Skip to content

පටුනට යන්න

ෂාක් ලුෆෙව් දිතෑප්ල - බයිබලයේ වටිනාකම තේරුම්ගත් මිනිසෙක්

ෂාක් ලුෆෙව් දිතෑප්ල - බයිබලයේ වටිනාකම තේරුම්ගත් මිනිසෙක්

වර්ෂ 1520 ඉරිදා දවසක ප්‍රංශයේ පල්ලියක පූජාව වෙලාවේ පුදුම හිතෙන දෙයක් වුණා. සාමාන්‍යයෙන් පල්ලියේ කියවන්නේ වැඩිදෙනෙක්ට තේරුම්ගන්න බැරි ලතින් බයිබලයයි. ඒත් එදා ඔවුන්ට තමන්ගේම මව්භාෂාව වන ප්‍රංශ භාෂාවෙන් බයිබලයේ සුවිශේෂ වාර්තාව අහන්න ලැබුණා.

ප්‍රංශ භාෂාවට බයිබලය පරිවර්තනය කරන්න වෙහෙස මහන්සි නොබලා වැඩ කළේ ෂාක් ලුෆෙව් දිතෑප්ල කියන පරිවර්තකයායි. ඔහු ඒ වගේ දෙයක් කරන්න පෙලඹුණේ ඇයි කියලා තමන්ගේ මිතුරෙකුට යැව්ව ලිපියක මේ විදිහට සඳහන් කළා. “හැම කෙනෙක්ම බයිබලය කියවලා තේරුම්ගන්න එක දෙවියන්ගේ කැමැත්තයි.”

ඒ කාලේ ප්‍රංශයේ කතෝලික පල්ලිය සහ දේවධර්මවාදීන් බයිබලය ජනයාගේ මව්භාෂාවට පරිවර්තනය කරනවාට කැමති වුණේ නැහැ. ඒ වගේ තත්වයක් තියෙද්දී ලුෆෙව් බයිබලය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළේ ඇයි? හැම කෙනෙක්ටම තේරුම්ගන්න පුළුවන් විදිහේ පරිවර්තනයක් කරන්න ඔහු මොන වගේ වෑයමක් ගත්තාද?

බයිබලය නිවැරදිව තේරුම්ගන්න ගත් වෑයම

බයිබලය පරිවර්තනය කරන්න කලින් ලුෆෙව් දර්ශනවාදය සහ ආගම සම්බන්ධ පොත් පත්, ඒවායේ පැරණි අත්පිටපත් එක්ක සන්සන්දනය කරලා අවශ්‍ය නිවැරදි කිරීම් කරන්න වැඩි කාලයක් යෙදෙව්වා. ඔහු ඊළඟට, පල්ලියේ පාවිච්චි කරපු “ලතින් වල්ගේට්” බයිබලය පැරණි අත්පිටපත් එක්ක සන්සන්දනය කරන්න පටන්ගත්තා.

ඔහු ඒ බයිබලයේ තියෙන තොරතුරු ගැඹුරින් අධ්‍යයනය කළා. කරපු අධ්‍යයනයෙන් “මිනිසුන්ට සැබෑ සතුට ලැබෙන්නේ බයිබලයේ තියෙන ඉගැන්වීම්වලට අනුව ජීවත් වීමෙන්” කියලා ඔහු තේරුම්ගත්තා. ඊටපස්සේ ඔහු බයිබලය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරන්න තමන්ගේ සම්පූර්ණ කාලය යෙදෙව්වා.

1509දී ලුෆෙව්, ගීතාවලිය පොතේ පරිවර්තන පහක් සන්සන්දනාත්මකව අධ්‍යයනය කරන්න පුළුවන් විදිහේ බයිබලයක් * නිකුත් කළා. ඒකට ඔහු පරිවර්තනය කරලා නිවැරදි කිරීම් කරපු “ලතින් වල්ගේට්” බයිබලයත් ඇතුළත්. ඒ කාලයේ හිටපු අනෙකුත් දේවධර්මවාදීන්ට වෙනස්ව ඔහුට බයිබලයේ ඉගැන්වීම්වල නියම අර්ථය තේරුම්ගන්න ඕන වුණා. ඔහු බයිබලය තේරුම් අරන් පරිවර්තනය කරපු සරල සහ පැහැදිලි විදිහ ඒ කාලයේ හිටපු තවත් බයිබල් විශාරදයන්ටත් කතෝලික සභාවේ පෙරළියක් ඇති කරන්න කටයුතු කරපු අයටත් ප්‍රයෝජනවත් වුණා.—“ ලුෆෙව්ගේ පරිවර්තන මාටින් ලූතර්ට බලපෑව විදිහ” කියන කොටුව බලන්න.

