Skip to content

පටුනට යන්න

9වෙනි පරිච්ඡේදය

අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’

අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
  • අපේ කාලයේදී ඉටු වන බවට බයිබලයේ කලින්ම පවසා තිබූ සිද්ධීන් මොනවාද?

  • “අවසාන කාලයේ” ජීවත් වන මිනිසුන් ගැන බයිබලයේ සඳහන් වන්නේ මොනවාද?

  • “අවසාන කාලයේදී” සිදු වන ප්‍රීතිය ගෙන දෙන දේවල් මොනවාද?

1. ඉතාමත් ළඟදී සිදු වීමට නියමිත දේවල් ගැන දැනගත හැක්කේ කෙසේද?

ලෝකයේ සිදු වන දේවල් ගැන අසන්න දකින්න ලැබෙද්දී, ‘මොකක්ද මේ ලෝකයට වෙන්න යන්නේ’ කියා ඔබට හැඟෙනවා ඇති. නොසිතූ විරූ ලෙස සිදු වන දේවල් නිසා හෙට දවසේ කුමක් සිදු වෙයිද කියා මිනිසුන්ට සිතාගන්නවත් බැහැ. (යාකොබ් 4:14) නමුත් අනාගතයේදී මොනවාද වෙන්නේ කියා යෙහෝවා දෙවි දන්නවා. (යෙසායා 46:10) මේ කාලයේදී සිදු වන විපත්ති ගැන පමණක් නොව ඉතාමත් ළඟදී සිදු වීමට නියමිත ප්‍රීතිමත් දේවල් ගැනත් බොහෝ කලකට කලින් බයිබලයේ සඳහන් කර තිබෙන්නේ ඒ නිසයි.

2, 3. යේසුස්ගේ ගෝලයන් ඔහුගෙන් ඇසූ ප්‍රශ්නය කුමක්ද? ඔහු ඊට දුන් පිළිතුර කුමක්ද?

2 මිනිසුන් අද්දකින විපත්තිවලට අවසානයක් ගෙනෙන දේවරාජ්‍යය ගැන යේසුස් පොළොව මත සිටියදී මිනිසුන්ට ඉගැන්වූවා. (ලූක් 4:43) ඒ නිසා ඒ රාජ්‍යය පැමිණෙන්නේ කවදාද කියා බොහෝදෙනෙකුට ප්‍රශ්නයක් වුණා. එක් අවස්ථාවකදී, “ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද” කියා යේසුස්ගේ ගෝලයන් ඔහුගෙන් ඇසුවේ ඒ නිසයි. (මතෙව් 24:3) එවිට යේසුස් පැවසුවේ දුෂ්ට සමාජයේ විනාශය සිදු වන්නේ කවදාද කියා හරියටම දන්නේ යෙහෝවා දෙවි පමණක් බවයි. (මතෙව් 24:36) නමුත් දුෂ්ට සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේදී පොළොව මත සිදු වන දේවල් ගැන ඔහු පැවසුවා. ඒ දේවල් ඉටු වන විට දේවරාජ්‍යය මගින් පොළොව පාලනය කිරීමට කාලය ළඟ බවට එය ලකුණක් වෙනවා.

3 යේසුස් පැවසූ ලකුණට ඇතුළත් වන්නේ මොනවාද කියා සලකා බැලීමට කලින් ඊට මඟ පෑදූ සිද්ධියක් දැන් අපි සලකා බලමු. එය සිදු වුණේ ස්වර්ගයේයි.

ස්වර්ගයේ යුද්ධයක්

4, 5. (අ) යේසුස් ස්වර්ගයේ රජු බවට පත් වූ විගස සිදු වූයේ කුමක්ද? (ආ) ස්වර්ගයේ සිදු වූ යුද්ධය මිනිස් වර්ගයාට බලපෑවේ කෙසේද?

