Skip to content

පටුනට යන්න

2වෙනි පරිච්ඡේදය

බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක්

බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක්
  • බයිබලය අනිකුත් සියලුම පොත්වලට වඩා වෙනස් වන්නේ කුමන ආකාරවලින්ද?

  • බයිබලය ඔබට වටිනා මඟ පෙන්වීම් ලබා දෙන්නේ කුමන කාරණා ගැනද?

  • අනාගතය ගැන බයිබලයේ සඳහන් දේවල් ඔබට විශ්වාස කළ හැක්කේ ඇයි?

1, 2. බයිබලය දෙවිගෙන් ලැබී තිබෙන වටිනා තෑග්ගක් කියා පැවසිය හැක්කේ ඇයි?

යම් කෙනෙකුගෙන් තෑග්ගක් ලැබුණු විට අපට මහත් සතුටක් දැනෙනවා. අප සතුටු වන්නේ ලැබුණු තෑග්ග නිසාම නොවෙයි. තෑග්ග දුන් පුද්ගලයා අප ගැන සැලකිලිමත් බව දැනගැනීමෙනුත් අපි සතුටු වෙනවා. ඔහුට අපගේ ස්තුතිය පළ කරන්න අප පෙලඹෙන්නේ ඒ නිසයි.

2 බයිබලයත් අපට දෙවිගෙන් ලැබී තිබෙන වටිනා තෑග්ගක්. මේ අද්විතීය පොතෙන් වෙන කිසිම ආකාරයකින් අපට සොයාගත නොහැකි තොරතුරු සොයාගත හැකියි. උදාහරණයකට දෙවි ඉර, සඳ හා තාරකා සෑදූ ආකාරයත් පොළොව සහ එහි ජීවත් වීමට මිනිසුන්ව නිර්මාණය කළ ආකාරයත් බයිබලයේ විස්තර කර තිබෙනවා. එමෙන්ම අප මුහුණ දෙන ප්‍රශ්න ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාරවත් වන මඟ පෙන්වීම් එහි සඳහන් වෙනවා. එලෙසම දෙවි තමන් අරමුණු කළ දේට එකඟව මුළු පොළොවටම සාමය ගෙනෙන ආකාරයත් එහි විස්තර කර තිබෙනවා. ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ බයිබලය ඉතා වටිනා තෑග්ගක් ලෙස අප අගය කළ යුතු බවයි.

3. බයිබලය අපට ලබා දීමෙන් දෙවි ගැන පැහැදිලි වන්නේ කුමක්ද?

3 ඉතා වටිනා තෑග්ගක් වන බයිබලය අපට ලබා දීමෙන් දෙවි ගැනත් යමක් පැහැදිලි වෙනවා. ඒ, ඔහු අප ගැන සැලකිලිමත් වන බවයි. මන්ද දෙවිව වඩාත් හොඳින් දැන හඳුනා ගෙන ඔහු සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට අපට උපකාර කරන්නේ බයිබලයයි.

4. බයිබලය සම්බන්ධයෙන් ඔබේ සිත් ගත්තේ කුමක්ද?

4 ලොව පුරා වැඩියෙන්ම බෙදාහැර තිබෙන පොත බයිබලයයි. බයිබලය සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් භාෂා 2,600කින් විතර පළ කර තිබෙනවා. ඉන් අදහස් කරන්නේ ලෝක ජනගහනයෙන් සියයට 95කට තමන්ගේම භාෂාවෙන් බයිබලය ලබාගත හැකි බවයි. සෑම සතියකම බයිබලයේ පිටපත් මිලියනයකට වඩා බෙදාහරිනවා. මේ වන විට බයිබලය සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් පිටපත් බිලියන හතරක් පමණ මුද්‍රණය කර තිබෙනවා. ඇත්තෙන්ම වෙන කිසිම පොතක් බයිබලයට සමාන කළ නොහැකියි.

“නව ලොව පරිවර්තනය” නම් බයිබලය භාෂා බොහොමයකින් ලබාගත හැකියි

5. බයිබලය ලියා තිබෙන්නේ, ‘දෙවිගේ මඟ පෙන්වීමෙන්’ කියා පැවසීමට හේතුව කුමක්ද?

