිබලයේ උගන්වන දේ:

බයිබලයේත් ස්වර්ගය ගැන සඳහන් වෙනවා. උදාහරණයකට,

  • 1 රාජාවලිය 8:30 “ස්වර්ගය” දෙවියන්ගේ “වාසස්ථානය” කියලා සඳහන් වෙනවා.

  • මතෙව් 18:10 ‘ස්වර්ගයෙහි ඉන්න දේවදූතයන්’ ගැන කතා කරනවා.

  • ඒ බයිබල් පදවල “ස්වර්ගය” කියන වචනය යොදාගෙන තියෙන්නේ සංකේතාත්මක වචනයක් විදිහට නෙමෙයි. ඒ වෙනුවට සැබෑ ස්ථානයක් විස්තර කරන්නයි. *

“ඉහළින් පිහිටි ඔබගේ තේජසින් පිරි ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අප දෙස බලන්න.”යෙසායා 63:15.

හොඳ මිනිස්සු හැමෝම ස්වර්ගයට යනවද?

පෘථිවිය කියන්නේ මිනිස්සු මැරිලා ස්වර්ගයට යන කල් තාවකාලිකව ඉන්න තැනක් නෙමෙයි. මොකද බයිබලයේ කියන විදිහට දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ටික කාලයක් ජීවත් වෙලා මිය යන්න නෙමෙයි. මේ තොරතුරු බලන්න.

  • තමන් නිර්මාණය කරපු මුල් මිනිස් යුවළට දෙවියන් මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්පත්ති 1:28) දෙවියන් පොළොව නිර්මාණය කළේ මිනිසුන්ට සදාකාලයටම ජීවත් වෙන්න. මිනිස්සු මැරෙනවා කිව්වේ දෙවියන්ට අකීකරු වුණොත් විතරයි. ඒත් ඒ මුල් මිනිස් යුවළ දෙවියන්ට අකීකරු වුණා.—උත්පත්ති 2:17; 3:6.

  • දෙවියන්ට අකීකරු වුණ නිසා මුල් මිනිස් යුවළට විතරක් නෙමෙයි ඒ අයගෙන් පැවතෙන හැමෝටමත් මරණය උරුම වුණා. (රෝම 5:12) ඒත් ඒකෙන් අඟවන්නේ මිනිසුන්ට අනාගත බලාපොරොත්තුවක් නැහැ කියන එකද?

  • දෙවියන් “දී ඇති පොරොන්දුවට එකඟව . . . අලුත් අහසක් සහ අලුත් පොළොවක්” පැමිණෙනවා කියලා බයිබලයේ කියනවා. * (2 පේතෘස් 3:13) ඒ නිසා දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී දෙවියන් මේ පොළොව මුලින්ම තිබුණු තත්වයට ආයෙත් පත් කරනවා. ඒ කාලයේදී “මරණයද තවත් නොවන්නේය” කියලත් බයිබලයේ කියනවා. (එළිදරව් 21:3, 4) එතන කියන්නේ ස්වර්ගයේ සිද්ධ වන දෙයක් ගැනද? නැත්නම් පොළොවේ සිද්ධ වන දෙයක් ගැනද? යම් දෙයක් “තවත් නොවන්නේය” කියලා කියන්න නම් ඒ දේ කලින් වෙලා තියෙන්න ඕනේ. ස්වර්ගයේ කවදාවත් මරණය තිබුණේ නැහැ. මරණය තියෙන්නේ පොළොවේ විතරයි. එහෙමනම් ඒ බයිබල් පදයේ කතා කරන්නේ ඉදිරියේදී මේ පොළොවේ සිද්ධ වන දෙයක් ගැනයි. ඒ විතරක් නෙමෙයි යෙහෝවා දෙවියන් මිය ගිය අයව මේ පොළොවේ ජීවත් වෙන්න නැවත නැඟිටුවනවා කියලත් බයිබලයේ කියනවා.—යොහන් 5:28, 29.

ස්වර්ගය ගැන බයිබලයේ කියන දේ ඉගෙනගන්න අය අද්දකින්නේ ලොකු සතුටක්. කතෝලිකයෙක් වෙලා හිටපු ජෝජ් මෙහෙම කියනවා. “මිනිස්සු මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න යනවා කියලා මං බයිබලයෙන් ඉගෙනගත්තා. ඒක මට ලොකු සහනයක්. හැමෝම ස්වර්ගයට යනවා කියන දේට වඩා ඒක විශ්වාස කරන්න පුළුවන්.” *

“ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.”ගීතාවලිය 115:16.

^ 13 ඡේ. දෙවියන්ව අපිට පේන්නේ නැහැ. (යොහන් 4:24) ඒ නිසා ඔහු ජීවත් වන තැනත් භෞතික විශ්වයට වඩා වෙනස් මිනිස් ඇසට දකින්න බැරි ස්ථානයක්.

^ 19 ඡේ. “අලුත් පොළොව” කියන්නේ අලුත් ග්‍රහලෝකයක් නෙමෙයි. ඒ වෙනුවට මේ පොළොවේ ජීවත් වෙන්න යන දෙවියන්ගේ අනුමැතිය තියෙන ධර්මිෂ්ඨ මිනිස් සමාජයකට.—ගීතාවලිය 66:4.

^ 20 ඡේ. ස්වර්ගයට යන්නේ මිනිස්සු 1,44,000ක් විතරයි. ඒ අය යේසුස් එක්ක පාලනයට හවුල් වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—1 පේතෘස් 1:3, 4; එළිදරව් 14:1.