Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

ප්‍රීතිමත් සිතක් ජීවිතයට එළියක්!

ප්‍රීතිමත් සිතක් ජීවිතයට එළියක්!

ඔයාගේ සතුටට වැඩියෙන්ම බලපාන්නේ මේ දේවල්වලින් කොයි එකද?

  • ඔයා ඉන්න තත්වය

  • ඔයාගේ ජාන

  • ඔයා හිතන විදිහ

සතුටට වැඩියෙන්ම බලපාන්නේ අපි ඉන්න තත්වය කියලා හිතන අය මේ වගේ දේවල් කියනවා.

  • “ගොඩක් සල්ලි තියෙනවා නම් සතුටින් ඉන්න පුළුවන්”

  • “හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා නම් සතුටින් ඉන්න පුළුවන්”

  • “හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙනවා නම් සතුටින් ඉන්න පුළුවන්”

ඒත් සතුටට වැඩියෙන්ම බලපාන්නේ ජානවත් අපි ඉන්න තත්වයවත් නෙමෙයි. අපි හිතන විදිහ. ඔයාටත් එහෙම හිතෙනවා නම් ඒක හොඳ දෙයක්. මොකද සමහර තත්වයන් සහ අපේ ජාන අපිට වෙනස් කරන්න බැහැ. ඒත් හිතන විදිහ වෙනස් කරගන්න අපිට පුළුවන්.

“හොඳ ඖෂධයක්”

බයිබලයේ මෙහෙම කියනවා. “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි. නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි.” (හිතෝපදේශ 17:22) ඒ කියන්නේ ඔයා හිතන විදිහට පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න. මොන බාධා තිබුණත් ඉලක්කයට යන්න හරි පසුබසින්න හරි ඔයා පෙලඹෙන්නේ හිතන විදිහ අනුවයි. ඒ කියන්නේ ජීවිතේ එළිය කරන්න හෝ අඳුරු කරන්න ඔයා හිතන විදිහට පුළුවන්.

සමහර අය ඒ අදහස පිළිගන්න එච්චර කැමති නැහැ. එයාලා හිතන්නේ මෙහෙමයි.

  • ‘හිතන විදිහ වෙනස් කළා කියලා ප්‍රශ්න නැතිවෙන්නේ නැහැ.’

  • ‘ඇයි මං මගේ දුක ලෝකෙට හංගන්නේ?’

  • ‘වෙන්නැති දෙයක් ගැන හිතනවාට වඩා හොඳයි යථාර්ථයට මුහුණ දෙන එක.’

බැලූ බැල්මට ඒ අදහස්වල වරදක් නැහැ කියලා ඔයාට හිතෙයි. ඒත් හිතන විදිහ වෙනස් කරගන්න එකෙන් අපේ ජීවිතේට වෙන්නේ ලොකු යහපතක්. මේ උදාහරණ බලන්න.

අමිලයි බුද්ධිකයි වැඩ කරන්නේ එකම ආයතනයේ. ටික කාලයකට පස්සේ ආයතන ප්‍රධානියා එයාලගේ වැඩ බලලා අඩුපාඩු පෙන්නලා දුන්නා.

  • අමිල: “මං කොච්චර මහන්සි වුණාද? ඒත් තාම මේ වැඩේ හරියට කරගන්න බැරි වුණා. මේ ජොබ් එක කරලා නම් කවදාවත් දියුණු වෙන්න බැහැ. කොච්චර හොඳට වැඩ කළත් වැඩක් නැහැ. වෙලාවකට මේක අල්ලලා දාන්න හිතෙනවා.”

  • බුද්ධික: “මං කරලා තියෙන සමහර දේවල් හොඳයි කියලා බොස් කිව්වා. මගේ අඩුපාඩු දෙකතුනකුත් එයා පෙන්නුවා. ඒක හොඳයි. එතකොට මට පුළුවන් ඒවා හදාගන්න.”

ඔයා මොකක්ද හිතන්නේ?

  • මාස හයක් ගියාට පස්සේ මේ දෙන්නාගෙන් හොඳට වැඩ කරගෙන ඉඳියි කියලා හිතන්න පුළුවන් කවුද?

  • ඔයා ආයතන ප්‍රධානියෙක් නම් ඔයා වැඩට ගන්නේ මේ දෙන්නාගෙන් කාවද?

  • ඔයාත් මේ වගේ තත්වයකට මුහුණ දුන්නොත් ඔයා හිතන්නේ අමිල වගේද? බුද්ධික වගේද?

අරුණිටයි බිමාලිටයි වැඩිය යාළුවෝ නැහැ. ඒ නිසා දෙන්නටම තනිකමක් දැනෙනවා. ඒ දෙන්නා ඒ තත්වෙට මුහුණ දෙන විදිහ බලන්න.