5 බයිබලය ලියා තිබෙන්නේ, “දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.” (2 තිමෝති 3:16 කියවන්න.) ඉන් අදහස් කරන්නේ කුමක්ද? ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ, “මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය” කියායි. (2 පේතෘස් 1:21) ඒ කාරණය පැහැදිලි කරගැනීමට මේ උදාහරණය සලකා බලන්න. සීයා කෙනෙක් ඔහුගේ පුතෙකු ලවා ලියුමක් ලියාගන්නවා. ඒ ලියුමේ තිබෙන්නේ සීයාගේ අදහස් මිසක් පුතාගේ අදහස් නොවෙයි. ඒ නිසා ඇත්තටම ඒ ලියුම පුතාගේ නොවෙයි සීයාගේ. ඒ හා සමානව බයිබලයේ තිබෙන්නේ දෙවිගේ අදහස් මිස එය ලියූ මිනිසුන්ගේ අදහස් නොවෙයි. ඒ නිසා බයිබලය, “දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්” කියා පැවසිය හැකියි.—1 තෙසලෝනික 2:13.

අදහස් එකඟතාවකින් යුක්තයි, නිවැරදියි

6, 7. බයිබලයේ තිබෙන තොරතුරුවල දක්නට ලැබෙන එකඟතාව ගැන පැවසිය හැක්කේ කුමක්ද?

6 බයිබලය ලිවීම ආරම්භ වුණේ ක්‍රිස්තු පූර්ව 1513දීයි. එය ලියා අවසන් කළේ ඊට අවුරුදු 1,600කට පසුවයි. බයිබලය ලියූ අය සමාජයේ විවිධ පසුබිම්වලට අයත්ව සිටියා. ඔවුන් අතර ගොවියන්, ධීවරයන්, එඬේරුන්, විනිසුරුවන්, රජවරුන් හා වෙනත් අය සිටියා. එක් පොතක් ලියූ ලූක් නම් තැනැත්තා වෛද්‍යවරයෙක්. බයිබලය ලියූ අය විවිධ කාලවල ජීවත් වූ, විවිධ පසුබිම්වලට අයත් අය වුණත් එහි තිබෙන අදහස් අතර කිසිම ගැටීමක් නැහැ. *

7 බයිබලයේ අවුරුදු 4,000ක පමණ මිනිස් ඉතිහාසය ගැන සඳහන් වෙනවා. එහි මුල්ම පොතේ මිනිසුන් අද්දකින ප්‍රශ්න ගැටලු පටන්ගත් ආකාරය ගැන සඳහන් වන අතර එහි අවසන් පොතේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වන ආකාරය පැහැදිලි කර තිබෙනවා. මෙසේ බයිබලයේ වාර්තා වී ඇති සෑම තොරතුරකින්ම දෙවිගේ අරමුණ කුමක්ද කියාත් එය ඉටු වන්නේ කෙසේද කියාත් අපට තේරුම්ගත හැකියි. බයිබලය පුරාම දක්නට ලැබෙන එකඟතාවෙන් පැහැදිලි වන්නේ එය ඇත්තෙන්ම දෙවිගෙන් ලැබුණු පොතක් බවයි.

8. බයිබලයේ තිබෙන තොරතුරු විද්‍යානුකූලව නිවැරදි බව පෙන්වන උදාහරණ මොනවාද?

8 බයිබලයේ තිබෙන තොරතුරු විද්‍යානුකූලව නිවැරදියි. බයිබලය ලියූ අය ඒ කාලයේ මිනිසුන් නොදැන සිටි දේවල් ගැන පවා නිවැරදිව වාර්තා කළා. උදාහරණයකට සනීපාරක්ෂාව හා බෝ වන රෝගවලට ප්‍රතිකාර කළ යුතු ආකාරය ගැන පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීති ලෙවී කතාව නමැති පොතේ සඳහන් වී තිබුණා. ඒ නීති ඔවුන්ට දුන් කාලයේදී ඔවුන් අවට විසූ ජාතීන් ඒ කාරණා ගැන කිසිවක් දැන සිටියේ නැහැ. එමෙන්ම පොළොවේ හැඩය ගැන ඒ කාලයේ වැරදි මත පැතිර තිබුණත් බයිබලයේ සඳහන් වුණේ එය, ‘ගෝලයක්’ බවයි. (යෙසායා 40:22) පොළොව ආධාරක මත තබා ඇති බව ඇතැම් අය විශ්වාස කළත් එය, ‘හිස් අවකාශයේ එල්ලා තබා’ ඇති බව බයිබලයේ නිවැරදිව සඳහන් කර තිබුණා. (යෝබ් 26:7) බයිබලය කියන්නේ විද්‍යාව ගැන උගන්වන පොතක් නොවෙයි. ඒ වුණත් විද්‍යාවට සම්බන්ධ කාරණා ගැන කතා කරන විට එහි කිසිම වරදක් සොයාගත නොහැකියි. බයිබලය ඇත්තෙන්ම දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු පොතක් බව එමගින් තවත් තහවුරු වෙනවා.