4 වර්ෂ 1914දී යේසුස් ස්වර්ගයේ රජ වූ බව අප කලින් පරිච්ඡේදයේදී ඉගෙනගත්තා. (දානියෙල් 7:13, 14 කියවන්න.) යේසුස් රජු බවට පත් වූ විගස ඔහු ගත් ක්‍රියාමාර්ගය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල් [එනම් යේසුස්] සහ ඔහුගේ දූතයෝ මකරාට [එනම් සාතන්ට] විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන්ද යුද්ධ [කළෝය].’ * සාතන් සහ ඔහුගේ පැත්ත ගත් භූතයන් එම යුද්ධයෙන් පරාජය වූ අතර ඔවුන්ව පොළොවට හෙළනු ලැබුවා. ඔවුන් තවදුරටත් ස්වර්ගයේ නොසිටීම ගැන දේවදූතයෝ ප්‍රීති වුණා. නමුත් මිනිස් වර්ගයාට එය බලපාන ආකාරය ගැන බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද! මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.”—එළිදරව් 12:7, 9, 12.

5 ඉන් පැහැදිලි වන්නේ මහත් කෝපයෙන් පොළොවට බැස ඇවිත් සිටින සාතන් පොළොවේ සිටින අයට බොහෝ දුක් පීඩා හා විපත්ති ඇති කරන බවයි. ලොව පුරා සිදු වන දේවලින් පැහැදිලිව පෙනී යන්නේ අප ජීවත් වන්නේ සාතන් බොහෝ දුක් පීඩා ඇති කරන කාලයේ බවයි. නමුත් ඔහුට තිබෙන්නේ, “ඉතා කෙටි කාල පරිච්ඡේදයක්.” ඒ බව සාතන් පවා හොඳින් දන්නවා. බයිබලයේ ඒ කෙටි කාල පරිච්ඡේදය හඳුන්වා තිබෙන්නේ ‘අවසාන කාලය’ කියායි. (2 තිමෝති 3:1) ඉතාමත් ළඟදී සාතන් පොළොව මත සිදු කරන සෑම දෙයක්ම දෙවි අවසන් කිරීමට නියමිතයි. ඉන්පසුව දෙවිට විශ්වාසවන්තව සිටින අයට දෙවිගෙන් බොහෝ ආශීර්වාද භුක්ති විඳීමට හැකි වෙනවා. ඒ ගැන දැන සිටීම මොන තරම් ප්‍රීතියක්ද! අවසාන කාලයේදී සිදු වන බවට යේසුස් පැවසූ දේවල් හතරක් ගැන දැන් අපි සලකා බලමු. ඒ ගැන සලකා බැලීමෙන් දැන් අප ජීවත් වන්නේ ඒ කාලයේ බව විශ්වාස කිරීමට අපට හැකි වෙනවා.

අවසාන කාලයේ කැපීපෙනෙන සිදුවීම්

6, 7. යුද්ධ හා ආහාර හිඟකම් ගැන යේසුස් පැවසූ වදන් මේ කාලයේ ඉටු වන්නේ කෙසේද?

6 “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි.” (මතෙව් 24:7) පසුගිය සියවස තුළදී මිනිසුන් මිලියන ගණනක් යුද්ධවලින් මිය ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයෙක් මෙසේ සඳහන් කළා. “ඉතිහාසයේ ඉතා දරුණු ලෙස ලේ වැගිරෙවූ සියවස 20වෙනි සියවසයි. . . . ඒ සියවස තුළදී ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් සිදු නොවූ කාලයක් නැති තරම්.” එක් ආයතනයක් පළ කළ වාර්තාවක මෙසේ සඳහන් වෙනවා. “ක්‍රිස්තු වර්ෂ එකේ සිට 1899 දක්වා සිදු වූ සියලුම යුද්ධවලින් මිය ගිය මිනිසුන්ගේ ගණන මෙන් තුන් ගුණයක් 20වෙනි සියවසේ සිදු වූ යුද්ධවලින් මිය ගොස් තිබෙනවා.” (Worldwatch Institute) වර්ෂ 1914 සිට සිදු වූ යුද්ධවලින් මිලියන සියයකට වඩා වැඩිදෙනෙක් මිය ගොස් තිබෙනවා. ඒ නිසා කොපමණ පවුල් ගණනක් වියෝදුකින් පෙළෙනවාද කියා ඔබට සිතාගත හැකිද! සමහරවිට ඔබත් ඔවුන්ගෙන් කෙනෙක් විය හැකියි.

