Skip to content

පටුනට යන්න

ඇයි මේ දේවල් සිදු වන්නේ?

ඇයි මේ දේවල් සිදු වන්නේ?

ඔබ පුවත් පතක් කියෙව්වත් රූපවාහිනිය බැලුවත් ගුවන් විදුලියට සවන් දුන්නත් ඔබට වැඩියෙන් අසන්න දකින්න ලැබෙන්නේ යුද්ධ, අපරාධ හා ත්‍රස්තවාදය ගැනයි. පෞද්ගලිකව ඔබ මුහුණ දෙමින් සිටින ප්‍රශ්න ගැටලු ගැන ටිකක් සිතා බලන්න. පවුලේ කෙනෙකු හෝ හිතමිතුරෙකු අසනීප වී සිටිනවා නම් හෝ මරණයට පත් වුණොත් ඔබට මහත් දුකක් දැනෙනවා. අතීතයේ ජීවත් වූ එක් මිනිසෙකු පැවසුවේ, ‘හිස ඔසවන්න බැරි තරමට තමන් දුක් පීඩා හා නින්දාවලට’ මුහුණ දෙමින් සිටින බවයි. (යෝබ් 10:15, ශුද්ධ බයිබලය) සමහරවිට ඔබටත් එලෙස හැඟෙනවා විය හැකියි.

මේ ප්‍රශ්න ගැන හොඳින් සිතා බලන්න.

  • මමත් මේ ලෝකයේ ජීවත් වන අනික් අයත් මේ විදිහට දුක් විඳින්නේ ඇයි?

  • මගේ ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න මට උපකාර ලබාගන්න පුළුවන් කොහෙන්ද?

  • මේ ලෝකයට සාමය කවදා හෝ උදා වෙයි කියා සිතන්න පුළුවන්ද?

ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඔබට ශුද්ධ බයිබලයෙන් සොයාගත හැකියි.

ඉදිරියේදී මෙම වෙනස්කම් සිදු වන බව ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා.

“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:4

“කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය.”—යෙසායා 35:6

“අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය.”—යෙසායා 35:5

‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාම නැවත නැඟිටිති.’—යොහන් 5:28, 29

“කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24

“කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16

බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ගන්න

කලින් පිටුවල සඳහන් දේවල් නිකම්ම සිතින් මවාගත් අදහස් නොවෙයි. ඒ දේවල් ඇත්තටම සිදු කරන බවට යෙහෝවා නම් දෙවි පොරොන්දු වී තිබෙනවා. ඔහු ඒ දේවල් සිදු කරන්නේ කෙසේද කියා ශුද්ධ බයිබලයේ පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම අපට ප්‍රයෝජනවත් තවත් බොහෝ දේවල් ගැන බයිබලයේ සඳහන් වෙනවා. දැන් පවා සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් බයිබලයෙන් සොයාගත හැකියි. ඔබ අද්දකින ප්‍රශ්න ගැටලු ගැන ටිකක් සිතා බලන්න. මුදල් ප්‍රශ්න හෝ පවුල් ප්‍රශ්න ඔබට තිබිය හැකියි. නැත්නම් ඔබ යම් අසනීපයකින් පෙළෙනවා විය හැකියි. එසේත් නැත්නම් පවුලේ කෙනෙකුගේ හෝ හිතමිතුරෙකුගේ මරණය නිසා ඔබ දුකෙන් සිටිනවා විය හැකියි. නමුත් මතු දැක්වෙන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු බයිබලයෙන් දැනගැනීමෙන් ඔබට යම් සහනයක් ලබාගත හැකියි.

  • ඇයි අපි දුක් විඳින්නේ?

  • ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද?

  • පවුල් ජීවිතය තව තවත් සාර්ථක කරගත හැක්කේ කෙසේද?

  • මරණයේදී කෙනෙකුට සිදු වන්නේ කුමක්ද?

  • මිය ගොස් සිටින පවුලේ අයව හා හිතමිතුරන්ව නැවත දැකගැනීමට අපට හැකි වෙයිද?

  • දෙවි දී තිබෙන පොරොන්දු ඉටු කරයි කියා අපට ස්ථිර විය හැකිද?

ඔබ මේ පොත කියවන්න පටන්ගැනීමෙන් පෙනී යන්නේ බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන සොයා බලන්න ඔබ කැමති බවයි. ඒ සඳහා ඔබට මේ පොත උපකාරවත් වන බවට සැකයක් නැහැ. සෑම ඡේදයකට අදාළ ප්‍රශ්න සඳහන් වෙනවා. ඒ නිසා මෙම පොතෙන් බයිබලයේ සඳහන් තොරතුරු ප්‍රශ්නෝත්තර ක්‍රමයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ ඔබට සාකච්ඡා කළ හැකියි. ඇත්තටම බයිබලයේ සඳහන් දේවල් නිවැරදිව තේරුම්ගැනීමෙන් ඔබට මහත් ප්‍රීතියක් හා තෘප්තියක් ලබාගත හැකියි. ඔබ බයිබලය ගැන ඉගෙනගන්නා විට දෙවිගේ ආශීර්වාදය ඔබට ලැබෙන්න කියා අපි ප්‍රාර්ථනා කරමු.