9. (අ) ඉතිහාසය ගැන බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදියි කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) බයිබලය ලියූ අයගේ අවංකකමින් පැහැදිලි වන්නේ කුමක්ද?

9 ඉතිහාසය ගැනද බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදියි. යම් සිද්ධියක් ගැන වාර්තා කරද්දී ඊට අදාළ සෑම විස්තරයක්ම එහි පැහැදිලිව සඳහන් වෙනවා. උදාහරණයකට යම් සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් විතරක් නොව ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ නම් පවා සඳහන් වෙනවා. * සාමාන්‍යයෙන් බොහෝ ඉතිහාසඥයන් ඔවුන්ගේ ජාතිය ලැබූ පරාජයන් ගැන වාර්තා කරන්නේ කලාතුරකින්. නමුත් බයිබලය ලියූ අය අවංකව සෑම තොරතුරක්ම තම වාර්තාවලට ඇතුළත් කළා. ඔවුන් තම ජාතියේ අඩුපාඩුකම් ගැන පමණක් නොව තමන් කළ වැරදි ගැන පවා වාර්තා කළා. උදාහරණයකට බයිබල් ලේඛකයෙක් වූ මෝසෙස් තමන් අතින් බරපතළ වරදක් සිදු වූ බවත් ඒ සඳහා ඔහුට දඬුවමක් ලැබුණු බවත් ගණන් කතාව නමැති පොතේ සඳහන් කළා. (ගණන් කතාව 20:2-12) ඉතිහාසය ගැන සඳහන් වෙනත් පොත්වල එවැනි අවංකභාවයක් දක්නට ලැබෙන්නේ කලාතුරකින්. නමුත් බයිබලය පුරාම ඒ දේ දක්නට ලැබෙන්නේ එය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු පොතක් නිසයි.

එදිනෙදා ජීවිතයට හොඳ මඟ පෙන්වීම් සපයන පොතක්

10. එදිනෙදා ජීවිතයට අදාළ කරගත හැකි මඟ පෙන්වීම් බයිබලයේ තිබීම ගැන පුදුම නොවිය යුත්තේ ඇයි?

10 බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු පොතක් නිසා එය, “ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් . . . ප්‍රයෝජනවත්.” (2 තිමෝති 3:16) බයිබලයේ තිබෙන්නේ අපට එදිනෙදා ජීවිතයේ අදාළ කරගත හැකි මඟ පෙන්වීම්. ඉන් පැහැදිලි වන්නේ ඒවා දී තිබෙන්නේ මිනිස් ස්වභාවය හොඳින් තේරුම්ගෙන බවයි. ඇත්තෙන්ම ඒ ගැන අප පුදුම විය යුතු නැහැ. මන්ද එහි කර්තෘ අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියි. ඔහු අපේ සිතුවිලි හා හැඟීම් අපටත් වඩා හොඳින් තේරුම්ගන්නා දෙවි කෙනෙක්. එමෙන්ම සතුටින් ජීවත් වීමට කළ යුත්තේ කුමක්ද කියාත් අප වැළකී සිටිය යුත්තේ මොන වගේ වැරදි දේවලින්ද කියාත් යෙහෝවා දෙවි හොඳින්ම දන්නවා.

11, 12. (අ) යේසුස් කන්ද උඩ දේශනාවේදී කතා කළේ කුමන කාරණා ගැනද? (ආ) බයිබලයේ සඳහන් වෙනත් කාරණා මොනවාද? එහි තිබෙන ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ප්‍රයෝජන ලැබෙන බවට නිසැක විය හැක්කේ ඇයි?