7 “ආහාර හිඟකම්.” (මතෙව් 24:7) පසුගිය අවුරුදු 30 ඇතුළත ආහාර නිෂ්පාදනය විශාල වශයෙන් වැඩි වී තිබෙනවා කියා පර්යේෂකයන් පවසනවා. නමුත් ආහාර මිල දී ගැනීමට අවශ්‍ය තරම් මුදල් මිනිසුන්ට නොමැති නිසා මිනිසුන් අතර තවමත් ආහාර හිඟයක් පවතිනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල සිටින බිලියනයකට වඩා වැඩිදෙනෙකුට එදිනෙදා ආහාර වේල පවා පිරිමසාගැනීමට තරම් ප්‍රමාණවත් ආදායමක් නැහැ. ඒ අයගෙන් වැඩිදෙනෙක් හාමතෙන් පෙළෙනවා. තවත් සමහර අයට වගා කිරීමට ප්‍රමාණවත් ඉඩකඩම් නොමැති වීම ආහාර හිඟයට බලපා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් බැලීම්වලට අනුව මන්දපෝෂණය නිසා සෑම අවුරුද්දකම දරුවන් මිලියන පහකට වඩා වැඩිදෙනෙක් මිය යනවා.

8, 9. භූමිකම්පා හා වසංගත ගැන යේසුස් පැවසූ දේ ඉටු වී තිබෙන බව පැහැදිලි වන්නේ කුමන තොරතුරුවලින්ද?

8 ‘මහත් භූමිකම්පා ඇති වෙයි.’ (ලූක් 21:11) එක් සමීක්ෂණයකට අනුව සෑම අවුරුද්දකම සාමාන්‍යයක් හැටියට ප්‍රබල භූමිකම්පා 19ක් සිදු වෙනවා. එහි ප්‍රතිඵල ලෙස පොළොව ඉරිතැළී ගොස් ගොඩනැඟිලිවලටද අලාභහානි සිදු වී තිබෙනවා. (U.S. Geological Survey) ගොඩනැඟිලි බිමටම සමතලා කිරීමට හැකි තරම් ප්‍රබල භූමිකම්පාද සෑම වසරකම සිදු වෙනවා. ලැබී තිබෙන වාර්තාවලට අනුව 1900 සිට මේ වන තෙක් මිනිසුන් මිලියන දෙකකට වඩා වැඩි ගණනක් භූමිකම්පා නිසා මිය ගොස් තිබෙනවා. “ඒ මරණ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කිරීමට නවීන තාක්ෂණයට හැකි වී නැහැ” කියා එක් වාර්තාවක සඳහන් වුණා.

9 ‘වසංගත ඇති වෙයි.’ (ලූක් 21:11) වෛද්‍ය විද්‍යාව අතින් ලෝකය සෑහෙන දියුණුවක් ලබා තිබුණත් කාලයක් පුරා පවතින රෝගවලට හා අලුතින් හඳුනාගෙන තිබෙන රෝගවලට මිනිස් ජීවිත රැසක් ගොදුරු වී තිබෙනවා. එක් වාර්තාවකට අනුව ක්ෂය රෝගය, මැලේරියාව හා කොලරාව ඇතුළු තවත් රෝග 20කට ජනයා මෑත කාලවලදී වැඩි වැඩියෙන් ගොදුරු වෙනවා. සමහර රෝගවලට බෙහෙත්වලින් කිසිම සුවයක් ලැබී නැහැ. කලින් නොතිබූ රෝග 30ක් පමණ දැන් සොයාගෙන තිබෙනවා. ඒවායින් සමහරක් සුව කිරීමට නොහැකි මාරාන්තික රෝගයි.

අවසාන කාලයේ ජීවත් වන මිනිසුන්

10. දෙවෙනි තිමෝති 3:1-5ට අනුව අවසාන කාලයේ ජීවත් වන මිනිසුන් තුළ දක්නට ලැබෙන්නේ මොන වගේ ගතිපැවතුම්ද?

10 “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි” කියා බයිබලයේ පවසා තිබෙනවා. (2 තිමෝති 3:1-5 කියවන්න.) ඊට හේතුව මිනිසුන්ගේ ගතිපැවතුම්වල පිරිහීම බව එහි තවදුරටත් සඳහන් වෙනවා. අවසාන කාලයේදී සිදු වන බවට යේසුස් පැවසූ ලෝක සිදුවීම්වලට අමතරව මිනිසුන් තුළ දක්නට ලැබෙන එම ගතිපැවතුම් සලකා බැලීමෙන්ද අප ජීවත් වන්නේ අවසාන කාලයේ බව හඳුනාගැනීමට අපට හැකි වෙනවා. දැන් අපි එවැනි ගතිපැවතුම්වලින් සමහරක් සලකා බලමු.