  • අරුණි හැම වෙලේම තමන් ගැන විතරක් හිතන කෙනෙක්. එයා අනිත් අය වෙනුවෙන් දේවල් කරන්නේ තමන්ට දෙයක් ලැබෙනවා නම් විතරයි. ‘මං ගැන හිතන්නේ නැති අය වෙනුවෙන් මං මොකටද නිකං කාලෙ නාස්ති කරන්නේ’ කියලා එයා හිතනවා.

  • බිමාලි හැමෝටම කාරුණිකව සලකන කෙනෙක්. අනිත් අය එයාව අගය කළත් නැතත් ඒ අය වෙනුවෙන් දේවල් කරලා එයා සතුටක් ලබනවා. එයා ජීවත් වෙන්නේ “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න” කියන බයිබල් උපදෙසට අනුවයි.—ලූක් 6:31.

ඔයා මොකක්ද හිතන්නේ?

  • මේ දෙන්නගෙන් ඔයා යාළුවෙක් කරගන්න කැමති කාවද?

  • අනිත් අයව ආශ්‍රය කරලා සතුටක් ලබන්නේ මේ දෙන්නාගෙන් කවුද?

  • යාළුවෝ නැති නිසා තනිකමක් දැනෙද්දී ඔයා හිතන්නේ අරුණි වගේද? බිමාලි වගේද?

බුද්ධික සහ බිමාලි වගේ හිතන අයව ඔයාත් අඳුරනවා ඇති. සමහරවිට ඔයාත් ඒ විදිහට හිතන කෙනෙක් වෙන්න ඇති. එහෙමනම් අපේ ජීවිතේට ලොකු බලපෑමක් කරන්න අපි හිතන විදිහට පුළුවන් කියලා ඔයාත් දන්නවා. ඒත් ඔයා අමිලයි අරුණියි වගේ හිතන කෙනෙක්ද? එහෙමනම් ජීවිතේ අභියෝග එනකොට ඒ දිහා වෙනස් විදිහකට බලන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඔයාට උදව් වෙයි. ඒ වගේ මඟ පෙන්වීම් 3ක් ගැන දැන් බලමු.

1 අශුභවාදී වෙන්න එපා

බයිබලයේ කියන දේ: “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.”—හිතෝපදේශ 24:10.

ඒකෙන් අදහස් කරන දේ: ප්‍රශ්නයක් දිහා ඔයා බලන්නේ අශුභවාදීව නම් මානසිකව වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දෙන්න ඔයාට ශක්තිය නැති වෙයි.

උදාහරණයක්: ජුලීසා පොඩි කාලේ හුඟක් දුක් විඳපු කෙනෙක්. හරියට ඉන්න හිටින්න තැනක්වත් තිබුණේ නැහැ. එයාගේ තාත්තා මත්පැන්වලට ඇබ්බැහි වෙලයි හිටියේ. මේ දේවල් නිසා ජුලීසා ජීවිතේ ගැන හුඟක් කලකිරුණා. ඒත් ඒ කාලෙදිම එයාට පුළුවන් වුණා ජීවිතේ දිහා වෙනස් විදිහකට බලන්න. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මං හිතන විදිහ වෙනස් කරගන්න උදව් වුණේ බයිබලය. අදටත් ඕනම දේකදී අශුභවාදී නොවී ඉන්න මට උදව් වෙන්නේ බයිබලයේ තියෙන මඟ පෙන්වීම්. උදාරණෙකට කෙනෙක් මට එච්චර රුස්සන්නේ නැති දෙයක් කළාම ඇයි එයා එහෙම කළේ කියලා තේරුම්ගන්න දැන් මං උත්සාහ කරනවා.”

බයිබලය වටිනා මඟ පෙන්වීම්වලින් පිරුණු පොතක්. අධෛර්යය කරවන තත්වයන්ට සාර්ථකව මුහුණ දෙන්න ඒ මඟ පෙන්වීම් අපිට උදව් වෙනවා. උදාහරණයකට බයිබලයේ එෆීස 4:23 කියන්නේ “ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි” කියලයි.

හිතන විදිහ කවදාවත් වෙනස් කරන්න බැහැ කියලා හිතන්න එපා. මොකද ඒ බයිබල් පදයේ කියන්නේ “අලුත් ආකාරයකින් හිතන්න” අපිට පුළුවන් කියලයි. ඒ වගේම ඒක අපි දිගටම කරන්න ඕන දෙයක්.

2 හොඳ පැත්ත ගැන විතරක් හිතන්න

බයිබලයේ කියන දේ: “නිතරම සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරකය. එහෙත් සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.”—හිතෝපදේශ 15:15.

ඒකෙන් අදහස් කරන දේ: ඔයා හැම දේකම දකින්නේ නරක පැත්ත විතරයි නම් හැමදාම ඔයාට ඉන්න වෙන්නේ “සිත්තැවුලෙන්.” ඒත් ඔයා හොඳ පැත්ත දකිනවා නම් ඔයාට ‘සතුටින්’ ඉන්න පුළුවන්. ඔයා ඉන්න කැමති කොහොමද?