11 උදාහරණයකට දෙවිගේ ප්‍රධාන නියෝජිතයා වූ යේසුස් දුන් ප්‍රසිද්ධ දේශනයක අඩංගු වූ කාරණා ගැන සිතන්න. එය මතෙව් පස්වෙනි පරිච්ඡේදයේ සිට හත්වෙනි පරිච්ඡේදය දක්වා සඳහන් වන අතර එය හඳුන්වන්නේ කන්ද උඩ දේශනාව ලෙසයි. ඒ දේශනයේදී යේසුස් සැබෑ සන්තෝෂය සොයාගත හැකි ආකාරය, මතභේද හා ගැටුම් විසඳාගන්නා ආකාරය, යාච්ඤා කරන ආකාරය හා ජීවිතයේ අවශ්‍යතා ගැන සමබරව සිතන ආකාරය ගැන කතා කළා. ඔහු පැවසූ දේවල් එදා මෙන් අදටත් අදාළ කරගත හැකියි. ඒවා ඕනෑම කෙනෙකුගේ සිතට තදින් කාවදිනවා.

12 පවුල් ජීවිතයේදී, අන් අය සමඟ කටයුතු කරද්දී හා වැඩ කරද්දී අදාළ කරගත හැකි ප්‍රතිපත්ති ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. සෑම තරාතිරමකට අයත් අයට ඒ ප්‍රතිපත්ති අදාළ වන අතර ඒවා පිළිපැදීමෙන් ප්‍රයෝජන ලැබෙන බව නිසැකයි. ඒ ගැන බයිබලයේ එක් ලේඛකයෙකු වූ යෙසායා මාර්ගයෙන් දෙවි මෙසේ පැවසුවා. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය.”—යෙසායා 48:17.

අනාගතය ගැන හෙළි කරන පොතක්

යෙසායා බැබිලෝනියේ විනාශය ගැන කලින්ම පැවසුවා

13. යෙසායා මාර්ගයෙන් බැබිලෝනියට සිදු වන දේ ගැන යෙහෝවා දෙවි පැවසුවේ කුමක්ද?

13 යම් දේවල් සිදු වීමට පෙර ඒ ගැන බයිබලයේ කලින්ම වාර්තා කර තිබෙනවා. එවැනි සිදුවීම් බොහොමයක් දැනටමත් ඉටු වී හමාරයි. උදාහරණයකට බැබිලෝනිය නම් නගරය ගැන සඳහන් වූ දේ සලකා බලමු. එම නගරය විනාශ වන බව ක්‍රිස්තු පූර්ව අටවෙනි සියවසේ ජීවත් වූ යෙසායා පැවසුවා. (යෙසායා 13:19; 14:22, 23) ඒ නගරය යටත් කරගන්නා ආකාරය ඔහු නිවැරදිව විස්තර කළා. ඔහු පැවසුවේ බැබිලෝනිය නගරය ආක්‍රමණය කරන හමුදාව එය වටා තිබෙන ගඟේ වතුර වියළී යෑමට සලස්වන අතර සටන් නොකරම ඊට ඇතුල් වන බවයි. එමෙන්ම බැබිලෝනිය යටත් කරගන්නා රජුගේ නම පවා යෙසායා කලින්ම සඳහන් කළා. ඔහුගේ නම සයිරස්.—යෙසායා 44:27–45:2 කියවන්න.

14, 15. බැබිලෝනිය යටත් කරගැනීම ගැන යෙසායා පැවසූ දේවල් ඉටු වුණේ කෙසේද?

14 යෙසායා ඒ දේවල් වාර්තා කර අවුරුදු 200කට පමණ පසු බැබිලෝනිය අසල හමුදාවක් කඳවුරු බැඳගත්තා. එය සිදු වුණේ ක්‍රි.පූ. 539 ඔක්තෝබර් පස්වෙනිදා රාත්‍රියේදීයි. කලින් සඳහන් වූ ලෙසම ඒ හමුදාවේ පෙරමුණ ගෙන සිටියේ සයිරස් නම් පර්සියානු රජුයි. නමුත් යෙසායා පැවසූ සෑම දෙයක්ම ඒ විදිහටම සිදු වෙයිද? සයිරස්ගේ හමුදාවට සටන් නොකර බැබිලෝනිය යටත් කරගන්න හැකි වෙයිද?

15 ඒ රාත්‍රියේදී බැබිලෝනියේ වැසියන් උත්සවයක් පවත්වමිනුයි සිටියේ. නගරය දැවැන්ත පවුරුවලින් වට වී තිබූ නිසා ඔවුන්ට කිසිම බියක් දැනුණේ නැහැ. ඒ අතරතුර ඥානවන්තව ක්‍රියා කළ සයිරස් රජ, නගරය වටා තිබූ ගඟේ වතුර වෙනත් මඟකට හැරෙව්වා. ගඟේ වතුර මට්ටම ඉක්මනින්ම පහතට බැස ගිය නිසා ඔහුගේ හමුදාව කිසි අපහසුතාවක් නැතුව එය හරහා ගමන් කර නගරයේ පවුරු අසලට පැමිණියා. නමුත් සයිරස්ගේ හමුදාව පවුරුවලින් වට වී තිබූ බැබිලෝනියට ඇතුල් වුණේ කෙසේද? යම් හේතුවක් නිසා එදා රාත්‍රියේ ඒ නගරයේ දොරටු වසා තිබුණේ නැහැ.

