Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

ගැලවුම්කරු ගැන දානියෙල් පැවසූ දේ

ගැලවුම්කරු ගැන දානියෙල් පැවසූ දේ

දානියෙල් ජීවත් වුණේ යේසුස් ඉපදෙන්න අවුරුදු 500කට වඩා වැඩි කාලයකට පෙරයි. ගැලවුම්කරු (එනම්, මෙසියස්) පැමිණෙන කාලය හඳුනාගැනීම සඳහා උපකාරවත් වන තොරතුරු යෙහෝවා දෙවි ඔහුට හෙළි කළා. ඒ ගැන දානියෙල් පැවසුවේ මෙසේයි. “යෙරුසලම යළි පිහිටුවා ගොඩනැඟීමට නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිට නායකයා වන මෙසියස්ගේ පැමිණීම දක්වා සති හතක්ද සති හැටදෙකක්ද ගත වන බව අවබෝධ කරගන්න.”—දානියෙල් 9:25.

ගැලවුම්කරු පැමිණෙන කාලය හඳුනාගැනීම සඳහා කාලය ගණනය කිරීම පටන්ගත යුත්තේ කොතැනින්ද කියා අප මුලින්ම දැනගැනීම අවශ්‍යයි. දානියෙල් පැවසූ දේට අනුව එය ආරම්භ කළ යුත්තේ, ‘යෙරුසලම යළි පිහිටුවා ගොඩනැඟීමට නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිටයි.’ ඒ නියෝගය නිකුත් කළේ කවදාද? බයිබල් ලේඛකයෙකු වූ නෙහෙමියා සඳහන් කළ ආකාරයට යෙරුසලම අවට පවුරු නැවත ගොඩනැඟීම සඳහා නියෝගය නිකුත් කළේ, ‘අර්තක්ෂස්තා රජුගේ පාලන සමයේ විසිවෙනි අවුරුද්දේදීයි.’ (නෙහෙමියා 2:1, 5-8) ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ අර්තක්ෂස්තා රජු ඔහුගේ පාලනය ක්‍රිස්තු පූර්ව 474දී ආරම්භ කළ බවයි. ඒ නිසා ඔහුගේ පාලනයේ 20වෙනි අවුරුද්ද ක්‍රි.පූ. 455යි. ඒ අනුව ගැලවුම්කරු පැමිණෙන කාලය හඳුනාගැනීම සඳහා අප කාලය ගණනය කිරීම පටන්ගත යුත්තේ ක්‍රි.පූ. 455 සිටයි.

ඊළඟට අප සලකා බැලිය යුත්තේ, “නායකයා වන මෙසියස්ගේ පැමිණීම දක්වා” කොතරම් කාලයක් තිබෙනවාද කියායි. දානියෙල් පවසන්නේ, “සති හතක්ද සති හැටදෙකක්ද” එනම්, සති 69ක් ගත විය යුතු බවයි. ඒ සති 69 සාමාන්‍ය සති 69ක්ද නැත්නම් ඊට වඩා දීර්ඝ කාලයක් ඉන් නියෝජනය වෙනවාද? බයිබල් පරිවර්තන කිහිපයක සඳහන් වන්නේ ඒ සෑම සතියකින්ම දවස් හතක් නොව අවුරුදු හතක් නියෝජනය වන බවයි. ඒ අදහස පුරාණයේ සිටි යුදෙව්වන්ට නුහුරු දෙයක් නොවෙයි. මන්ද ඔවුන් සෑම දවස් හතකට වරක් සබත් දවස පැවැත්වූ ලෙසම සෑම අවුරුදු හතකට වරක්ම සබත් අවුරුද්දකුත් සැමරුවා. (නික්මයාම 23:10, 11) ඒ අනුව දානියෙල් පැවසූ සති 69 අවුරුදු 483කට සමාන වෙනවා.

ඒ කාරණා සියල්ල සැලකිල්ලට ගෙන ක්‍රි.පූ. 455 සිට අවුරුදු 483ක් ගණන් කරන විට අප පැමිණෙන්නේ ක්‍රිස්තු වර්ෂ 29ටයි. යේසුස්ගේ බව්තීස්මයත් සමඟ දෙවි ඔහුව ගැලවුම්කරු ලෙස පත් කළේ හරියටම ඒ අවුරුද්දේදීයි. * (ලූක් 3:1, 2, 21, 22) එය මොන තරම් සුවිශේෂී ඉටු වීමක්ද!

^ 6 ඡේ. ක්‍රිස්තු පූර්ව 455 සිට ක්‍රි.පූ. 1 දක්වා අවුරුදු 454ක් තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 1 සිට ක්‍රි.ව. 1 දක්වා එක අවුරුද්දක් තිබෙනවා (ශුන්‍ය අවුරුද්දක් නැහැ). ක්‍රිස්තු වර්ෂ 1 සිට ක්‍රි.ව. 29 දක්වා අවුරුදු 28ක් තිබෙනවා. එම අවුරුදු එනම් අවුරුදු 454, අවුරුදු 1 හා අවුරුදු 28 එකතු කළ විට අවුරුදු 483යි. ගැලවුම්කරුව ‘මරා දමනු ලැබුවේ’ ක්‍රි.ව. 33දීයි. එනම් දානියෙල් පැවසූ 70වෙනි සතිය අතරතුරේදීයි. (දානියෙල් 9:24, 26) වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද ‘දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න’ නමැති පොතේ 11වෙනි පරිච්ඡේදය හා Insight on the Scriptures යන පොතේ 2වෙනි වෙළුමේ 899 සිට 901 දක්වා පිටු බලන්න.