ගීතාවලිය පොතේ පරිවර්තන පහක් ඇතුළත් ලුෆෙව්ගේ පොතේ 1513දී කළ සංස්කරණයේ, දෙවියන්ව හඳුන්වන්න පාවිච්චි කරලා තියෙන යෙදුම් ඇතුළත් කොටුව

උපතින්ම කතෝලිකයෙක් වුණ ලුෆෙව්ට තේරුණා පල්ලිය වැටිලා තිබුණ තත්වයෙන් ගොඩගන්න නම් බයිබලයේ ඉගැන්වීම්වලට මුල් තැන දෙන්න ඕනෙ කියලා. ඒත් වැඩිදෙනෙක් දන්නේ නැති ලතින් භාෂාවෙන් තිබුණු බයිබලය සාමාන්‍ය ජනයා කියවලා තේරුම්ගන්නේ කොහොමද?

තේරුම්ගන්න පහසු ලබාගන්න ලේසි බයිබලයක්

ලුෆෙව්ට ඕන වුණේ හැමෝම තම මව්භාෂාවෙන් බයිබලය කියවනවා දකින්නයි. එය ඔහු කරපු සුවිශේෂ පොත්වල පරිවර්තනයේ හැඳින්වීමේ කොටසේ සඳහන් දෙයින් පැහැදිලි වෙනවා

ලුෆෙව්ට බයිබලය ගැන තිබ්බේ ලොකු භක්තියක්. ඔහුට ඕන වුණේ හැමෝම බයිබලයක් ලබාගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්නවා දකින්නයි. ඒ සඳහා ඔහු 1523 ජූනි මාසයේදී බයිබලයේ සුවිශේෂ පොත් හතර ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළා. වෙළුම් දෙකකින් යුත් ඒ පරිවර්තනය කුඩා ප්‍රමාණයේ පොත් විදිහටයි මුද්‍රණය කළේ. සාමාන්‍ය ප්‍රමාණයේ බයිබලයකට වඩා එහි මිල ගොඩක් අඩු නිසා වැඩිදෙනෙක්ට එය මිල දී ගන්න පහසු වුණා.

තමන්ගෙම මව්භාෂාවෙන් බයිබලය කියවන්න ලැබුණ එක ගැන හුඟදෙනෙක් සතුටු වුණා. මුද්‍රණය කරපු පිටපත් 1,200ම ඉවර වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.

බයිබලය වෙනුවෙන් ගත් එඩිතර පියවර

ඔහු කරපු සුවිශේෂ පොත්වල පරිවර්තනයේ හැඳින්වීමේ කොටසේ ඔහු මේ විදිහට සඳහන් කළා. “ලතින් භාෂාව දන්න පූජක පන්තියේ අයට විතරක් නෙමෙයි බයිබලය, ලොකු කුඩා හැම කෙනෙක්ටම තේරුම්ගන්න පුළුවන් භාෂාවකින් තියෙන්න ඕනේ.” සාමාන්‍ය ජනයාත් බයිබලයේ තියෙන ඉගැන්වීම් හොඳින් තේරුම්ගන්න එක වැදගත් දෙයක් කියලා ලුෆෙව් හිතුවේ ඇයි?

මිනිසුන්ගේ දර්ශනවාදී අදහස් නිසා පල්ලියට සිදු වෙලා තියෙන හානිය ඔහු හොඳින්ම දැක්කා. (මාක් 7:7; කොලොස්සි 2:8) ඔහුට අවබෝධ වුණා “පලකට නැති ඉගැන්වීම්වලින් මුළා වෙලා ඉන්න මිනිසුන්ව හරි මඟට ගන්න නම් බයිබලය තේරුම්ගන්න පුළුවන් විදිහට පරිවර්තනය කරලා මිනිසුන්ගේ අතට ලබා දෙන්න ඕනෙ” කියලා.

බයිබලය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරන එක වළක්වන්න විරුද්ධවාදීන් දුන්නු හේතු සාධාරණ නැහැ කියලා ලුෆෙව් බය නැතුව ප්‍රකාශ කළා. ඔහු කිව්වේ “යේසුස් දුන්න ආඥා කෙනෙක් පිළිපදින්න නම් තමන්ට කියවලා තේරුම්ගන්න පුළුවන් භාෂාවකින් බයිබලය තියෙන්න ඕනෙ” කියලයි.—රෝම 10:14.

ඒත් ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ දේවධර්මවාදීන් උත්සාහ කළේ ලුෆෙව්ගේ වෑයම අසාර්ථක කරන්නයි. 1523 අගෝස්තු මාසයේදී ඔවුන් ඔහුගේ පරිවර්තනයත් ඔහු බයිබලයේ පොත් ගැන දක්වපු අදහස් තියෙන ලියවිලිත් ප්‍රතික්ෂේප කරලා ඒවා පල්ලියේ ඉගැන්වීම්වලට විරුද්ධයි කියලා කිව්වා. ඒ අවස්ථාවේදී ප්‍රංශයේ පළවෙනි ෆ්‍රැන්සිස් රජ ඔහුට පක්ෂව කතා කරපු නිසා ඔවුන්ට ලුෆෙව්ව මිථ්‍යා දෘෂ්ටිකයෙක් විදිහට හංවඩු ගහන්න බැරි වුණා.