16. (අ) බැබිලෝනියට සිදු වන විනාශය ගැන යෙසායා පැවසුවේ කුමක්ද? (ආ) බැබිලෝනිය පාළු තැනක් වන බවට යෙසායා පැවසූ දේ ඉටු වී තිබෙන්නේ කෙසේද?

16 බැබිලෝනියේ විනාශය ගැන යෙසායා තවදුරටත් මෙසේ පැවසුවා. “නැවත කෙදිනකවත් කිසි කෙනෙකුට බැබිලෝනියේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැත. ඇයට නැවත කිසිදා ස්ථානයක් හිමි වන්නේද නැත. අරාබි ජාතිකයන් එහි තමන්ගේ කූඩාරම් ගසාගන්නේවත් එඬේරුන් තමන්ගේ බැටළු රැළවල් එතැනට ගෙන යන්නේවත් නැත.” (යෙසායා 13:20) යෙසායා පැවසූ ඒ දෙයින් බැබිලෝනිය යටත් කරගන්නා බව පමණක් නොව එය සදහටම පාළු තැනක් වන බවත් පැහැදිලි වුණා. එම වදන් ඉටු වූ බවට සාක්ෂි අදටත් දැකගත හැකියි. පුරාණ බැබිලෝනිය අද පිහිටා තිබෙන්නේ ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට කිලෝමීටර් 80ක් පමණ දුරින්. අදටත් එහි කිසිවෙක් වාසය කරන්නේ නැහැ. එහි තිබෙන්නේ නටබුන් පමණයි. “මම ඒ දේශය මුළුමනින්ම අතු ගා දමන්නෙමි” කියා යෙහෝවා දෙවි පැවසූ වදන් ඉටු වූ බවට එය මොන තරම් ප්‍රබල සාක්ෂියක්ද!—යෙසායා 14:22, 23. *

බැබිලෝනියේ නටබුන්

17. දෙවි කෙරෙහි ඇති අපේ විශ්වාසය බයිබලය තුළින් ශක්තිමත් වන්නේ කෙසේද?

17 අප සලකා බැලූ ඒ උදාහරණයෙන් පෙනී යන්නේ යම් දේවල් ගැන බයිබලයේ කලින්ම වාර්තා කර තිබෙන තොරතුරු විශ්වාස කළ හැකි බවයි. ඒ කාරණය දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසය තව තවත් ශක්තිමත් කරනවා. ඇත්තෙන්ම යෙහෝවා දෙවි අතීතයේදී දුන් පොරොන්දු ඉටු කළා නම් පොළොව පාරාදීසයක් බවට පත් කරනවා කියා ඔහු දී ඇති පොරොන්දුවත් අනිවාර්යයෙන්ම ඉටු කරන බව නිසැකයි. ඒ ගැන සැක කිරීමට කිසිම හේතුවක් නැහැ. (ගණන් කතාව 23:19 කියවන්න.) ‘බොහෝ කලකට පෙර සිට පොරොන්දු වූ සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව’ අපට දී තිබෙන්නේ, ‘කිසි බොරුවක් නොපවසන දෙවි විසිනුයි.’—තීතස් 1:2. *

“දෙවිගේ වදන් ජීවමානය”

18. පාවුල් “දෙවිගේ වදන්” ගැන පවසන්නේ කුමක්ද?

