Skip to content

පටුනට යන්න

මානකොකා

කුරුලු ලොවෙන් ගුරුහරුකම්

කුරුලු ලොවෙන් ගුරුහරුකම්

“පක්ෂීන්ගෙන් අසන්න. උන් ඔබට කියා දෙනු ඇත. මේ සියල්ල කර තිබෙන්නේ යෙහෝවා දෙවි බව පිළි නොගන්නේ කවුද?”—යෝබ් 12:7, 9.

කුරුල්ලන්ගෙන් දෙවියන්ගේ නිර්මාණ ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් කියලා අතීතයේ හිටිය දෙවියන්ගේ සේවකයෙක් වුණු යෝබ් තේරුම්ගත්තා. අපේ ජීවිතයට වටිනා පාඩම් උගන්වන්නත් බයිබලයේ කුරුල්ලන්ව උපමා සහ උදාහරණ හැටියට යොදාගෙන තියෙනවා. ඒවායින් දෙවියන් එක්ක තියෙන අපේ බැඳීම තවත් ශක්තිමත් කරගන්නත් පුළුවන්. දැන් අපි ඒවායින් කිහිපයක් බලමු.

ආරක්ෂිත තැනක කූඩු හදන වැහිළිහිණියා

වැහිළිහිණියා

යෙරුසලමේ ජීවත් වුණු අයට වැහිළිහිණියන්ව හොඳට හුරු පුරුදුයි. සාමාන්‍යයෙන් උන් කූඩු හදන්නේ නිවසක පියස්ස කෙළවරේ. අතීතයේ දේවමාලිගාවේ පියස්සෙත් වැහිළිහිණියෝ කූඩු හැදුවා. එතැන කූඩු හැදුව වැහිළිහිණියන්ට නම් කාගෙන්වත් හිරිහැරයක් නැතුව තම පැටවුන්ව රැකබලා ගන්න පුළුවන් වුණා.

84වන ගීතිකාව ලිව්ව කෝරාගේ පුත්‍රයාට දේවමාලිගාවේ සේවය කරන්න ලැබුණේ මාස හයකට වතාවක් විතරයි. ඒත් වැහිළිහිණියෝ එහේ හැමදාම ඉන්නවා දැක්කාම තමන්ටත් ඒ විදිහට දේවමාලිගාවේ හැමදාම ඉන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද කියලා ඔහුට හිතුණා. ඔහු ඒ ගැන මෙහෙම ලිව්වා. ‘යෙහෝවා දෙවිගේ කූඩාරමේ මළුව වෙතට පැමිණීමට මම මහත් ආශාවකින් සිටින්නෙමි. මාගේ රජුද මාගේ දෙවිද වන ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි, ඔබේ ශ්‍රේෂ්ඨ පූජාසනය අසල කිරිල්ලියට නිවහනක්ද වැහිළිහිණියට ඇගේ පැටවුන් තැබීමට කැදැල්ලක්ද ඇත.’ (ගීතාවලිය 84:1-3) ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් දෙවියන්ගේ සෙනඟ එක්ක නිතිපතා එකට රැස් වෙන්න ඒ වගේ ආසාවක් තියෙනවාද?—ගීතාවලිය 26:8, 12.

සංක්‍රමණය කරන්න ඕන කාලය දන්න මානකොකා

“සංක්‍රමණය කළ යුත්තේ කුමන කාලයේද කියා මානකොකා හරියටම දනී.” එහෙම ලිව්වේ අනාගතවක්තෘ යෙරෙමියා. ඔහු හිටපු පළාත හරහා සංක්‍රමණය කරපු මානකොකුන්ව ඔහු නිතරම දකින්න ඇති. උතුරු යුරෝපයට වසන්තය උදා වෙනවාත් එක්කම සුදු මානකොක්කු ලක්ෂ තුනකටත් වඩා අප්‍රිකාවේ ඉඳන් යොර්දාන් නිම්නය හරහා සංක්‍රමණය කරනවා. උන් යුරෝපයට යන්නේ පැටවුන් බිහි කරන්නයි. සංක්‍රමණය කරන්න ඕන නියම කාලය තේරුම්ගන්න උන්ට තියෙන්නේ සහජ හැකියාවක්. අනෙක් සංක්‍රමණික කුරුල්ලෝ වගේ මානකොකාටත් “කාලය ගැන හොඳ අවබෝධයක්” තියෙනවා.—යෙරෙමියා 8:7.

“සංක්‍රමණය වීමට කුරුල්ලන්ට ලැබිලා තියෙන සහජ හැකියාව පුදුමාකාරයි” කියලා එක් පොතක සඳහන් වුණා. (Collins Atlas of Bird Migration) ඒ හැකියාව සංක්‍රමණික කුරුල්ලන්ට ලැබිලා තියෙන්නේ යෙහෝවා දෙවියන්ගෙන්. ඒත් දෙවියන් මිනිසුන්ට ඊට වඩා විශේෂ හැකියාවක් දීලා තියෙනවා. ඒ, අවට සිදු වෙන වෙනස්කම් දිහා බලලා යම් කාලයක වැදගත්කම අවබෝධ කරගැනීමේ හැකියාවයි. (ලූක් 12:54-56) අපි ජීවත් වෙන කාලයේ වැදගත්කම තේරුම්ගන්න දෙවියන් අපිට අවශ්‍ය දැනුමත් ලබා දෙනවා. ඒත් යෙරෙමියාගේ දවස්වල ජීවත් වුණු අයට ඔවුන් ජීවත් වුණේ කොයි තරම් අවදානම් සහිත කාලයකද කියලා අවබෝධ කරගන්න බැරි වුණා. ඒකට හේතුව ගැන දෙවියන් මෙහෙම කිව්වා. “ඔවුහු යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් නොසලකාහැරියෝය. එබැවින් ඔවුන් තුළ කිසි ප්‍රඥාවක් තිබිය හැකිද?”—යෙරෙමියා 8:9.