හොර රහසේම පරිවර්තනය නිම කරයි

මොන තරම් විරුද්ධවාදිකම් ආවත් ඔහු පරිවර්තන වැඩ නතර කළේ නැහැ. 1524 ප්‍රංශ භාෂාවෙන් බයිබලයේ අලුත් ගිවිසුම පරිවර්තනය කළාට පස්සේ ඔහු ගීතාවලිය පොතත් පරිවර්තනය කළා. ගීතාවලිය පොත කියවලා මිනිසුන් දෙවියන්ට ලොකු භක්තියකින්, ආදරයකින් යාච්ඤා කරනවා දකින්න ලුෆෙව්ට ඕන වුණා.

සෝබෝන් විශ්වවිද්‍යාලයේ හිටිය දේවධර්මවාදීන් ඔහුගේ පරිවර්තනවල වැරදි අල්ලන්න හිතාගෙන අකුරක් නෑර ඒවා අධ්‍යයනය කළා. පස්සේ ඔවුන් ඔහු පරිවර්තනය කරපු ග්‍රීක ලියවිල්ල මහජනයා ඉස්සරහා පුච්චලා දාන්න අණ කළා. ඔවුන් කිව්වේ ඔහුගේ පරිවර්තනයේ පල්ලියට විරුද්ධව කටයුතු කරපු මාටින් ලූතර්ගේ අදහස් ඇතුළත් කියලයි. ඊටපස්සේ ඔවුන් පරිවර්තනය ගැන ප්‍රශ්න කරන්න ලුෆෙව්ට අඬගැහුවාට ඔහු එය ප්‍රතික්ෂේප කරලා ස්ට්‍රාස්බර්ග් නගරයට පැනලා ගියා. එහෙදී ඔහු පරිවර්තන වැඩ දිගටම කළා. ඔහු කරපු දේ බියගුලුකමක් හැටියට හුඟක් අය දැක්කත් ලුෆෙව් කිව්වේ බයිබලයේ තියෙන අනර්ඝ “මුතු” වගේ ඉගැන්වීම් ගැන කිසිම අගයක් නැති අයට ප්‍රතිචාර දක්වන්න ඕනෙ ඒ විදිහට කියලයි.—මතෙව් 7:6.

පලා ගිහින් අවුරුද්දකට විතර පස්සේ පළවෙනි ෆ්‍රැන්සිස් රජ තම පුතාගේ ගුරුවරයා හැටියට ලුෆෙව්ව පත් කළා. ඒකෙන් ඔහුගේ පරිවර්තන වැඩවලට ගොඩක් කාලය ලැබුණා. 1530දී පස්වෙනි චාල්ස් රජගේ අවසරය ඇතුව ඔහු පරිවර්තනය කරපු සම්පූර්ණ බයිබලය ප්‍රංශයෙන් පිට බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරයේ මුද්‍රණය කළා. *

යහපත් ඒත් ඉටු නොවූ බලාපොරොත්තුවක්

ලුෆෙව්ගේ ජීවිත කාලය පුරාම ඔහුට ඕන වුණේ පල්ලියට එන අය, මිනිසුන්ගේ ඉගැන්වීම් ඉගෙනගන්නවා වෙනුවට බයිබලයේ තියෙන සත්‍යය දැනගන්නවාටයි. බයිබලය කියවලා ඒක තේරුම්ගන්න එක හැම ක්‍රිස්තියානියෙක්ගෙම වගකීමක් කියලා ඔහු තදින්ම විශ්වාස කළා. ඒ නිසයි ඔහු වෙහෙස මහන්සි නොබලා විරුද්ධවාදිකම් මැද්දේ බයිබලය පරිවර්තනය කළේ. පල්ලිය සම්බන්ධයෙන් ලුෆෙව්ගේ බලාපොරොත්තුව ඉටු වුණේ නැතත් ඔහු ගත්ත උත්සාහය අපතේ ගියේ නැහැ. මොකද ඔහු කරපු දේ නිසා සාමාන්‍ය මිනිස්සු හුඟදෙනෙක්ට දෙවියන්ගේ වචනය වන බයිබලය ඔවුන්ගේම භාෂාවෙන් කියවන්න අවස්ථාව ලැබුණා.

^ 8 ඡේ. බයිබලයේ ගීතාවලිය පොතේ පරිවර්තන පහක් තීරු පහකට දාලා මේ පොත (Fivefold Psalter) සකස් කරලා තිබුණා. ඒ එක් එක් පරිවර්තනවල දෙවියන්ව හඳුන්වන්න පාවිච්චි කරලා තියෙන යෙදුම් ඇතුළත් කොටුවකුත් ඒ පොතේ තියෙනවා. ඒ යෙදුම් අතරට හෙබ්‍රෙව් භාෂාවේ දෙවියන්ගේ නම ලියන්න පාවිච්චි කරන අක්ෂර හතරත් ඇතුළත්.

^ 21 ඡේ. 1535දී ඔලිවෙටාන් කියන ප්‍රංශ පරිවර්තකයා බයිබලය මුලින්ම ලියපු භාෂාවලින් තිබුණු පරිවර්තන යොදාගෙන ඔහුගේම පරිවර්තනයක් කළා. ඒකට ලුෆෙව්ගේ පරිවර්තනයත් ඔහුට ගොඩක් ප්‍රයොජනවත් වුණා.