18 මෙතෙක් සාකච්ඡා කළ දේවලින් පැහැදිලිව පෙනී යන්නේ බයිබලය ඇත්තෙන්ම අද්විතීය පොතක් බවයි. එහි අදහස් අතර කිසිම ගැටීමක් නැහැ. එමෙන්ම එහි තොරතුරු විද්‍යානුකූලව නිවැරදියි. ඉතිහාසය ගැන බයිබලයේ සඳහන් තොරතුරුද නිවැරදියි. එහි තිබෙන මඟ පෙන්වීම් එදිනෙදා ජීවිතයට අදාළ කරගත හැකියි. එමෙන්ම යම් දේවල් ගැන කලින්ම පවසා ඇති දේවල්ද විශ්වාස කළ හැකියි. බයිබලය අද්විතීය පොතක් වීමට තවත් හේතුවක් තිබෙනවා. ඒ ගැන පාවුල් නම් බයිබල් ලේඛකයා මෙසේ ලිව්වා. “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය. ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. එය කොතරම් ගැඹුරට පසාරු කරගෙන යනවාද කිවහොත් යමෙකුගේ බාහිර ස්වභාවය ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයට වඩා කොතරම් වෙනස්ද කියා පෙන්වීමටත් සන්ධිවලින් ඇටමිදුලු වෙන් කර දැක්වීමටත් එයට පුළුවන. එමගින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැක.”—හෙබ්‍රෙව් 4:12.

19, 20. (අ) බයිබලය කියවන විට ඔබට ඔබ ගැනම තේරුම්ගත හැක්කේ කුමක්ද? (ආ) දෙවි දුන් තෑග්ග ඔබ අගය කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

19 බයිබලයේ සඳහන් වන්නේ දෙවිගේ “වදන්” එනම්, දෙවිගේ පණිවිඩයයි. එය කොතරම් ‘බලවත්ද’ කියනවා නම් එය කියවන විට එහි තිබෙන දේවල් අපේ හදවතට තදින්ම කාවදිනවා. එවිට අප දැන් කරමින් සිටින දේවල් හා දෙවි අපෙන් බලාපොරොත්තු වන දේවල් අතර වෙනස හඳුනාගැනීමට අපට පුළුවන්. එමෙන්ම අපේ සැබෑ චේතනා වටහාගැනීමට එනම්, දෙවි කැමති ආකාරයෙන් ජීවත් වෙන්න අප තුළ ආශාවක් තිබෙනවාද නැද්ද කියා වටහාගන්න එය උපකාර කරනවා.

20 ඇත්තටම බයිබලය දෙවිගෙන් ලැබී තිබෙන පොතක්. අප මහත් ආශාවකින් එය කියවා එහි තිබෙන දේවල් ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තේ ඒ නිසයි. එසේ කිරීමෙන් දෙවි ලබා දී තිබෙන එම තෑග්ග ඔබ අගය කරන බව ඔබට පෙන්විය හැකියි. එමෙන්ම මිනිසා වෙනුවෙන් දෙවි අරමුණු කර ඇති දේ වඩාත් හොඳින් තේරුම්ගන්න ඔබට හැකි වෙයි. ඒ අරමුණ ගැනත් එය ඉටු වන ආකාරය ගැනත් ඊළඟ පරිච්ඡේදයේ සාකච්ඡා කරනවා.

^ 6 ඡේ. සමහරුන් පවසන්නේ බයිබලයේ යම් කොටස් අතර ගැටීමක් තිබෙන බවයි. නමුත් එසේ පැවසීමට කිසිම පදනමක් නැහැ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද ‘සියලුම ජනයා සඳහා පොතක්’ නමැති සඟරාවේ 14-17 දක්වා පිටු බලන්න.

^ 9 ඡේ. උදාහරණයකට යේසුස්ගේ පෙළපත ගැන ලූක් 3:23-38හි සඳහන් වාර්තාව සලකා බලන්න.

^ 16 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද ‘සියලුම ජනයා සඳහා පොතක්’ නමැති සඟරාවේ 27-29 දක්වා පිටු බලන්න.

^ 17 ඡේ. බැබිලෝනියේ විනාශය එක උදාහරණයක් පමණයි. තීර් හා නිනිවය යන නගරවල විනාශයද තවත් උදාහරණ හැටියට සැලකිය හැකියි. (එසකියෙල් 26:1-5; ශෙපනියා 2:13-15) එමෙන්ම බැබිලෝනියට පසුව බලයට පත් වන ලෝක අධිරාජ්‍යයන් ගැනද දානියෙල් නම් පොතේ සඳහන් වෙනවා. ඒ අධිරාජ්‍යවලට මේද පර්සියාව හා ග්‍රීසිය ඇතුළත්. (දානියෙල් 8:5-7, 20-22) යේසුස් ගැනත් බොහෝ දේවල් බයිබලයේ කලින්ම සඳහන් කර තිබුණා. වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “පොරොන්දු වූ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්” කියන ලිපිය බලන්න.