අද අපි ජීවත් වෙන්නේ බයිබලයේ සඳහන් “අවසාන කාලයේ” කියලා කියන්න ඕන තරම් සාක්ෂි තියෙනවා. (2 තිමෝති 3:1-5) මානාකොකා වගේ කාලය ගැන අවධානයෙන් ඉන්න ඔයාට පුළුවන්ද?

දුර දැකීමේ හැකියාව තියෙන රාජාලියා

රාජාලියා

ඉහළ අහසේ පියාසර කරන රාජාලීන්ගේ දසුන ඊශ්‍රායෙල්වරුන්ට හොඳට හුරු පුරුදුයි. රාජාලීන් කැදලි තනන්නේ කඳු මුදුන්වල. “ඌ ඒ ස්ථානයේ සිටම ගොදුරු සොයයි. දුර ඈත තියාම ඌ ගොදුර දකියි” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (යෝබ් 39:27-29) රාජාලියාගේ දුර දැකීමේ හැකියාව නිසා කිලෝමීටරයක් ඈත ඉන්න හාවෙක්ව වුණත් ඌට පේනවා.

රාජාලියාට “දුර ඈත” දකින්න පුළුවන් වගේ යෙහෝවා දෙවියන්ට අනාගතය දැකීමේ හැකියාව තියෙනවා. ඔහු ඒ ගැන මෙහෙම කියලා තියෙනවා. ‘අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මේ වන තුරු සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.’ (යෙසායා 46:10) යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වුණොත් ඔහු අපිට දුර දිග බලලා වැඩ කරන්න අවශ්‍ය ප්‍රඥාව ලබා දෙනවා.—යෙසායා 48:17, 18.

දෙවියන්ව විශ්වාස කරන අයව බයිබලයේ රාජාලීන්ට සමාන කරලා තියෙනවා. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය. ඔවුහු තම සවිය වැඩි කරගෙන රාජාලීන් මෙන් ඉහළටම පියාඹන්නෝය.” (යෙසායා 40:31) රාජාලියා තටු ගහන්නේ නැතුව ඉහළ අහසේ පාවෙවී ඉන්නේ වායු ධාරාවල උදව්වෙන්. ඒ වගේ අපිත් හැම දේකදීම අපේ ශක්තිය මත රඳා ඉන්නේ නැතුව යෙහෝවා දෙවියන් මත රඳා ඉන්න ඕනේ. එතකොට ඔහු අපිට “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා.—2 කොරින්ති 4:7, 8.

තම පැටවුන් රකින කිකිළිය

කිකිළි සහ පැටවුන්

යේසුස් මිය යන්න ටික දවසකට කලින් මෙහෙම කිව්වා. “යෙරුසලම! යෙරුසලම! අනාගතවක්තෘවරුන්ව මරා දැමූ, තමන් වෙතට එවූ අයට ගල් ගැසූ නුවර! කිකිළියක් තමන්ගේම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගන්නා සේ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී වරක් නම් කැමති වුණාද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැහැ.”—මතෙව් 23:37.

කිකිළියක් තම පැටවුන්ගේ ආරක්ෂාව ගැන හුඟක් සැලකිලිමත්. උන්ට අනතුරක් වෙන්න යනවා කියලා දැනුණොත් ඌ හයියෙන් කෑගහනවා. එතකොට පැටව් ආරක්ෂාව ලබන්න උගේ පියාපත් යටට එනවා. පැටවුන්ව අව්වෙන් වැස්සෙන් ආරක්ෂා කරන්නෙත් තම පියාපත් යට තියාගෙනයි. ඒ වගේ යෙරුසලමේ හිටිය අයත් දෙවියන්ට කීකරු වෙලා බොරු ඉගැන්වීම්වලින් ආරක්ෂාව ලබනවා දකින්නයි යේසුස්ට ඕනෙ වුණේ. මේ කාලයේ තියෙන දුක් කරදරවලින් සහනයක් ලබාගන්න ඔහු ළඟට එන්න කියලා යේසුස් අපිටත් ආරාධනා කරනවා.—මතෙව් 11:28, 29.

කුරුල්ලන් අපිට කියා දෙන පාඩම් ගැන හිතන්න කාලය ගන්න. අපිට දෙවියන්ගේ සෙනඟ එක්ක නමස්කාර කරන්න ලැබිලා තියෙන අවස්ථාව අගය කරන්න ඕනෙ කියලා වැහිළිහිණියාගෙන් අපි ඉගෙනගත්තා. අපේම ශක්තියට වඩා දෙවියන් ලබා දෙන ශක්තිය මත රඳා සිටීමේ වැදගත්කම රාජාලියාගෙන් අපි ඉගෙනගත්තා. අපි ජීවත් වෙන කාලයේ සිදු වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න එක කොච්චර වැදගත්ද කියලා මානකොකාගෙන් අපි ඉගෙනගත්තා. ඒ වගේම පැටවුන්ට තම පියාපත් සෙවණේ රැකවරණය දෙන කිකිළියක් වගේ අපිට මඟ පෙන්වීම් දෙන යේසුස්ට කීකරු වෙන්න ඕනෙ කියලත් අපි ඉගෙනගත්තා. ඇත්තෙන්ම කුරුල්ලන් අපිට උගන්වන්නේ මොන තරම් වටිනා පාඩම්ද!