  • තමන් ගැනම සිතන

  • මුදලට ලොල් වී සිටින

  • දෙමාපියන්ට අකීකරු වන

  • ද්‍රෝහිකම් කරන

  • තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති

  • තමන්වම පාලනය කරගත නොහැකි

  • දරුණු

  • දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන

  • මිනිසුන්ට පෙනෙන්න දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඇත්තටම ඒ භක්තියට පටහැනිව ක්‍රියා කරන

11. දුෂ්ටයන්ට සිදු වන දේ ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

11 ඔබ ජීවත් වන ප්‍රදේශයේ මිනිසුන් තුළත් එවැනි ගතිපැවතුම් දක්නට ලැබෙන බවට සැකයක් නැහැ. ඔබේ ප්‍රදේශයේ පමණක් නොව ලෝකයේ සෑම තැනකම එවැනි ගතිපැවතුම් ඇති මිනිසුන් සිටිනවා. ඉන් පැහැදිලි වන්නේ දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කර දමන කාලය අත ළඟ බවයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන්නෝය. නපුරු ක්‍රියා කරන්නෝ සශ්‍රීක වන්නෝය. නමුත් අන්තිමේදී ඔවුහු සදහටම විනාශ වී යන්නෝය.”—ගීතාවලිය 92:7.

ප්‍රීතිය ගෙන දෙන දේවල්

12, 13. අවසාන කාලයේදී, “නිවැරදි දැනුම” නොඅඩුව ලැබී තිබෙන්නේ කෙසේද?

12 අවසාන කාලයේදී ලොව පුරා සිදු වන්නේ දුකට හේතු වන දේවල්. නමුත් ප්‍රීතිය ගෙන දෙන දේවල් යෙහෝවා දෙවිට නමස්කාර කරන අය අතර දක්නට ලැබෙන බව බයිබලයේ කලින්ම පවසා තිබෙනවා. ඒවායින් කිහිපයක් දැන් අපි සලකා බලමු.

13 “නිවැරදි දැනුම . . . නොඅඩුව ලැබෙන්නේය” කියා බයිබලයේ සඳහන් වී තිබෙනවා. (දානියෙල් 12:4) එහි තවදුරටත් පවසන්නේ, ‘අවසාන කාලයේදී’ එසේ සිදු වන බවයි. විශේෂයෙන්ම 1914 සිට තමාට සේවය කිරීමට අවංක ආශාවක් තිබෙන අයට බයිබලය පිළිබඳ අවබෝධය වැඩි කරගැනීමට යෙහෝවා දෙවි උපකාර කරනවා. දෙවිගේ නාමය, ඔහුගේ අරමුණ, යේසුස්ගේ ජීවිත පූජාව, මරණයේදී සිදු වන දෙය හා නැවත නැඟිටීම යන වටිනා සත්‍යයන් ගැන ඔවුන් ලබා තිබෙන අවබෝධය එදා සිට වැඩි වී තිබෙන්නේ ඒ නිසයි. එහි ප්‍රතිඵලයක් ලෙස තම ජීවිත වඩා අර්ථවත් ලෙස ගත කිරීමටත් යෙහෝවා දෙවිට ගෞරවයක් ගෙන දීමටත් ඔවුන්ට හැකි වී තිබෙනවා. එමෙන්ම දේවරාජ්‍යය ගැනත් එමගින් පොළොව සඳහා දෙවිගේ අරමුණ ඉටු වන ආකාරය ගැනත් ඔවුන්ට ලැබී තිබෙන්නේ පැහැදිලි අවබෝධයක්. ඔවුන්ට ලැබී තිබෙන ඒ නිවැරදි දැනුම අන් අය සමඟ බෙදාගැනීමටත් ඔවුන් කැමැත්තෙන් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රීතිය ගෙන දෙන තවත් දෙයක් සිදු වෙනවා.

“රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.”—මතෙව් 24:14

14. අවසාන කාලයේදී ශුභාරංචිය කොතෙක් දුරට දේශනා කරනු ලබනවාද? ඒ සේවයට හවුල් වන්නේ කවුද?

14 “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි” කියා යේසුස් පැවසුවා. (මතෙව් 24:3, 14 කියවන්න.) ඔහු ඒ දේ පැවසුවේ, “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” ගැන කතා කරමින් සිටි අවස්ථාවකදීයි. රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට දේවරාජ්‍යය යනු කුමක්ද, එයින් ඉටු කරන්නේ මොනවාද, එයින් ලැබෙන ආශීර්වාද භුක්ති විඳීමට නම් අප කළ යුත්තේ කුමක්ද යන කාරණා ඇතුළත්. එම ශුභාරංචිය භාෂා සිය ගණනකින් රටවල් 230කට වඩා වැඩි ගණනක දේශනා කරනු ලබනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිලියන ගණනක් ඒ කාර්යයට හවුල් වන්නේ මහත් උද්‍යෝගයකින්. ඔවුන් අතර, ‘සියලු ජාතීන්ට, ගෝත්‍රවලට හා භාෂාවලට’ අයත් අය සිටිනවා. (එළිදරව් 7:9) බයිබලයේ තිබෙන සත්‍යයන් ගැන දැනගැනීමට කැමති මිලියන ගණනක් ජනයා සමඟ ඔවුන් නොමිලේ බයිබල් පාඩම් පවත්වනවා. මතෙව් 24:14හි සඳහන් දෙය එලෙස ඉටු වීම ඇත්තෙන්ම පුදුමාකාරයි. මන්ද යේසුස් සැබෑ ක්‍රිස්තියානීන් ගැන පැවසුවේ, “සියලුදෙනා ඔබට වෛර කරයි” කියායි. (ලූක් 21:17) එවැනි වාතාවරණයක් මැද පවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය නොකඩවා දේශනා කරමින් සිටිනවා.

ඔබ කළ යුත්තේ මොනවාද?

15. (අ) අප ජීවත් වන්නේ අවසාන කාලයේ බව ඔබ විශ්වාස කරනවාද? ඊට හේතු පැහැදිලි කරන්න. (ආ) දෙවිට විරුද්ධ වන අයට හා දෙවිගේ පාලනයට යටත් වන අයට සිදු වන්නේ කුමක්ද?

15 බයිබලයේ පවසා තිබෙන බොහෝ දේවල් මේ කාලයේදී ඉටු වන නිසා අප ජීවත් වන්නේ අවසාන කාලයේ බවට ඔබ එකඟ වන්නේ නැද්ද? ශුභාරංචිය දේශනා කිරීම සඳහා යෙහෝවා දෙවි නියම කර තිබෙන කාලය නිම වූ පසු මේ දුෂ්ට සමාජයේ “අවසානය” අනිවාර්යයෙන්ම පැමිණෙනවා. (මතෙව් 24:14) ඉන් අදහස් කරන්නේ දෙවි දුෂ්ටකම් පොළොවෙන් සම්පූර්ණයෙන්ම අතුගා දමන බවයි. හිතාමතාම යෙහෝවා දෙවිට විරුද්ධව කටයුතු කරන සියලුම දුෂ්ටයන්ව විනාශ කර දැමීමට ඔහු යේසුස්ව හා බලවත් දේවදූතයන්ව යොදාගන්නවා. (2 තෙසලෝනික 1:6-9) ඉන්පසු සාතන්ව හා භූතයන්ව ඉවත් කර දමන නිසා ඉතුරු වී සිටින අයව නොමඟ යැවීමට ඔවුන්ට තවදුරටත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් දෙවිගේ ධර්මිෂ්ඨ පාලනයට යටත් වන සියලුදෙනාටම දෙවිගේ ආශීර්වාද බහුලව ලැබෙයි.—එළිදරව් 20:1-3; 21:3-5.

16. දෙවිගේ අනුමැතිය ලබාගැනීමට කළ යුතු දේවල් මොනවාද?