උදාහරණයක්: මොළයේ තිබුණු ගෙඩියක් අයින් කරන්න ඕන වුණු නිසා යෙංකෝට සැත්කම් කිහිපයක්ම කළා. ඒකෙන් පස්සේ එයාට හරියට කතා කරන්න, ඇවිදින්න බැරි වුණා. කලින් හිතාගෙන හිටපු දේවල් දැන් කරන්න බැරි වෙයි කියලා හිතපු නිසා අවුරුදු ගාණක් යෙංකෝ හිටියේ කලකිරීමෙන්. ඒත් එයා හිතන විදිහ වෙනස් කරගත්තා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “කරන්න බැරි දේවල් ගැන හිතලා දුක් වෙනවා වෙනුවට හිතට සතුටක් දැනෙන දේවල් ගැන හිතන්න මං පුරුදු වුණා.”

යෙංකෝට ඒ දේ කරන්න උදව් වුණු එක දෙයක් තමයි බයිබලය කියවන එක. එයා ඒ ගැන මෙහෙම කියනවා. “බයිබලය කියවන නිසා මට පුළුවන් වෙලා තියෙනවා මං හිතන විදිහ වෙනස් කරගන්න. මේ වෙලාවේ මං ලොකු ලොකු දේවල් කරන්න හිතන්නේ නැහැ. මං හිතන්නේ මට කරන්න පුළුවන් දේවල් ගැන විතරයි. පොඩි දුකක් හරි දැනෙන වෙලාවට මං කරන්නේ මට දැනටමත් තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන එක.”

යෙංකෝ වගේ ඔයාත් අසනීපයක් නිසා පීඩා විඳිනවද? මෙහෙම හිතන්න. ‘අසනීපෙන් ඉන්නවා කියන්නේ ඔයාට අනාගතයක් නැහැ කියන එකද?’ ‘මෙතනින් එහාට ඔයාට කිසිම දෙයක් කරන්න බැහැ කියන එකද?’ නැහැ. ඔයාටත් පුළුවන් යෙංකෝ වගේ අධෛර්යය වෙන දේවල් ගැන හිතන්නේ නැතුව දිරිගැන්වෙන දේවල් ගැන හිතන්න.

3 අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න

බයිබලයේ කියන දේ: “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

ඒකෙන් අදහස් කරන දේ: අනිත් අයට දේවල් දෙන එකෙන් අපිට ලැබෙන්නේ පුදුමාකාර සතුටක්. මොකද අපිව නිර්මාණය කරලා තියෙන්නේ අනිත් අය ගැන සැලකිල්ල දක්වන්න පුළුවන් විදිහටයි. (ෆිලිප්පි 2:3, 4; 1 යොහන් 4:11) අපි කරන දේවල් නිසා අනිත් අය සතුටු වෙන විදිහ දකිද්දී අපේ දුක අමතක කරන්න අපිට පුළුවන්.

උදාහරණයක්: හෝස්වේ කොඳු ඇට පෙළේ ආබාධයක් නිසා වේදනා විඳින කෙනෙක්. හැබැයි එයා අනිත් අයට උදව් කරලා ලොකු සතුටක් ලබනවා. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “මට මුකුත් කරන්න බැහැ කියලා හිතනවා වෙනුවට අනිත් අයට උදව් කරන්න පුළුවන් විදි ගැන මං නිතරම හිතනවා. එහෙම උදව් කරන එකෙන් මට ලැබෙන්නේ පුදුම සතුටක්.”

කරන්න පුළුවන් දේ

අනිත් අයට උදව් කරන්න ඔයාට පුළුවන් විදි ගැන හිතන්න. උදාහරණෙකට අසනීප කෙනෙක්ට කෑම වේලක් දෙන්න, වයසක කෙනෙක්ට ගෙදර දොරේ වැඩ කරගන්න උදව් කරන්න ඔයාට පුළුවන්ද?

ටිකක් හිතන්න. ලස්සන මල් පාත්තියක් හදද්දී ඉස්සෙල්ලාම වල් පැළ ගලවනවා. ඊළඟට මල් පැළ හිටවනවා. ඊටපස්සේ පොහොර දානවා. ඔයාගේ හිතත් ඒ මල් පාත්තිය වගේ. සතුටින් ඉන්න නම් ඉස්සෙල්ලම ඔයාගේ හිතේ තියෙන අශුභවාදී සිතුවිලි අයින් කරන්න ඕනේ. ඊළඟට ශුභවාදී දේවලින් මනස පුරවගන්න ඕනේ. පොහොර දානවා වගේ ශුභවාදී සිතුවිලි ඇති වෙන විදිහට දිගටම වැඩ කරන්නත් ඕනේ. එහෙම කරනවා නම් හිතන විදිහ වෙනස් කරගෙන ජීවිතය එළිය කරගන්න ඔයාට පුළුවන්.

සමහර අය සෞඛ්‍යයට හානියක් වන නිසා සමහර කෑම වර්ග කන්නේ නැහැ. ඒ වගේ අපිට හානියක් වෙන අශුභවාදී සිතුවිලිවලටත් ඉඩ දෙන්න හොඳ නෑ