16 සාතන්ගේ පාලනය යටතේ තිබෙන දුෂ්ට සමාජයේ අවසානය අත ළඟ නිසා අප අපේ ජීවිතය ගත කරන ආකාරය ගැන ගැඹුරින් සිතා බැලිය යුතුයි. එසේ කිරීමෙන් මේ දුෂ්ට සමාජය සමඟ විනාශ නොවී සදහටම දෙවිගේ අනුමැතිය ඇතුව ජීවත් වීමට අපට හැකි වෙනවා. දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා අප දැන් කළ යුතු ප්‍රඥාවන්තම දෙය නම් යෙහෝවා දෙවි ගැනත් ඔහු අපෙන් බලාපොරොත්තු වන දේ ගැනත් වැඩි වැඩියෙන් ඉගෙනගැනීමයි. (යොහන් 17:3) ඒ සඳහා බයිබලය ගැඹුරින් අධ්‍යයනය කළ යුතු අතර දෙවිගේ කැමැත්ත කිරීමට උත්සාහ කරන අය සමඟ ඇසුරු කිරීමට පුරුද්දක් ඇති කරගත යුතුයි. (හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) බයිබලය අධ්‍යයනය කිරීමෙන් යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න. බයිබලයෙන් ඉගෙනගන්න දේවලට එකඟව ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරගන්න. එවිට දෙවිගේ අනුමැතිය ඇතුව ජීවත් වීමට ඔබට හැකියි.—යාකොබ් 4:8.

17. විනාශය පැමිණෙන විට දුෂ්ටයන් පුදුම වන්නේ ඇයි?

17 නමුත් අප ජීවත් වන්නේ අවසාන කාලයේ කියා විශ්වාස කිරීමට තිබෙන සාක්ෂි බොහෝදෙනෙකු නොසලකාහරින බව යේසුස් පැවසුවා. ඔහු ඒ ගැන අනතුරු ඇඟවූයේ මෙසේයි. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේ සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදුවීම්වලට සමානයි. ජලගැල්මට පෙර කාලය පුරාම එනම්, නෝවා නැවට ඇතුල් වූ දවස දක්වාම ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියා. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයද ඒ හා සමානයි.” (මතෙව් 24:37-39) සොරෙකු රාත්‍රියේ ගෙයකට කඩාවදිනවා වගේ දුෂ්ටයන්ගේ විනාශයත් පැමිණෙන්නේ ඔවුන් නොසිතන වේලාවකයි. ඒ නිසා ඔවුන් ඒ විනාශයට හසු වෙද්දී ඔවුන්ට දැනෙන කම්පනය මොන තරම්ද කියා සිතාගත හැකිද!—1 තෙසලෝනික 5:2 කියවන්න.

18. අප හොඳින් සිතට ගත යුත්තේ යේසුස් දුන් කුමන අවවාදයද?

18 යේසුස් ඔහුට සවන් දුන් අයට මෙම අවවාද ලබා දුන්නේ ඒ නිසයි. “ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. එසේ නොකළොත් අධික කෑමෙන් හා බීමෙන් නැතහොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා ඔබේ සිත් බර විය හැකියි. එවිට හදිස්සියේම ඔබ නොසිතූ මොහොතක ඒ දවසට මුහුණ දෙන්න ඔබට සිදු වෙයි. එවිට එම දවස ඔබට උගුලක් වෙයි. පොළොව පුරා ජීවත් වන සෑම කෙනෙකුටම ඒ දවසට මුහුණ දෙන්න සිදු වෙයි. එමනිසා අවදිව සිටින්න. නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න. එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.” (ලූක් 21:34-36) යේසුස් දුන් ඒ අවවාදය හොඳින් සිතට ගැනීම නැණවත් දෙයක්. මන්ද මේ දුෂ්ට සමාජයේ විනාශයෙන් ගැලවිය හැක්කේ යෙහෝවා දෙවිගේ හා “මනුෂ්‍ය පුත්‍රයා” වන යේසුස් ක්‍රිස්තුස්ගේ අනුමැතිය තිබෙන අයට පමණයි. එමෙන්ම ඔවුන්ට පාරාදීස පොළොවේ සදහටම ජීවත් වීමේ ප්‍රස්තාවද ලැබෙන බව නිසැකයි.—යොහන් 3:16; 2 පේතෘස් 3:13.

^ 4 ඡේ. මිකායෙල් යනු යේසුස්ව හඳුන්වන තවත් නමක්. වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “මිකායෙල් යනු කවුද?” කියන ලිපිය බලන්න.